2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

ජාත්‍යන්තරයට ගිය අෙප් සේයාරූ දෙකක්

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 55

ලොව සෑම වනජීවී ඡායාරූප ශිල්පියෙක්ගේම සිතේ එක්තරා සිහිනයක් තිබේ. ඒ බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා බවට පත්වීම හෝ ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වීමයි. (bbc wildlife photographer of the year) මෑතක් වනතුරු ඒ සිහිනය සැබෑවක් බවට පත්කර ගන්නට හැකියාව ලැබී තිබුණේ මෙරට සිටින ප්‍රවීණතම වනජීවී ඡායාරූප ශිල්පියෙකු මෙන්ම පරිසරවේදියකුද වන රුක්ෂාන් ජයවර්ධනට පමණයි. ඔහු වර්ෂ 2002 දී මෙම ගෞරවයට පාත්‍ර විය. 

පසුගිය සතියේ නිකුත් කෙරුණු බී.බී.සී. වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 ඡායාරූප ප්‍රදර්ශනයේ ප්‍රතිඵල අනුව මෙරට ඡායාරූප ශිල්පීන් දෙදෙනකු ඉදිරිපත් කළ ඡායාරූප මෙවර තරගයේ අංශ දෙකක් යටතේ ප්‍රදර්ශන මට්ටමට හා ජූරියේ විශේෂ පැසසුමට ලක්වීමට හැකියාව ලබාගෙන තිබුණි. මෙවර එම තරගය පැවැත්වුණේ 57 වැනි වරටයි.

මෙම ගෞරවය හිමිකර ගත්තේ බුද්ධිලිනි ඩී. සොයිසා හා ගගන මෙන්ඩිස් වික්‍රමසිංහ යන දෙදෙනායි. මේ අතරෙන් ගගන වික්‍රමසිංහ තවමත් එකොළොස් හැවිරිදි වියේ පසුවන ලාබාල පාසල් දරුවෙකි. ඔහු අප රටේ ප්‍රවීන උරග හා උභය ජීවී විද්‍යාඥයෙකු වන මෙන්ඩිස් වික්‍රමසිංහගේ කනිටු පුත්‍රයා වේ. ගගන ඡායාරූප ශිල්පයට අමතර ව සිය පියාගේ අඩි පාරේ යමින් මේ වනවිටත් උරග හා උභය ජීවී අධ්‍යයනය සඳහාද විශාල උනන්දුවක් දක්වන්නෙකු බව පැවසේ.

මාල ගිරා මවක් ගස් බෙනයක සිටින සිය පැටවුන්ට ආහාර කවන දුලබ සිද්ධිය ඉතා සියුම් ලෙස සිය කැමරාවට හසුකර ගත් ගගන එය තරගාවලිය සඳහා අවුරැදු 10 හා ඉන් පහළ අංශයට ඉදිරිපත් කර තිබුණේ (Lockdown chicks) යන නාමයෙනි. ගිරා පැටවුන් තිදෙනෙක් බෙනයෙන් පිටතට ඔළුව දමා උනන්දුවෙන් ආහාර ගන්නා රටාව සිය කැමරා කාචයට හසුකර ගැනීමට 11 හැවිරිදි ගගන සමත්වීම ඉතා අපූර්ව සිද්ධියකි. ඒ ගෙවත්තේ ගසක බෙනයක සිටි ගිරා රංචුවකි. කොළඹට නුදුරු නිවසේ උඩුමහලේ නිදන කාමරයක ජනේලයෙන් ඔහු දුටු දර්ශනයක් එලෙස කැමරාවේ සටහන් කරගෙන තිබුණි. පසුගිය වසරේ කොවිඩ් නිරෝධායන සමයේ නිවසටම කොටුවී සිටි ගගන තම වැඩිමහල් සොයුරාද සමඟ නිවස අසල ගසේ ජීවත් වූ ගිරා පවුල දෙස ඇස ගසාගෙන සිටීම පුරුද්දක් කරගෙන සිටියහ. විවිධ කාච සහ ත්‍රිපාද භාවිත කරමින් ගිරා පවුල කැමරාවට හසුකර ගැනීමට ඔහු උනන්දු විය. ඔහුට වනජීවී ඡායාරූපකරණයේ බොහෝ දුර යා හැකි බවට මෙම ජයග්‍රහණය ඉඟි සපයයි.

බුද්ධිලිනි ඩී. සොයිසාගේ කැමරාවට හසුව තිබුණේ සැඩපහරක අසීරුවෙන් පිහිනා යන චීටාවුන් කණ්ඩායමකි. එය (A Great Swim) නමින් හඳුන්වා තිබුණි. එම සේයාරුව ක්ෂීරපායී / හැසිරීම අංශයෙන් ඉදිරිපත් කර තිබුණි. පළපුරුදු වනජීවී ඡායාරූප ශිල්පිනියක වන බුද්ධිලිනී මෙම දුලබ දසුන ඇයගේ කැමරාවට හසු කරගෙන ඇත්තේ කෙන්යාවේ මසායි මාරා ජාතික වනෝද්‍යානයේදීයි. චීටාවන් සිව් දෙනෙක් දිවි බේරාගැනීමට ඔළුව ජලයෙන් ඉහළට ඔසවමින් තෙලැක් නදියේ පිහිනා යන අන්දම අපූරු සිත්තමක් සේ කැමරාවේ සටහන් කරගෙන තිබුණි.

බුද්ධිලිනි ද සොයිසා මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ජීවත්වන අතර  කොළඹ බිෂොප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇය බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වන්නීය. වසර දහයකට පමණ පෙර ඡායාරූපකරණයට පිවිසි බුද්ධිලිනි එය විනෝදාංශයක් කොටගෙන සිටී. ලොවපුරා රටවල් 95ක් සිටින දක්ෂ ඡායාරෑප ශිල්පින්ගේ ඡායාරූප 55,000ක් පමණ මෙවර තරගය සඳහා යොමුකර තිබුණි. මේ සෑම ඡායාරූපයක්ම විශිෂ්ට අත්දැකීම් සහිත විනිශ්චය මණ්ඩලයක් මගින් විනිශ්චයට ලක්කෙරේ.

“බොහෝ වනජීවී ලෝලයන්ට පසුගිය අවුරුද්දේ ඇවිදීමට ඉඩ ලැබුණේ නෑ. නමුත් ඔවුන් තමන් අවට ලෝකය වෙනස් ආකාරයකට දැකීමට උත්සාහ කළ ආකාරය මෙවර ඉදිරිපත් වූ සේයාරෑවලින් පැහැදිලි වෙනවා.“ විනිශ්චය මණ්ඩලයේ සභාපති සහ බිබීසී වයිල්ඩ් ලයිෆ් සංස්කාරක රොස් කිඩ්මන් කොස් පවසා සිටී.

“මේ පින්තුරේ ගත්තේ 2020 ජනවාරි මාසේ. ධාරානිපාත වැස්ස නිසා ගංගා උතුරා යමින් තිබුණේ. චීටා රංචුව ගඟෙන් එතෙර වීමට දිගු වේලාවක් බලා සිටියා. අන්තිමට ඔවුන් සැඩ පහරට පැනලා එතෙර වුණා. ඒක ගනිද්දී නායක චීටාගේ ඇස් මට කතා කළා. ඔය කැමරාව පැත්තකට දලා අපිට උදව් කරන්න වගේ තමයි ඒ බැල්මෙන් එයා කිව්වේ......” තම ඡායාරූපය ගැන බුද්ධිලිනි සිය අත්දැකීම හෙළිකරමින් පවසා සිටින්නීය.

තරගයේ අවසන් වටයට තේරුණු ඡායාරූප අතරින් ජයග්‍රාහක ඡායාරූප ලබන මාසයේ 12 වැනිදා ලන්ඩනයේ ස්වභාවික විද්‍යා ඉතිහාස කෞතුකාගාරයේ සිට අන්තර්ජාලය ඔස්සේ නිවේදනය කිරීමට නියමිතය. ඒ අතරම ජයග්‍රාහී ඡායාරූප සහිත විශේෂ අතිරේකයක් BBC Wildlife Magazine නොවැම්බර් කලාපයේ පළ කෙරේ.

 කුසුම්සිරි විජයවර්ධන