2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ආර්ථිකයට මාරාන්තික මුදල් නෝට්ටු අච්චු ගැහිල්ල!

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 241

මුදල් මුද්‍රණය පිළිබඳ කතාව යළිත් කරළියට පැමිණ ඇත්තේ පසුගිය සතියේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 45.83ක වටිනාකමින් යුතු මුදල් නෝට්ටු සංසරණයට එක් කිරීමත් සමඟය. එයට පෙර මාසය වනවිට බිලියන 200ක් බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් හරහා සංසරණයට එක්වී තිබේ. පසුගියදා විශ්‍රාම ගිය මහ බැංකු අධිපතිවරයාගේ පාලන සමයේදී රුපියල් ට්‍රිලියන 2.8ක මුදල් නෝට්ටු නිකුත් කර ඇති බව වාර්තා වේ. එහෙත් මේ සා විශාල ප්‍රමාණයක් නෝට්ටු මුද්‍රණය කිරීම නිසා රටේ ආර්ථිකයට යහපතක් සිදුව නැති බව පැහැදිලිය. මෙය හරියට පිපාසයට ලුණු දියර බොනවා වැනිය.

රටේ සම්මත මූල්‍ය න්‍යායවලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සිදුකළ යුත්තේ සාධක දෙකක් මතය. ඉන් එකක් වන්නේ පරිහරණය කිරීමේදී දුර්වරණ වූ සහ අපැහැදිලි බවට පත්වූ මුදල් නෝට්ටු වෙනුවට අලුතින් මුද්‍රණය කිරීමය. මුදල් නෝට්ටු කොළ මත විවිධ දේවල් ලිවීම සහ ඇඳීම නීතියෙන් තහනම් වුවද බොහෝ දෙනා පුරුදු වී ඇත්තේ එම වරද සිදුකිරීමටය. එසේම, දිගටම අතින් අත මාරුවීම නිසාද නෝට්ටු දුර්වර්ණ වෙයි. එම හේතු නිසා පාවිච්චියෙන් ඉවත් කළ යුතු මුදල් නෝට්ටු එසේ විනාශ කර ඒ හා සමාන මුදල් නෝට්ටු කොළ අලුතෙන් මුද්‍රණය කිරීම සිදුවේ. මෙයින් රටේ මුදල් තොගය වැඩි නොවේ.

අනික් හේතුව වන්නේ රටේ ආර්ථික සංවර්ධනයට සමානුපාතිකව නෝට්ටු මුද්‍රණය කිරීමය. රටේ නිෂ්පාදනය වැඩිවී ආර්ථිකය ශක්තිමත් වනවිට ජනතාවට මුදල් අවශ්‍ය වන්නේ එම නිෂ්පාදන මිලදී ගැනීම සඳහාය. එවැනි තත්ත්වයකදී රටේ සංවර්ධනය අනුව අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සිදුවේ. එය නිවැරදි ඇස්තමේන්තුවක් සහ විද්‍යාත්මක පදනමක් මත සිදුකරන මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමකි. එවිට මුදල් තොගය ඉහළ යයි. මෙලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මුද්‍රණය කරන මුදල් නෝට්ටු රජයට ණය ලෙස නිදහස් කිරීම සිදුවෙයි. මෙලෙස ණය ලෙස නිකුත් වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා සංවර්ධන බැඳුම්කර මිලදී ගැනීම මගිනි. ආණ්ඩුව මේවා මිලදී ගැනීමේදී අලුත් මුදල් නෝට්ටු සංසරණයට එකතුවෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන බැඳුම්කර වෙන්දේසිවලදී මෙයට පෙර අවස්ථාවල දේශීය හා විදේශීය ආයතන මේවා මිලදී ගැනීමට උනන්දුවක් දක්වන නමුත් රටේ ආර්ථික තත්ත්වය සහ පොලිය අසාමාන්‍ය වීම නිසා ආයෝජකයන් මේවා මිලදී ගැනීමට උනන්දුවක් නොදක්වයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් රජයටම මිලදී ගැනීමට සිදුවෙයි. ඒ ආකාරයෙන් මෙම අලුත් මුදල් නෝට්ටු සංසරණයට එක්වෙයි. මෙහිදී අනවශ්‍ය මුදල් ප්‍රමාණයක් ජනතාව අතට ලැබීම සිදුවෙයි.

එසේ වුවද කිසිදු පදනමක් නොමැතිව දිගටම මුදල් මුද්‍රණය කිරීම අද දක්වාම සිදුවෙමින් පවතී. පසුගිය සමයේ ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ මේ වනවිට රට නව මූල්‍ය න්‍යායයක් අනුගමනය කරන නිසා පෙර පැවැති සම්ප්‍රදාය නොතකා මුදල් මුද්‍රණය කිරීම ගැටලුවක් ඇතිවීමට හේතු නොවන බවයි. හිටපු මහ බැංකු අධිපති මුදල් මුද්‍රණය කරන වාරයක් පාසා නිදහසට කරුණක් ලෙස මෙම නව මූල්‍ය ප්‍රතිපත්ති රටාව පෙන්වා දීමට යෙදුණි. මෙහිදී සිදුවන්නේ මෙම මුදල් සංසරණයට එක් වුවද නිෂ්පාදනයට පාවිච්චි නොකිරීමයි. මෙහිදී මෙම මූල්‍ය න්‍යාය අමෙරිකාව වැනි දියුණු රටවලට උපයෝගී කරගත්තද අපේ රට වැනි දියුණු වෙමින් පවතින රටකට යොදා නොහැකි බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. අමෙරිකාව වැනි රටවල් ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් තිබෙන බැවින් රටට එකතුවන මුදලට සාපේක්ෂව ආර්ථිකය දියුණු වන නිසා ගැටලු ඇති නොවේ. නමුත් අවිචාරවත් ලෙස අප එය අනුමගනය කිරීමට යාම නිසා ආර්ථික අර්බුදය උග්‍ර වී තිබේ.

ජීවන වියදම වැඩිවීමට හේතුවන්නේ උද්ධමනය ඉහළ යාමයි. ජාතික පාරිභෝගික මිල දර්ශනය අනුව ජූලි මාසය වනවිට උද්ධමනය සියයට 6.7ක් වී තිබෙනවා. මෙලෙස උද්ධමනය ඉහළ යාමටද මුදල් මුද්‍රණය එක් හේතුවක් වෙයි. මේ නිසා ජනතාවගේ ජීවන අර්බුදය උග්‍ර වී ඔවුන් කබලෙන් ලිපට වැටෙන්නේ භාණ්ඩ හා සේවා මිල අසීමාන්තිකව ඉහළ නැගීම නිසාය. ඒ නිසා අවිචාරවත් ලෙස මුදල් මුද්‍රණය තුළින් රටට ලැබෙන වාසිවලට වඩා අවාසි වැඩිය.

පසුගිය දිනවල සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වූ කරුණක් වූයේ නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩ බාරගත් දිනයේම රුපියල් බිලියන 45.83ක අලුත් මුදල් නෝට්ටු ඔහුගේ අත්සනින් නිකුත් කළ බවකි. මේ පිළිබඳ ලියුම්කරු ඔහුගෙන් විමසූ විට ඔහු පැවසුවේ එය තමාගේ රාජකාරියට අදාළ නොවන බවයි. තමා රාජකාරි භාර ගැනීමට පෙර එය සැලසුම් කර තිබුණු අතර එලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම තමාගේ පාලනයෙන් බැහැරව සිදුවූ බව ඔහු පැවසීය. එසේම එම නෝට්ටුවල ඇති අත්සන තමාගේ නොවන බවද ඔහු අවධාරණය කළේය.

මුදල් මුද්‍රණය කිරීම ගැන පමණක් නොවෙයි පසුගිය සමයේ අප අනුගමනය කළ බොහෝ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ යළි සමාලෝචනයක යෙදිය යුතුව තිබෙනවා. එම වෙනස් කිරීම් කඩිනමින් කළ හැකි නොවෙයි. ඒවා පිළිබඳ යම් අධ්‍යයනයක් කළ යුතුයි. ඒ කටයුතු දැන් සිදුවෙමින් පවතිනවා. අනාගතයේදී ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරනවා. ඔහු එසේ පැවසීය.

මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතුයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ පසුගියදා සේවයෙන් ඉවත් වූ හිටපු මහ බැංකු අධිපතිවරයාගේ පසුගිය මාස 20ක කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අච්චු ගසන අච්චු කන්තෝරුවක් බවට පත්ව තිබුණු බවය.

ඔහුගේ පාලන සමයේදී රටේ සමස්ත මුදල් තොගය රුපියල් ට්‍රිලියන 2.8කින් හෙවත් සියයට 35කින් ඉහළ නැංවූයේ විකල්ප ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන මුවාවෙන්. ඔහුගේ අවසන් කාලයේදී අවසාන පිළියම ලෙස ස්ථාවර විනිමය අනුපාතිකයක් තීරණය කරන වෙළෙඳපොළක් යොදාගත්තා. අලුතින් පත්වූ අධිපතිවරයා හෝ මෙම පිළිලය ඉවත් කරනවා නම් එය වැදගත්. අප මෙතෙක් අනුගමනය කළේ මියන්මාරය මුලදී අනුගමනය කළ අසාර්ථක වූ නිල විනිමය අනුපාතික ක්‍රමයයි. 2012දී මියන්මාරය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහය පැතූ අතර, මෙම සහය ලබාගැනීමට පෙර ඔවුන් සිදුකළේ නිල විනිමය අනුපාතිකය එවකට පැවැති කළුකඩ හුවමාරු අනුපාතිකයට සම වන ලෙස අමෙරිකානු ඩොලරය කියැටි 818ට සම කළ යුතු වීමයි. මෙහිදී මියන්මාරයට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට අපහසු වීම හේතුවෙන් දිගින් දිගටම පමණ ඉක්මවා මුදල් නෝට්ටු මුද්‍රණය කළා. එහි ප්‍රතිඵලයක් ලෙස නිල විනිමය අනුපාතකය පහළ වැටුණා. අද වනවිට අමෙරිකානු ඩොලරය කියැටි 1600ක් වෙලා. මෙම ප්‍රතිපත්තිය එරට ආර්ථිකයට විනකරන රාක්ෂයකු බවට පත්වුණා. එහෙත් අවාසනාවකට මෙන් අපටද අනුගමනය කරන්නට සිදුවූයේ එම අසාර්ථක ප්‍රතිපත්තියයි.

පසුගිය මහ බැංකු අධිපතිවරයා ඔහුගේ සේවා කාලය තුළ නැවත පිළිසකර කළ නොහැකි මාරාන්තික පියවර වැළක්ම ගෙන තිබුණා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු අනුගමනය කළේ නවීන මූල්‍ය න්‍යාය (Modern Monetary Theory) යි. එය ප්‍රධාන මූල්‍ය ආර්ථික ධාරාවෙන් බිඳී ගිය ආර්ථික මතවාදයක්. සංචිත වර්ගයේ මුදල් නොවන මුදල් වර්ගයක් භාවිත කරන ශ්‍රී ලංකාවට මෙම මූල්‍යවාදය න්‍යායාත්මක උචිත වන්නේ නැහැ.

ලබන වසරට කල් පිරෙන බැඳුම්කරවල පොලිය මේ වනවිට සියයට 49 දක්වා ඉහළ ගිහින්. එය ප්‍රායෝගික නැහැ. ඉතින් කොච්චර බැඳුම්කර නිකුත් කළත් බාහිර ආයෝජකයන් ඒවා මිලට ගන්නේ නැති නිසා බැඳුම්කර වෙන්දේසිවලින් මේ වනවිට අපේ අවශ්‍යතාව ඉටුවෙන්නේ නැහැ. අනික් අතට ක්‍රය ශක්තිය ඇතිවන්නේ නෝට්ටු හුවමාරුවෙන් නොවෙයි. අද වනවිට ජනතාව ඩිජිටල් ගනුදෙනු ක්‍රමයට යොමුවෙලා. ණය කාඩ්පත් හර හා බැර කාඩ්පත් ආදියෙන් සහ මාර්ගස්ත බැංකු මුදල් හුවමාරුවෙන් ගෙවීම් කරනවා. ඒ නිසා අලුතින් මුදල් නෝට්ටු අච්චු ගැසීම ප්‍රතිඵලදායි නොවන්නේ අද වනවිට ජනතාව මුදල් නෝට්ටු පරිහරණය අඩුකර තිබෙන නිසයි.

විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිකළ යුතුයි. විදේශ විනිමය එන්නේ ඒ මගින්. ඒ නිසා කොතරම් රුපියල් මුද්‍රණය කළත් ප්‍රතිඵලයක් නොලැබෙන්නේ ශ්‍රී ලංකා රුපියල අපේ රට තුළ පමණක් පරිහරණය කරන නිසයි. ඩොලර් වැඩිකර ගැනීමට රුපියල් මුද්‍රණයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මූල්‍ය වෙළෙඳපොළ ප්‍රසාරණය වූ විට නිෂ්පාදනය වැඩි නොවුණ විට මිල උද්ධමනය ඇතිවෙනවා. එවිට භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම අනිවාර්යයි.

අද රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගත යුතු වෙනවා. මෙතරම් කලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍ය නොවන බව රජය පැවසුවද මේ වනවිට මෙම ගැටලුවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කරා යා යුතු බවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ප්‍රකාශ කළ බව මාධ්‍ය මගින් දුටුවා. එය සුබවාදී ප්‍රතිචාරයක් බව කිවයුතුය. බොහෝ නොදියුණු රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගෙන ගැටලු නිරාකරණය කරගෙන තිබෙනවා. ඒ නිසා දැනට අප වැටී ඇති අගාධයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්බන්ධයක් ගොඩ නගාගෙන ඒ උපදෙස් අනුගමනය කළ යුතුය. මෙතෙක් කල් තිබුණ හිතුවක්කාර අදහස්වලින් බැහැර වී යම් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා විනා මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමෙන් මෙම ගැටලුව විසඳා ගැනීමට නොහැකියි.

දියුණු වෙන්න තිබූ අවස්ථා අපිම නැතිකර ගත්තා

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආර්.අයි.ආර්. ප්‍රසන්න:

2019 දී වර්තමාන රජය බලයට පත්වූ පසු රටේ ආර්ථිකයේ මූල්‍ය හා ෆිස්කල් ප්‍රතිපත්තිවල ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදුකළා. 2013-2014 වර්ෂවල ආර්ථික වර්ධන වේගය ඉහළ මට්ටමක තිබුණේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය, ඉදිකිරීම් හා ආයෝජන ඉහළ නැංවීම නිසයි. එසේ වුවත් එය ණය මත ගොඩනැගූ ආර්ථික තත්ත්වයක්. එහිදී සිදුවිය යුත්තේ ලබාගත් ණයවලින් සංවර්ධනය ඇතිකර ඒ ආදායම්වලින් ණය පියවීමක්. එහෙත් එය සිදුවූයේ නැහැ. තව තවත් ණය ගත්තා.
මෙහිදී අපේ රට ඉහළ ආදායම් ලබන මධ්‍යම පන්තියේ රටක් බවට පත්වුණා. එහෙත් එය අපට දිගටම පවත්වා ගෙන යාමට නොහැකි වුණා. මෙම තත්ත්වය ආර්ථික විද්‍යාවේ හඳුන්වන්නේ උගුලක් (Trap) ලෙසයි. එයට හේතුව ඉක්මනින් එයින් ඉවත්විය යුතු නිසයි. ඉක්මනින් ව්‍යුහාත්මක වෙනසක් කළ යුතු වෙනවා. පවතින තත්ත්වය වෙනස් වී අගය එකතු කරන කර්මාන්ත, නව උත්පාදන ආදිය ආර්ථිකයේ ඇතිවිය යුතුයි. ආර්ථික නවෝත්පාදන ක්‍රමවලින් නිෂ්පාදන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු වෙනවා. එහෙත් අපේ රටේ ඒවා එහෙම සිදුවූයේ නැහැ. ණය කළමනාකරණය ප්‍රමාද වුණා. ආර්ථික වර්ධනය අපේක්ෂා කළ මට්ටමට සිදුවූයේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය සියයට 5 සිට 2.3 දක්වා පහළ බැස්සා. මේ ළඟකදී ඍණ ආර්ථිකයක් බවට පත්වුණු බව කිව යුතුයි. 

මෙහිදී නව ආණ්ඩුව ගත් අදූරදර්ශී පියවරවල්ද මෙයට හේතුවුණා. 2020 පමණ වනවිට බදු සහන දීම නිසා රුපියල් බිලියන 1700 පමණ වූ ආදායම බිලියන 1300 දක්වා අඩුවුණා. රාජ්‍ය ආදායමෙන් සියයට 30ක් අහිමිකර ගත්තා. රජය බලාපොරොත්තු වුණේ බදු සහන දෙන වැඩි වූ ආදායම වැඩකරලා රටේ ආර්ථික උන්නතියක් ඇති කරයි කියලා. එහෙත් නිස්කාරණ දේවලට එය වැය කිරීමට පටන් ගත්තා. මෙලෙස සෝබන පාරිභෝජන රටාවක් සඳහා පාවිච්චි කිරීමෙන් භාණ්ඩ හා සේවා ඉල්ලුම වැඩිවුණා. ඉල්ලුමට සාපේක්ෂව නිෂ්පාදනය වැඩිවිය යුතු වුවත් එය සිදුවුණේ නැහැ. ජාතික නිෂ්පාදන හෝ සේවා නියුක්තිය වර්ධනය වුණේ නැහැ. අපේ ආනයන මත යැපෙන ජීවන ක්‍රමය වෙනස් වුණේ නැහැ. මෙහි ප්‍රතිඵලය තමා ආර්ථික වර්ධන වේගය පහළ යාම. මෙලෙස නිෂ්පාදනය දුර්වලවීමට කෝවිඩ් 19 අර්බුදයද බලපෑවා. මෙහිදී අද දක්වාම ආර්ථිකය විශාල ලෙස කඩා නොවැටුණත් එය එක තැන පල්වෙන තත්ත්වයට පත්වුණා. විනිමය අර්බුදය නිසා ඒකපුද්ගල ආදායම රුපියල්වලින් වැඩිවුණාට ඩොලර්වලින් පහළ වැටුණා. ඒකපුද්ගල ආදායම තිබූ 4023 මට්ටමේ සිට ඩොලර් 3683 දක්වා අඩුවුණා. මෙම තත්ත්වය නිසා මුලදී ඉහළ ආදායම් ලබන මධ්‍යම ආර්ථික තත්ත්වයේ තිබූ රට පහළ ආදායම් තත්ත්වයට පහළ වැටුණා. අපට දියුණු වෙන්නට තිබූ අනගි අවස්ථාව අප විසින්ම අහිමි කරගනු ලැබුවා.

මෙවැනි තත්ත්වයක් මත ආර්ථිකයට තවදුරටත් අසීමාන්විතව ද මුදල් එකතු කිරීම නිසා විශාල ලෙස අහිතකර ප්‍රතිඵල ලැබුණා. රටක ආර්ථිකයේ වර්ධනයට අනුව මුදල් මුද්‍රණය වැඩිකළ යුතු නමුත් ආර්ථිකය පහළ වැටී තිබියදී මුදල් සැපයුම වැඩිකිරීම පිළිගත් ආර්ථික සිද්ධාන්තවලට පටහැනියි. නිෂ්පාදනය අඩුවෙලා ආනයනයද අවම වී තිබෙන විට මුදල් සැපයුම වැඩිවූ විට ඉල්ලුම වැඩිවෙලා මිල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යනවා. අද සීනි, පරිප්පු, කරවල, සහල් ආදී අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කවදාවත් නැති තරමට ඉහළ ගොස් ඇත්තේ මේ නිසයි.

පසුගිය දිනවල නිෂ්පාදනය අවමව තිබියදී ජනතාව අතට රුපියල් 5000 බැගින් රුපියල් මිලියන 1600ක සහනාධාරයක් ගෙව්වා. නිවෙස්වල රුකියා නැතිව සිටින ජනතාවට සල්ලි දුන් විට ක්ෂණයකින්ම ඒවා වැය කරනවා. මුදලේ සංසරණ ප්‍රවේගය වැඩිවෙනවා. භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම වැළැක්විය නොහැකියි. නියාමනය සාර්ථකවීමට නම් වෙළෙඳපොළ කාර්යක්ෂමව පැවතිය යුතුයි. සාමාන්‍ය ආර්ථික සිද්ධාන්තයක් වෙන්නේ ආන්තික පිරිවැය ආන්තික ආදායමට සමාන වීමයි. එය ස්වයංක්‍රීයව ඇතිවූ විට සජීවී මිලක් ඇතිවෙනවා. එයට කවුරුවත් මැදිහත් විය යුතු නැහැ. වෙළෙඳපොළ අකාර්යක්ෂම වූ විටයි රජයට මැදිහත් වෙන්න සිදුවෙන්නේ. එහෙත් එය අසාර්ථකයි. වර්තමානය එයට හොඳ උදාහරණ සපයනවා.
රටේ විනිමය අර්බුදයට නෝට්ටු අච්චු ගැසීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් නැහැ. එයින් වන්නේ එය තීව්‍ර වීමක්. රටට ඩොලර් උපයන මාර්ග සොයාගෙන ඒවා වර්ධනය කළ යුතුයි. මෙහිදී සාම්ප්‍රදායික රාමුවෙන් පිට යා යුතුයි. මේ වනවිට අපනයනය සුළු වශයෙන් වැඩිවුවද ආනයනය හිතුවක්කාරී ලෙස වැඩිකරගෙන තිබෙනවා. රට තුළ මුදල් සැපයුම වැඩිවීම නිසා උද්ධමනය ඉහළ ගොස් ජනතාව තවත් පීඩාවට පත් කරනවා. මේ නිසා මේ අවස්ථාවේ කළ යුතු වන්නේ මුදල් මුද්‍රණය කිරීමෙන් ගැටලුව තවත් ඔඩු දිවීමට සැලැස්වීම නොව අර්බුදය හඳුනාගෙන ප්‍රතිකර්ම යෙදීමයි.

මෙහිදී කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් දෙආකාර උපක්‍රම ක්‍රියාවට නැංවිය යුතුයි. කෙටිකාලීන වශයෙන් දැනට පවතින කෝවිඩ් 19 අර්බුදය හැකි ඉක්මණින් සමනය කිරීම වැදගත්. එවිට රට සාමාන්‍ය තත්ත්වයට පත්වනවා ඇති. ඊළඟට දිගුකාලීන වශයෙන් රටේ ආර්ථිකයේ දීර්ඝකාලීන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉහළ නැංවිය යුතුයි. මූල්‍ය හා ෆිස්කල් ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම වැදගත්. නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී නව තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ ගොස් කාර්මික හා කෘෂිකර්ම සංවර්ධනයට කටයුතු කළ යුතුය. නිෂ්පාදනය වැඩිකිරීමට අවශ්‍ය ආයතන ව්‍යුහය සකස් කිරීම යෝජනා කරනවා.

 යසවර්ධන රුද්රිගු