2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

පාංසකූලෙකුත් නැතුව දෙතුන් දෙනෙක් එක්ක බොඩීස් පුච්චන එක නම් ඉවසාගන්න බැරිවුණා

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 24

මරණය බියකරුය ශෝකීය. අවමංගල්‍යයක අවසන් කටයුතු සිදුවන මොහොතක ඔබට එය අවබෝධ වී ඇති බව නම් සිකුරුය. මියගිය තැනැත්තා අපගේ හිතවතකු ඥාතියකු අවසන් මොහොතේ නැගෙන ශෝකාලාපයක් දරා සිටීම පහසු නැත. මරණය සිය රුකියාවේ දෛනික අත්දැකීමක් කොටගත් මිනිසකු අපට මුණගැසිණි. ඔහු සොහොන්පල්ලෙකි. මළ මිනිසුන් දවා අළුකොට භෂ්මාවශේෂ ඥාතීන් වෙත බාරදීම ඔහුගේ රාජකාරියයි. ඔහු නමින් සෝමරත්න කොඩිතුවක්කුය. සැබවින්ම එය අප ඔහුට මෙතැන් පටන් ලබාදෙන නාමයයි. ඊට හේතුව පසුවට සඳහන් කරමු.

දැන්නම් ටිකක් වැඩ අඩුයි. මහ කාලකන්නි මාස දෙක තුනක් ගත වුණේ. මෙතන එක ජංජාලයක් වෙලා තිබුණේ. මිනී ගේනවා පුච්චනවා ඉවරයක් නෑ. ඒ ඔස්සේ මටත් ලෙඩේ හැදුණා. මළමිනී වලින් නම් නෙවෙයි. අපේ පවුලෙ හිතවත් කෙනෙක්ගෙන්. ඉස්පිරිතාලෙ ගියේ නෑ. ගෙදරදී ලොකු අමාරුවක් නැතුව හොඳ වුණා. දවස් දහයක් දොළහක් විතර ගෙදර හිටියේ ආයෙත් වැඩට ආවා. මෙතැන අපි දෙන්නයි ඉන්නේ. සේවකයෝ හොඳටම මදි.*
ඔහුට අප සංවාදයේ අගමුල පිළිබඳ වැටහීමක් නැත. අපගේ වුවමනාව වී ඇත්තේ තුන්වැනි කොවිඩ් රුල්ලේ බිහිසුණු මරණය පිළිබඳ ඔහු සමඟ සංවාදයක් ගොඩනගා ගැනීමටයි. සෝමරත්න මැදිවිය ඉක්මවූ කඩඉමක සිටින්නේ යැයි අපට හැඟෙයි. අප සංවාදයට ප්‍රවේශය ලබාගැනීම පහසු නැත. දැන් කොච්චර කාලයක්ද මෙහි වැඩ? අපි ඇසුවෙමු.

මේක හදපුදා ඉඳලා මම වැඩ. දැන් අවුරුදු පහළොවකට වඩා වැඩියි. ඉස්සර වැඩ කළේ සභාවේ තමයි. මේක හැදුවම මෙතැනට දැම්මා. මුලදී ගෙදර අය කැමැති උනේම නෑ. ඒත් වෙනදාට වඩා කීයක් හරි හොයාගන්න පුළුවන් හින්ද තමයි මේක තෝර ගත්තෙ. පටන් ගත්ත කාලේ එච්චර වැඩ තිබුණේ නෑ. ඒත් පොඩි බයක් තිබ්බා. ඔය ගාඩ්න් එකේ මල් එහෙම හිටවලා ලස්සන කළේ අපි කිහිප දෙනෙක්. සභාවේ අයත් උදව් කළා.
මෙම රුකියාව ඔහුගේ තෝරා ගැනීමකටත් වඩා උරුමයක් වූ සෙයකි. මරණය කොතරම් බියකරු වෙතත් ආදාහනාගාරයේ වටපිටාව ප්‍ියකරු. එක් පසෙක රජයේ වැඩ බිමකි. අනෙක් පස භූමදානය ප්‍රියකරන්නවුන් සඳහා වන සොහොනයි. නගර වැසියන්ගේ නිවාස ඇත්තේ තරමක් දුරින් වුවත් මළ කඳන් දැවී අහසට නැගෙන දුම් රොටුවලින් ඔවුනට පීඩා ගෙනදෙයි. ඊට හේතුව සුළඟ මිස අනෙකක් නොවේ. සොහොන්පල්ලා ගෙන් විමසා දැන ගන්නට කරුණු කාරණා බොහෝය. එහෙත් අප මෙවර ඉලක්කගත පැනයකට මුල පිරුවෙමු. 

ඉස්සරට වඩා කොවිඩ් කාලේ වැඩ අමාරු වුණාද?
අමාරු වුණා නෙවෙයි එපා වුණා. වැඩවල කෙළවරක් නැතිවුණා. සමහර බොඩීස් කතා කරලා වෙන වෙන තැන්වලට යැව්වා. වෙනදට මහා විශාල පෙරහරකින් ගොඩ දෙනෙක් ඇවිල්ලා එක්කෙනෙක්ගේ අවසන් කටයුතු කරනවා. මිනිස්සු කෑගහනව හඬනවා. දවසකට උපරිමය වැඩ දෙකක් වගේ. ඒකට අපිට හුරුවෙලා තිබුණා. සමහරු හිතයි ඒක තමා අමාරුම කියලා. ඒත් තුන් හතර දෙනෙක් බලාගෙන ඉන්දැද්දි අර ඇඳුම් ඇඳගෙන මැරිච්ච මනුස්සයකු පුච්චන එක ඊට වඩා අමාරුයි.
ඒ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසා ඇතිවන අපහසුතාවක්ද? නොඑසේනම් වෙනත් යමක්ද? අපි සෝමරත්නගෙන් ප්‍රශ්න කර සිටියෙමු. ඔහු අපිට ලබාදුන් පිළිතුර හුදු වචන මාත්‍රයක් ලෙස බැහැර කිරීමට අපට නොහැකිය.

මැරුණු මනුස්සයෙක්ට අදාළ නෑ එයාගෙ අවසන් කටයුතු කොහොමද කරන්නේ කියන එක. මොකද ඒ මනුස්සයා මැරිලනේ. ඒත් ජීවත්වෙන හැමෝටම ඕන තමන්ගේ හිතවතෙක් මැරුණම ගෞරවණීය විදිහට අවසන් කටයුතු කරන්න. සමහරවිට එහෙම කළාම දුක අඩුවෙනවා. අපි දැකලා තියෙනවා ලොකුවට පොඩියට කරන එක එක විදිහේ අවමංගල්‍ය කටයුතු. ඒ හැම එකකදීම මැරිච්ච කෙනාට ගෞරවයක් තිබුණා. ඒත් කොවිඩ් නිසා මුල්කාලේ මැරුණු සමහරුන්ට කිසිම ගෞරවයක් තිබුණේ නෑ. පාංශුකූලයක් දුන්නෑ කිසිම ආගමික කටයුත්තක් කළේ නෑ. සමහරුන්ගේ නෑදෑයෝ හිතවත්තු කිසිම කෙනෙක් ආවෙත් නෑ. එයාලා නිරෝධායනයේ. ඒ වගේ මරණයක වැඩකරන එක හරි අමාරුයි.*
මරණයේ බිහිසුණු අත්දැකීම සිය දෛනික ජීවිතයේ කොටසක් කරගත් සොහොන්පල්ලකුට පවා කොවිඩ් මරණය බියකරුය. ඔබට ගෙවුණු කාලය පුරාවට වසංගතය නිසා අහිමිව ඇත්තේ ඥාතියකු හෝ දෙදෙනකු වන්නට පුළුවන. එසේ නම් එහි රෑපය දැන් ඔබේ මනසේ තුනී වී ගොස් ඇතුවාට සැක නැත. සෝමදාසලා වැනි සොහොන්පල්ලන් දැනෙන ශෝකයේ පරිමාව කුමක් වුවත් ඔවුහු එය අඛණ්ඩව අත්විඳිමින් සිටිති. අපට පැහැදිලි වන පරිද්දෙන් භාරකාරයන් සහිතව අවමඟුල් පෙරහරකින් අවසන් ගමන යන මළගමකට ඔවුන් සේවකයන්ය. භාරකාරයන් නැතිව හුදෙකලාවේ අවසන් ගමන් යන මළගමකට ඔවුන් ඥාතීන් හා හිතවතුන්ය. අපි නැවත සංවාදය වෙත යොමුවීමු.

පහුගිය මාස දෙක තුනේ ගොඩක් අමාරු වුණා. ඉස්පිරිතාලෙකින් වාහනයක දාගෙන වටේම බොඩීස් අරගෙන එනවා. රුයක් දවාලක් නෑ. ගොඩක් වෙලාවට පවුලෙ කෙනෙක් හරි දෙන්නෙක් හරි මෙතෙන්ට එනවා. සමහරුන්ගේ ඒ ආවෙත් නෑ. සමහරු කොහොමහරි පෞද්ගලිකව ඉස්පිරිතාලවලින් බොඩීස් රිලීස් කරගෙන ආවා. හාමුදුරුනමක් ඇවිල්ලා පාංශුකූලේ දුන්නා. කොහොමත් එක එක එක්කෙනාගෙ බලපුළුවන්කාරකම් අනුව තමයි මරණයකදී වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඒ හැටි. වෙනදාට මරණයක වැඩ කරද්දී මෙතැන ඝෝෂාවක්. කෝවිඩ් මරණවල වැඩ කෙරුණේ සද්ද බද්දයක් නැතුව. සීන් එකේ මහ මූසල ගතියක් තියෙනවා. කියන්න තේරෙන්නෑ.*
ඔහුගේ කතාවේ තවත් එක් පැතිකඩකි. සිය රුකියාවේ ඇති ප්‍රශ්න ගැටලු අසාධාරණ පිළිබඳව ඔහු අපට තතු කියයි. සෝමරත්නට විශ්‍රාම ගැනීමට ඇත්තේ තවත් වසර කිහිපයකි. ඔහු පවසන පරිදි ඔහුගේ දරුවන් දැන් මෙම රුකියාවට තදබල ලෙසම විරුද්ධය. තුන්වැනි කොවිඩ් රුල්ලේ ගොදුරක් වූ පසුව ඔහු සිය රැකියාව අතහැර දමන්නට සිතා ඇත. එහෙත් ඔහු තවමත් සේවයේය. පත්තරයකට මෙලෙසින් කතා කිරීම තම දරුවන් නොරිස්සනු ඇතැයි ඔහු කියයි. එම නිසාම ඔහුගේ සැබෑ නම ගම හෙළි නොකරන්නට අපි පොරොන්දු වීමු.

අපි පඩියට තමයි වැඩ කරන්නේ. ඒත් හැමෝම මේ රස්සාව කරන්නේ නෑ. ඒ නිසා මේක සමාජ සේවයක්. සමහරුන්ට අපිව යමපල්ලෝ වගේ පේනවා ඇති. ඒත් අපිත් සාමාන්‍ය මිනිස්සු.

මෙම ප්‍රකාශය අප සටහන නිමකරන්නට අපූරුය. මරණය නම් ධර්මතාවයකි. මරණය කවදා කොතනක අප වෙත ළංවෙතැයි අපි නොදන්නෙමු. දිනක ඔබටද මටද සෝමදාස වැන්නකු මුණගැසීමට සිදුවනු ඇත. එදිනට ඔහුට ගෞරව කරන්නට අපට නොහැකිය. එමනිසාම සොහොන්පල්ලාගෙනි, ඔබට පූර්වයේම අපගේ ගෞරවයද ස්තුතියද පුදකරමු.

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00