ආගම යනු සාරධර්ම, ආචාර ධර්ම, නමස්කාර ක්‍රම සහ චාරිත්‍ර වාරිත්‍ර තුළින් ප්‍රකාශ කෙරෙන දෙවියන් හෝ දෙවිවරුන් පිළිබඳ නිශ්චිත විශ්වාස පද්ධතියක් ලෙස කෙටියෙන් අර්ථ දැක්විය හැකිය. ආගමට සමාජ, සදාචාරාත්මක සහ චාරිත්‍රානුකූල අංග ඇතුළත් වන අතර නොපෙනෙන ලෝකයක් සහ බොහෝ විට දෙවියන් පිළිබඳ විශ්වාසයද ඇතුළත්ය.
ලොවපුරා පිළිගත් ආගම් 22ක් පමණ ඇති අතර තවත් විවිධ දෙවිදේවතාවන් පුදනු ලබන සුළු ජනකොටස් අදහන ආගම්ද බොහෝ පවතී. ඉන්දියාවේ පමණක් විවිධ නම්වලින් හැඳින්වෙන දෙවිවරුන් මිලියන 330ක් පමණ ඇතැයි පැවසේ. ලොව ප්‍රමුඛම දේවවාදී ආගම් අතර මුල්තැන හිමිවන්නේ ක්‍රිස්තියානි ධර්මයටය. දෙවනුව ඉස්ලාම් ධර්මයටත් තෙවනුව හින්දු ධර්මයටත් හිමි වේ. ලෝක ජනගහනයෙන් බිලියන 2.3ක් ක්‍රිස්තු භක්තිකයන් (කතෝලික, ප්‍රොතෙස්තන්ත, ඕතඩොක්ස්) වන අතර බිලියන 1.9ක් ඉස්ලාම් බැතිමතුන්ය. හින්දූන් බිලියන 1.2ක් පමණ වේ.
මින් දශක කිහිපයකට ඉහත ලොව ඇතැම් රටවල් හා බොහෝ පුද්ගලයන් ඉස්ලාම් දහම වැළඳගන්නා ප්‍රවණතාවක් පැවතිණි. ඉස්ලාම් යන වදනේ අරුත යටහත් භාවය සහ සාමය යන්නයි. මුස්ලිම් යනු අල්ලාහ්ට යටහත් භාවය පළකරන තැනැත්තා යන්නයි. සාමය අත්විඳීමට නම් හදවතින්, ආත්මයෙන් සහ ක්‍රියාවෙන් අල්ලාහ්ට යටත් විය යුතු බව ආගම උගන්වයි.
වර්තමානය වනවිට ඉස්ලාම් දහම ඇදහූ බොහෝ තරුණ පිරිස් අදේවවාදීන් වීමේ ප්‍රවණතාවක් මතුව තිබේ. අරාබි ලෝකයේ මෙන්ම අමෙරිකාවට සංක්‍රමණය වී අමෙරිකාව පුරා විසිරී සිටින ඉස්ලාම් බැතිමතුන්ද යුරෝපයේ ඇතැම් පිරිස්ද තම ආගම අත්හරිමින් සිටින බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ. කුවේට් ජාතික නිළි බාස්මා ඉස්ලාමය අතහැර දමා යුදෙව් ආගම වැළඳ ගැනීම බොහෝ මුස්ලිම් ජාතිකයන් දැඩි කම්පාවට පත් කළේය. මෙය වඩාත් සංකීර්ණ වූයේ කුවේට්හි ගුවන්විදුලි මාධ්‍යවේදියකු වූ මොහොමඩ් අල්-මුමින් ඉස්ලාම් ධර්මය අතහැර ක්‍රිස්තියානි ආගමට හැරෙන බව ප්‍රකාශ කිරීමෙන් පසුවය. ඉස්ලාමය අත්හැරීම සම්බන්ධයෙන් කිසිවකු ප්‍රකාශ නොකරන්නේ බොහෝ අරාබි රටවල ඇදහිල්ල අත්හැරීමට එරෙහි නීති පැවතීම හේතුවෙනි. එහෙයින් ඉස්ලාමයෙන් ඉවත්වූවන්ගේ නිශ්චිත සංඛ්‍යාව ප්‍රකාශ නොවේ.
අරාබි සහ ඉස්ලාමීය ලෝකය තුළ ඉස්ලාමය අතහැර දැමීමේ සංසිද්ධිය ව්‍යාප්ත වීමට හේතු වන සාධක රුසක් තිබෙන බව සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙතැයි නිව්ස් ඔන් ලයින් නමැති වෙබ් අඩවිය පෙන්වා දෙයි
ඒ අනුව කාන්තාවන්ට පහර දීමට ඉඩදීම, යුද්ධවලදී කාන්තාවන්ගේ වහල්භාවය පිළිගැනීම සහ වෙනත් ජාතීන්ට එරෙහිව ජිහාද් ප්‍රකාශ කිරීම වැනි මානව ශිෂ්ඨාචාරයට හා මිනිස් හෘද සාක්ෂියට පටහැනි ක්‍රියා සම්බන්ධ ගැටලුවලට ඉස්ලාමීය පූජකයන්ට විසඳුම් නොමැතිවීම හා ඉස්ලාමීය පූජකයන් මුස්ලිම් නොවන අය සඳහා ඉස්ලාමයට දායක වන්න, ජිසියා නමැති බදු ගෙවන්න නැතිනම් මරණයට සූදානම් වන්නැයි බල කිරීම නිසාද බොහෝ පිරිස් ඉස්ලාමයට එක්වීමෙන් බැහැර වී තිබේ.
තම පාලනයට නතුවී සිටි ඉස්ලාම් භක්තිකයන්හට දේශපාලන වශයෙන් සමෘද්ධිය අත්කර දීමට ඉස්ලාමීය පාලනයක් පැවැති රටවල නායකයන්ට නොහැකි වූ බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි. ඇෆ්ගනිස්ථානයේ තලිබාන් සංවිධානය සහ ඉරාකයේ සහ සිරියාවේ අයි.එස්.අයි.එස්. සිට සෝමාලියාවේ ෂෙබාබ් සංවිධානය සහ අනෙකුත් අන්තවාදී ඉස්ලාමීය ව්‍යාපාර දක්වා මිනිසුන්ට ඉස්ලාමය එකම විසඳුම යන දැක්ම තුළින් අත් වූයේ විනාශය, දුප්පත්කම සහ අසරණකම හැර වෙනත් කිසිවක් නොවන බවද. ඉන් ඉස්ලාම් දහමේ යථාර්ථය යටපත් වී මුස්ලිම් සහෝදරත්වය සම්පූර්ණයෙන් බිඳවැටුණු බවද එම වෙබ් අඩවිය සඳහන් කරයි.
මිනිසුන්ගේ සදාචාරය වර්ධනය කිරීම සඳහා ඉදිරිපත් කළ ඉස්ලාමීය පුනර්ජීවනය යන සංසිද්ධිය අසාර්ථක වූයේය. හැත්තෑව දශකයේ අග භාගයේ පැතිරී ගිය ඉස්ලාමීය පුනර්ජීවනයෙන් පසුව, කාන්තාවන්ට සිදු වූ හිරිහැර වැඩි වූ අතර, පක්ෂපාතීත්වය සහ අවංකභාවය වැනි බොහෝ සමාජ වටිනාකම් බිඳ වැටුණු බවද එහි සඳහන්ය. ඉස්ලාමීය උරුමයන් ලෙස හඳුන්වා ගන්නා ඇතැම් ග්‍රන්ථවල සඳහන් “වැඩිහිටියන්ට මව්කිරි දීම”, “තරුණියන්ගේ විවාහය”, සහ ලේවැකි “ඉස්ලාමීය කාලිෆේට්” රාජ්‍යය යන මතවාද සහ අනෙකුත් සාහසික ක්‍රියාවන් අන්තර්ජාලය හා සමාජ ජාල නිසා ව්‍යාප්ත වන්නට විය. පෘථිවිය මත ඉස්ලාමය ශ්‍රේෂ්ඨතම ශිෂ්ඨාචාර ආගම බව ලොවට ඒත්තු ගැන්වීමට පූජකයන් ගන්නා උත්සාහයට මේවා මුළුමනින්ම පටහැනිය.
මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් වෙසෙන ඉස්ලාම් බැතිමතුන්ගෙන් හතරෙන් එකක් පමණ වන ප්‍රමාණයක් මෙලෙස ඉස්ලාම් ආගම අත්හරිමින් යන බව වාර්තා වේ. එය රුල්ලක් බවට පත්වී සමස්ත යුරෝපය පුරාම පැතිරී යන බවක් දක්නට ලැබෙන බවද මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි. මේ සම්බන්ධව අදහස් දක්වන සමාජ විද්‍යාඥයන් පවසන්නේ ඉස්ලාම් ආගම ජන්මයෙන් උරුම කරගත් බුද්ධිමත් ඉස්ලාම් භක්තිකයන් තම ජීවිතවලට අභිමානය එක්කර ගැනීමටත් තම දරුවන් මරාගෙන මැරෙන අන්තවාදීන් බවට පත් නොකිරීම සඳහාත් ඉස්ලාම් ධර්මය අත හරිමින් සිටින බවයි. මේ වනවිට අල්ලාහ් නොමැතිව අතිශය චමත්කාරයි (Awesome without Allah) යන පාඨය එවැනි ඉස්ලාම් ආගම අතහැර යන්නන් අතර ඉතාම ජනප්‍රිය පාඨයක් බවට පත්ව තිබේ.
පසුගිය දින කිහිපය තුළ Awesome without Allah යන සිරස්තලය ට්විටර් මාධ්‍ය තුළ ජනප්‍රිය වෙමින් පවතී. ලොවපුරා සිටින හිටපු මුස්ලිම්වරු ඉස්ලාමය අතහැරීම සමරමින් හා ෂරියා නීති නමැති විලංගුවලින් මිදී කලින් සිතා ගැනීමටවත් නොහැකි වූ නව නිදහසක් හිමිවීම පිළිබඳ තම සතුට ‘ට්විටර්’ ගිණුම්වල හුවමාරු කර ගනිමින් සිටිති.
ලාභ නොලබන සංවිධානයක් වන උතුරු ඇමරිකාවේ හිටපු මුස්ලිම්වරුන්ගේ සංවිධානය මෙම වාපාරය සඳහා මාර්ගගතව මෙන්ම නොබැඳි ලෙසද නායකත්වය ලබා දෙයි. ඔවුන් විවිධ පොදු ස්ථානවල දැන්වීම් පුවරු සවිකර ඇත. “ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටින ඉස්ලාම් භක්තිකයන් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු ඉස්ලාමය හැර ගොස් ඇතැයිද තමන් දෙවියන් නැති, බය නැති, හිටපු ඉස්ලාමිකයන්” යැයිද එම පුවරුවල පදර්ශනය කෙරේ. හිටපු මුස්ලිම්වරුන්ගේ සංවිධානයේ එක් අරමුණක් වන්නේ ඉස්ලාමය හැර යන පුද්ගලයන් මුහුණදෙන ගැහැට හා ගැටලු අවම කිරීමය. එය ලෞකික වටිනාකම් පවර්ධනය කරන අතර ආගමික මතභේද සමතයට පත් කිරීමට කටයුතු කරයි. මෙම මුලපිරීම ආරම්භ කළේ 2012 දී මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ මුහම්මද් සයීඩ් විසිනි.
එම සංවිධානය පෙන්වා දෙන පරිදි ඉස්ලාම් ආගම ඒක පාක්ෂිකය. එය වෙනත් ආගම් අදහන්නන් තම ආගමට ගැනීමට කටයුතු කරන නමුදු ෂරියා (ඉස්ලාමීය නීතිය) විසින් නියම කර ඇති පරිදි ඉස්ලාම් ආගම අදහන කිසිවකුට ආගම අත්හැරිය නොහැකිය. ඔවුන්ට අනුව ඇදහිල්ල අත්හැරීමට දඬුවම මරණයයි. තවද ඉස්ලාමය හැරගිය පුද්ගලයකු ඝාතනය කිරීම සාමාන්‍ය දෙයකි. එය මුස්ලිම් ලෝකය පුරාම නිතරම ක්‍රියාත්මක වන අතර එයට ෂරියා නීතියට යටත් නොවන බටහිර ජාතීන් පවා ඇතුළත්ය. ඉස්ලාම් රාජ්‍යයක් නොවන රටකදී වුවද ඉස්ලාමීය ආගම අත්හැර ගිය පිරිස් ඝාතනය කිරීම සඳහා අතිශය උද්යෝගයකින් කටයුතු කරන පිරිස්ද ඒ අතර වේ. ඉස්ලාමය අතහැර ගිය ඥාතියකු ඝාතනය කිරීමට සැලසුම් කළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු එක්සත් රාජධානියේ බලධාරීන් විසින් පසුගිය දිනවල අත්අඩංගුවට ගෙන තිබේ. මුස්ලිම් ප්‍රජාව තුළ විසම්මුතියට ඉඩක් ලබාදීම Awesome Without Allah වැනි ව්‍යාපාරවල අරමුණ යැයි හිටපු මුස්ලිම්වරුන්ගේ සංවිධානයේ විධායක අධ්යක්ෂ සාරා හයිඩර් පවසයි.
ඇදහිල්ල අත්හැර ගිය අයට මරණය ගැන නිරන්තර බියෙන් ජීවත්වීමට සිදුවන මෙවැනි බියකරු වාතාවරණයක් තුළ, මෙම සංවිධානය විසින් සිදුකරනුයේ ඉතාමත් නිර්භීත කියාවක් යැයිද, ඉස්ලාමය හැරයන පිරිසෙන් වැඩි දෙනෙක් කාන්තාවන් වන බවද මාධ වාර්තා කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ හිටපු මුස්ලිම් ආධාරක ජාලයේ සම නිර්මාතෘ සහ ඔවුන්ගේ ට්විටර් වෙබ් අඩවිය වන Heretical Gray හි සම නිර්මාතෘ වන නික්, අල්ලාහ් නොමැතිව අතිශය චමත්කාර වන්නේ මන්දැයි යන්න මෙලෙස පැහැදිලි කරයි. “කිසිම කාන්තාවකට හිජාබය, නිකාබය අඳින්නට බල නොකළ යුතුයි. කාන්තාවකගේ වටිනාකම රෙද්දකින් තීරණය කරන්න බැහැ. මොකද හිජාබය ඉවත් කිරීම නිසා කාන්තාවක් දූෂණයට ලක් විය යුතු දුරාචාරී පුද්ගලයකු බව අදහස් වන්නේ නැහැ. සෑම කෙනෙකුටම තමන් කැමති පරිදි ජීවත් වීමට නිදහස තිබිය යුතුයි. යනුවෙන් ඇය සඳහන් කර තිබේ.
ඉස්ලාමය හැරගිය තරුණියක වන යස්මින් මොහොමඩ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දැන් අපට කැමති පරිදි ජීවිතය භුක්ති විඳීමට නිදහස තිබේ. අපට අවශ්‍ය දේ සිතීමට අපේ මනසට නිදහස ඇත. අපට අවශ්‍ය අයට ආදරය කිරීමට, අපගේ හදවතට නිදහස ඇත. අපි තවදුරටත් ආත්මරාගීන්ගේ ඉල්ලීම්වලට යටත් නොවේ. යනුවෙනි.
ගෞරවය සඳහා වන ඝාතනයෙන් දිවි ගලවාගත් තවත් කාන්තාවක වන ජිනාන් මුර්තාඩ් පවසන්නේ ඇය ස්ත්‍රීවාදය සඳහා ඉස්ලාමය හැර ගිය බවයි. රුඩිකල් කළු ස්ත්රීවාදියකු ලෙස මට එකවර මුස්ලිම් හා ස්ත්රීවාදියකු විය නොහැකි නිසා. මම කාන්තා විමුක්තිය තෝරා ගතිමි. හිජාබය ඉවත්කර නිවසින් පිටවීම නිසා මගේ මව මා මරා දැමීමට එකඟවූවාය. මා නික්ම ගිය මොහොතේ සිට මා මරා දමන ලෙස ඇය දෙවියන්ට නිමක් නැතිව යාච්ඥා කළ අතර මා ඉක්මනින් මරණයට පත් විය යුතු බව විශ්වාස කළාය. මම ආගම අතහැර දැන් වසර 2ක් ගත වී තිබේ. එහෙත් තවමත් ජීවතුන් අතර සිටිමි ඇය පවසයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා