2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

බුද්ධි අංශ කැළඹූ නාරාහේන්පිට අත් බෝම්බය

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 195

නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ වැසිකිළියක අටවා තිබූ අත් බෝම්බයක් හමුවන්නේ පසුගිය සතියේ දිනකය. මේ බෝම්බය දකින්නේ එම රෝහලේ ගොඩනැගිලි කොන්ත්‍රාත් සමාගමේ සේවය කරන සේවකයකු වැසිකිළියට ගිය අවස්ථාවේය. ඔහු සඳහන් කර ඇත්තේ වැසිකිළියට තමන් යනවිට වැසිකිළියේ සිට සුදු කමිසයක් සහ කළු කලිසම් ඇඳගත් අයකු පිටව ගිය බවත් ඔහු විසින් මේ බෝම්බය තබන්නට ඇති බවත්ය.

මේ සිදුවීම සුළුපටු සිද්ධියක් වන්නේ නැත. නොසිතූ පාස්කු ප්‍රහාරයකට ලක්වූ අප මෙවැනි සිදුවීමකින් තිගැස්සෙන බව අමුතුවෙන් කිවයුතු නැත. ලෝකය පුරාම මෙවැනි සිදුවීම් ප්‍රචාරය වීමත් සමඟ නැවත නැවතත් මේ රට අවදානමේ පසුවන බව බොහෝ දෙනා සිතනු ඇත. විශේෂයෙන් මෙවැනි සිදුවීම් ආර්ථිකයට මරු පහරක් වනු ඇත. ඒ නිසා මේ සිදුවීම කන වැකුණු සැණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරීක්ෂණ කණ්ඩයම්වල ඉහළ නිලධාරීන් අමතා මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ යුතු ආකාරය ගැන ඍජුව නියෝග දුන්නේය. විශේෂයෙන් මේ බෝම්බය දුටු පුද්ගලයා ලබාදෙන තොරතුරු ගැන විශේෂ අවධානය යොමුකරන ලෙසට ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබිණි.

කෙසේවෙතත් මේ වනවිට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නාරාහේන්පිට ස්ථානාධිපති වෙත නියෝග තුනක් ලබාදී තිබුණේය. ඒ බෝම්බය දුටු පුද්ගලයා කියන ආකාරයෙන් සීසීටීවී පරීක්ෂා කර සැක කෙරෙන පුද්ගලයා ගිය පැත්තට පොලිස් කණ්ඩායමක් යොමුකරන ලෙසය. දෙක රෝහල වසාදමා සම්පූර්ණයෙන් පරීක්ෂා කරන ලෙසය. තුන අදාළ සැකකරු සම්බන්ධයෙනුත් ඔහු ජීවත්වන නිවෙස සම්බන්ධයෙනුත් පරීක්ෂා කර ඔහුගෙන් සවිස්තරාත්මකව ප්‍රකාශ ලබාගන්නා ලෙසය. පොලීසිය ඒ අනුව අදාළ පුද්ගලයාගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ ලබාගත් අතර ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුදුකුඩුඉරුප්පු ග්‍රාමයේ පදිංචිකරුවෙක් බවට හඳුනාගනු ලැබීය. පසුව පොලිස් නිලධාරීන් මෙම බෝම්බය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් දිගින් දිගටම සිදුකරගෙන ගියත් සැකකරු ඇතැම් ප්‍රශ්නවලට හරිහැටි උත්තර ලබාදුන්නේ නැත. පසුව කොළඹ අපරාධ කොට්ඨාසයට මේ සම්බන්ධයෙන් දැනුවත් කළ අතර තෙන්නකෝන් මහතා සඳහන් කර සිටියේ වහාම අදාළ පුද්ගලයා කොළඹ නැවතී සිටින නිවෙස පරීක්ෂා කරන ලෙසය. ඒ අනුව වහාම පොලිස් කණ්ඩායමක් ගොස් අදාළ ස්ථානය පරීක්ෂා කළේය. එහිදී හොඳම සාක්ෂිය පොලීසියට හමුවිය.

වැසිකිළියේ තිබී සොයාගත් අත් බෝම්බය නූලකින් ගැටගසා එහි පින් එක ඉවත්කර තිබුණේය. එසේම බෝම්බය තබා ඔතන ලද නූලේ ගෑවෙන සේ මදුරු දඟරයක් ළංකර තිබුණේ මදුරු දඟරය ඇවිලි එම නූල පිළිස්සී බෝම්බය පිපිරී යන ආකාරයෙනි. එහෙත් මදුරු දඟරය නිවී තිබුණේය. සැබැවින්ම එය ඉතාම සූක්ෂම ලෙස අටවා තිබිණි. කෙසේ වෙතත් කතාවේ ඇත්ත හෙළිවන්නේ මෙම බෝම්බය ඇසින් දුටු පුද්ගලයා රුඳී සිටි ස්ථානය පරීක්ෂා කළ විටය. එනම් එම ස්ථානය පරීක්ෂා කළ නිලධාරීන්ට මෙම බෝම්බය ගැටගසා තිබුණු නූලේ ඉතිරි කොටස සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව මෙම බෝම්බ නාටකය මෙම පුද්ගලයාගේම වැඩක් බව පොලිස් නිලධාරීහු තේරුම් ගත්හ. අවසානයේ සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කරන්නට විය. ඒ අනුව සැකකරු තම කතාව කියන්නට විය.

සැකකරු ලංකා ‍රෝහලේ කොන්ත්‍රාත්තුවට පැමිණීමට පෙර කොන්ත්‍රාත්තු වැඩ සිදුකර ඇත්තේ කොළඹ විජේරාම පාරේ පිහිටි අමාත්‍ය නිල නිවෙසකය. එම නිල නිවෙස 2020 වසර තෙක් භාවිතා කර ඇත්තේ හිටපු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා විසිනි. ඉන්පසුව නියෝජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතාට එම නිවෙස හිමි වුවත් එහි අඩුපාඩු සැකසීම සඳහා මෙම කොන්ත්‍රාත් සමාගමට ලබාදී තිබිණි. එම නිල නිවෙසේ වැඩකරන සමයේදී එහි තිබූ කබඩ් එකක ලාච්චුවේ තිබී මෙම බෝම්බයත් ජීව උණ්ඩ කිහිපයකුත් මේ සැකකරු සොයාගෙන ඇත. පසුව ජීව උණ්ඩ තොගය ඔහු සමඟ වැඩකළ අයකුට ලබාදී ඇති අතර බෝම්බය සැකකරු තබාගෙන ඇත. මොහු බෝම්බය ලංකා රෝහලේ සවිකර ඇත්තේ මෙය දුටු බවට අඟවා පොලිසියෙන්, රෝහලෙන් මුදල් තෑගි ලබාගැනීමේ අරමුණු ඇතිව බව කියා ඇතැයි වාර්තා විය. බෝම්බය ක්‍රියාත්මක නොවන ලෙස තබා ඇත්තේ ඒ නිසාය. පසුව බෝම්බය තමන් දුටු බව පවසා මුදල් තෑගි ගැනීම ඔහුගේ අරමුණ වී ඇත.

සැකකරුගේ සාක්ෂි මත තවත් කණ්ඩායමක් අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා ඇති අතර එහිදී එම සැකකරුගේ මහව පිහිටි නිවෙසේ පිටුපස වළ දමා තිබියදී එම ජීව උණ්ඩ තොගය සොයාගෙන ඇත. ඒ අනුව මෙම නාටකයේ සියල්ල හෙළිවුණු අතර මෙම සිද්ධිය සැකකරුගේ ආර්ථික අපහසුතා මත සිදුකළ ක්‍රියාවක් බවට සැකකෙරේ.

එහෙත් මෙවැනි සිද්ධියක් සුළුවෙන් සිතා ප්‍රශ්නය නිම කළ නොහැක. එනම් අත් බෝම්බයේ පින් එක ගලවා එය ඉතාම පරිස්සමින් නූලකින් ඔතන්නත්, මෙවැනි ක්‍රියාවක් සිදුකරන්න අවශ්‍ය සැලසුමත් ඔහුගේම පමණක් යැයි සිතිය නොහැක. කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ ඔහුගේ ඥාති සහෝදරයෙක් එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයෙක් බවත් ඔහු මේ වනවිට පුනරුත්ථාපනය අවසන්ව නිවසට පැමිණ ඇති බවත්ය. එහෙත් එම හේතුව මත මේ සිද්ධිය ඔහුගේ කර මතින් තැබිය යුතු නැත. සැබවින්ම ඔහු මෙයට සම්බන්ධ නැත්නම් නිර්දෝෂී අයකුට නිකරුණේ වරද පැටලීමෙන් තේරුමක් නැත. එහෙත් එක ගැටලුවක් ඇත. එනම් සැකකරු කියන කතාවේ ඇත්ත නැත්ත සොයා ගැනීමය. ඒ පිළිබඳ ගැටලු ලිහා විසඳා ගැනීම මේ හැමදේටම හොඳම උත්තරය වනු ඇත.

 ගයාන් ගාල්ලගේ