2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

අරුණට පෙර සමුගෙන ගිය සුනිල්

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 269

I don’t know why මෙහෙම වුණේ ඇයි?
එහෙම හිතුණේ මට විතරද? 
දන්නෙ නෑ මං 2020 සැප්තැම්බර් 6 වැනිදා වෙනකම් වැදෙන තැන්වලට වැදෙන්නම, රිදෙන තැන්වලට රිදෙන්නම, විඳින පපුවලට දැනෙන්නම සුනිල් පෙරේරා කීවද කියලා සින්දු කීයක්නම්...

හහ් හා පිරිමි අපට සිද්ධ වෙන්නෙ මේකම නේද?
ගෙදර දොරේ වැඩ කරන්නේ නෝනා වුණාට
පොල් ගාන්න සිද්ධ වෙන්නේ අපටම නේද?

ගිය පාර උඩින් දින්නෙ මං
මේ පාර ඇපත් නෑනේ බං
මොකක්ද කරපු වරද මං
සිඤ්ඤෝරේ...

අනං මනං බෙහෙත්වලට ඇයි ගෙවන්නෙ සල්ලි
ඕනෑ ලෙඩක් හොඳ වෙනවා බොන්න කොත්තමල්ලි

රිද්මය වේගවත් වුණාට ගැම්මක් තිබුණා ළය ලෙයට දැනෙන්නම.. සමාජයේ ගඳ ගහන ඕජස් ගලන තැන්වලට කතා කළ හින්දා ඔබ.

දියවන්නා ඔයේ ඉන්න ගෙම්බන්ගේ පටන්
කවුරුත් දන්නවා මගේ පොලිටිකල් පැටන්...
පෙරහරෙ යන රජා මමයි බොල ඇද්දට කොටන්
මාව මට්ටු කරන්න බෑ වෙට්ටු දමලා හිටං
යකෝ මාව මට්ටු කරන්න බෑ වෙට්ටු දමලා හිටං

යකෝ මාව මට්ටු කරන්න බෑ වෙට්ටු දමලා හිටං..
ඇත්ත... කිව යුතු යමක් වේනම් එය නොවලහා කෙලින් කියන්නට තරම් කොන්දක් තිබුණු සුනිල් පෙරේරාව මට්ටු කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ වෙන කාටවත්, කොවිඩ් යක්ෂයාට ඇරෙන්න... වෙට්ටු දාලා වට්ටලා ආයෙත් නැඟිටලා ඇවිල්ලා ඉද්දිත් ආයෙත් ඌ ඇවිත් සුනිල් පෙරේරාව අරගෙනම අරන් යන්න ගියේ හිටං ඌව මට්ටු කරන්න සුනිල් පෙරේරාට විතරක් නෙවෙයි මේ ලෝකේ රජ පවුල්වල උන්ටවත් හයියක් නැති තරමට කොවිඩ් යකා යක්ෂයෙක් වුණු හින්දා..
සම්මුති මරණය තුළ මියැදෙන එහෙත් හදවත් තුළ සදානුස්මරණීය ලෙස ජීවත්වෙන මිනිස්සුන්ගේ කුලකයේ මිනිහෙක් විදිහට මම කැමතියි ජිප්සීස් නායක සුනිල් පෙරේරාව හඳුන්වන්න.. ඇරිස්ටෝටල්ට අනුව දේශපාලනයෙන් වියුක්ත වෙච්ච මිහිහෙක් ලෝකේ නෑ.. හැම මිනිහටම යම් දේශපාලනයක් තියෙනවා.. එනයින් සුනිල් පෙරේරාටත් දේශපාලනයක් තියෙන්න ඇති.. ඒ දේශපාලනයේ පාට ලකුණ මට වැඩක් නෑ... කොටින්ම ඒ දේශපාලනය අපට අදාළම නෑ.. මේ ලෝකයේ හැමෝම දේශපාලන සත්ත්වයෝනම් සුනිල් පෙරේරාටත් කෙලින් කඩේ ගියත්, ඇදේට කඩේ ගියත්, කඩේ ගියත් නොගියත්, දේශපාලනයක් ඇඟ ඇතුළෙ තියෙන්න ඇති.. 

සුනිල්ගේ ජීවිතයේ පෙම් පැටලිවිලිත් අපිට අදාළම නෑ.. ඒ ඔහුගේ ජීවිතය ඔහුගේ අයිතියක් නිසා.. ආදරය ප්‍රේමය ලිංගිකත්වය විඳීමට ඇති අයිතිය මානවීය අයිතියක් නිසා.. හැබැයි සුනිල් පෙරේරා ආදරය දන්න මිනිහෙක් මිසක් ආදරයට පාදඩකම් කරපු මිනිහෙක් නෙවෙයි... ජීවිතයේ එවැනි පටලැවිලි වෙනුවෙන් පහුකාලයකදී ඔහු ගීතාගෙන් සමාව ගත්තා.. ගීතා කීවේ ඔහුගේ බිරිඳ.. මගේ බිරිඳට කරන්න පුළුවන් ලොකුම වැරැද්ද මං කළා. හැබැයි එයා කවදාවත් මට වරදක් කරපු ගෑනියක් නෙවෙයි. මගේ අම්මා හැරුණාම මගේ ජීවිතයේ හමුවූ ගෞරවනීයම ගැහැනිය මගේ බිරිඳ. එය පෙර ආත්මයක සිට එන බැඳීමක් වෙන්න ඇති. ඒ වරද හදාගන්නට, ඒ වරද යළිත් නොකරන්නට ඇයට පොරොන්දු වූ සුනිල් පසුව යන යන තැන බිරිඳ කැටුව යෑම පුරුද්දක් කර ගත්තා. ගීතා මම කොහේ ප්‍රසංගයකට ගියත් ඔයා එන්න. ගායිකාවක හා ඇතිවූ පෙම් පටලැවිල්ලකදී බිරියගෙන් දික්කසාද වෙන්නැයි ඇය සුනිල්ට බල කරද්දී සුනිල් දුන්නේ එකම පිළිතුරක්. ගීතා මගේ ජීවිතයෙන් අයින් කරන්න එයා මට කිසිම වරදක් කරපු ගෑනියෙක් නෙවෙයි.. 

වරදක් කළත් ඒ වරද දකින, ඒ වරද පිළිගන්න තරම් හෘද සාක්ෂියක් සුනිල්ට තිබුණා. නෑ මං එහෙම කළේ නෑ... ඒක කළේ මගේ වුවමනාවට නෙවෙයි.. වෙන කෙනෙක් එහෙම කරන්න කීවේ.. එසේ කියමින් කළ වරදින් ඇඟ බේරාගන්න තව එකෙක් ඇපයට දී පාවා දී ගැලවෙන පුරුද්දක් සුනිල්ට තිබුණේ නෑ. එවැනි කතා කිසිදා සුනිලුන් කීවේත් නෑ. කළ දේ ඔහු විවෘතවම කතා කළා. කුහක වේෂධාරී සුචරිතවාදී භූමිකා තුළට ඔහු කිසිදා බලහත්කාරයෙන් ආරෑඪ වූයේත් නෑ. කොළඹ රාජකීය විද්‍යාලයීය ප්‍රසංගයකදී ගෑනුන් හෙලුවෙන් නැටෙව්වේ* ඇයිදැයි අසද්දී ඔව් මං එහෙම කළා.. ඒක මගේ අතින් වෙච්ච වැරුද්දක් යැයි සුනිල් පෙරේරා ඔහු හා සම්මුඛ සාකච්ඡාවකදී දිනක් මට කීවා. ඒ සිද්ධියේ අග මුල ද අකුරක්වත් සඟවන්න සුනිල්ට වුවමනා වුණේ නෑ. එදා අප හමුවූ දින සුනිල්ගේ කාර්යාලයේ පොත් කන්දරාවක් තිබුණා. ඒ මොකටදැයි මම අහද්දි සුනිල් දුන්නෙ මෙහෙම උත්තරයක්. ඔය පොත් දුප්පත් ළමයින්ට දෙන්න.. මම හම්බකරන සල්ලිවලින් කොටසක් දුප්පත් මිනිස්සු වෙනුවෙන් මම දෙනවා. ඇහුව හින්දා කීවේ උඹලා ඕවා ලියන්න එපා.. මම ප්‍රසිද්ධිය බලාගෙන මොකුත් කරන්නෙ නෑ.. ඇත්තටම එදා නොලියූ ඒ දේ අද ලියන්නට මට සිතේ.
අල්ලක් තරම් දී යායක් තරම් පබ්ලිසිටි ඉල්ලන ඇතැම් කලාකරුවන් අතර සුනිල් පෙරේරා යනු යායක් තරම් දී නිය තුඩක් තරම්වත් යමක් ආපසු නොඉල්ලූ කලාකරුවෙක්. සුනිල් පෙරේරාට ගී ලියූ හේමසිරි හල්පිට මියගිය පසු ඔහුගේ බිරිඳත් දරුවනුත් වෙනුවෙන් නිවසක් සාදා දෙන්නට තරම් ඔහුගේ මනුස්සකම ගැඹුරු වුණා.

ලංකාවේ ඉන්නේ සින්දුවලින් තමන් පමණක් හරිහම්බ කරන ගායක ගායිකාවන් වැඩි පිරිසක්. ඒ තමා ඇත්ත. ඒත් සුනිල් කවදාවත් තමන් වෙනුවෙන් සින්දු ලියපු ගීත රචකයන් සංගීතඥයන් අමතක කළේ නෑ. ඒ අයට තමන් ඒ අයගේ සින්දු කියලා හම්බකරන මුදලින් ගාණක්  දුන්නා. ඒ අය මළ පසු ඒ අයගේ බිරිඳට දරුවන්ට පවා ඒ් මුදල් ලැබෙන්න සැලැස්සුවා. විරල මහත්මාගුණයක් සුනිල් ළඟ තිබුණු බවට ඒ එක සාක්ෂියක් විතරයි. 
ඩබ්ලිව්. ජයසිරි සුනිල් පෙරේරා අපෙන් සමුගත්තට පසුව ලියා තිබූ සටහනක් මම කියෙව්වා.
හැම අවුරුද්දකම මගේ උපන් දිනය දවසට සුනිල් මට රුපියල් 25,000ක් එවනවා. මම කවදාවත් ඉල්ලන්නේ නෑ. ඇයි ඒ අහද්දි මම ඔයා ලියූ සින්දුව කියලා හම්බ කරනවනෙ. ඒ හින්දා ඔයාටත් මම ඒකෙන් ගාණක් දෙන්න ඕනෑ කියනවා. 
එහෙම හිතන උන් ඇත්තටම කලා ලෝකයේ නැත්තටම නැති තරම් වෙන තරමට ඉන්නේම අතලොස්සක් විතරයි. 

බදු දැලෙන් රිංගා යන්නට තෝර මෝරුන් හිල් හොයද්දී සුනිල් පෙරේරා යනු ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් තමන්ගේම කැමැත්තෙන් බදු ගෙවා රට වෙනුවෙන් යුතුකම ඉටුකළ පුරවැසියෙක්. එවන් විනයක් ඔහුට තිබුණා. මම පින විශ්වාස කරනවා.. පින් කරන්න.. ජීවිතය සතුටෙන් සැපෙන් ගෙවන්නේ පින් කරපු මිනිස්සු. මිනිස්සුන්ට ආදරය කරන්න.. දෙන්න පුරුදු වෙන්න.. ජ්‍යොතිෂය පස්සේ යන්න එපා.. ග්‍රහ තරුවලට ජීවිතය බාරදෙන්න එපා.. මගේ ගේ හදන්න බාස්ලා ඇවිත් මහත්තයා වෙලාවක් බැලුවද අහද්දි මම කීවේ ගල් වැලි සිමෙන්ති ටික තියෙනවනම් බාසුන්නැහේ වැඩේ පටන්ගන්න. බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ දෙයක් කළ යුතු වෙලාව තමා ඊට සුදුසුම වෙලාව කියලා. බුදු දහමට අනුව ග්‍රහ තරු රාහුගෙන් වැඩක් නෑ... කතෝලික භක්තිකයකු වුවද සුනිල් දිට්ඨ ධම්මවේදනීය කර්මය ගැනද වරෙක ගැඹුරින් කතා කළා මට මතකයි.

අකුසල් කරලා ගැලවෙන්න බෑ. දරුවන්ගේ දරුවන් පිටින් හරි ඒවා යනවා.. දිට්ඨ ධම්මවේදනීය කර්මය මිනිසුන්ට පල දෙන හැටි මම අධ්‍යයනය කරලා තියෙනවා. ඒ හින්දා පව් කරන්න එපා. හැම ආගමකටම, ජාතියකටම ගරු කරන්න. මිනිසුන්ට ආදරය කරන්න. මගේ නෝනා බුද්ධාගමේ. මම එයාට දවසක් කීවා බුදු හාමුදුරුවන්ගේ පිළිමෙකුත් ගෙනත් ජේසුගේ පිළිමය ළඟින් තියන්න කියලා. එයා ගෙනාවේ අඟල් තුන හතරක විතර පුංචි පිළිමයක්. මම ඇහුවා ඇයි මෙච්චර පොඩි එකක් ගෙනාවේ කියලා. අන්තිමේ මම ලොකු බුදු පිළිමයක් ගෙනත් ජේසුස් වහන්සේගේ පිළිමය ළඟින් තිබ්බා. බුදු හාමුදුරුවනුයි ජේසුස් වහන්සේයි ෂේප් එකේ ටොප් එකට හිටියා. ඒ දෙන්නට එකට ඉන්න පුළුවන්නම් ඇයි මිනිස්සු ජාති ආගම් කුල විදිහට ගහමරා ගන්නේ. ඔය පංගුපේරු මේ ලෝකෙට ඕනෑම නෑ. කසාද බැන්දත් පුළුවන් තරම් ජාති ආගම් මිශ්‍ර විවාහ තමා හරි අගේ. මගේ පවුලත් එහෙම මිශ්‍ර වෙනවට මම හරි කැමතියි. 

සුනිල් පෙරේරා කියන්නේ නිදහස් මානවීය මිනිහෙක් කියන්න සංනිදර්ශන ඔහු පැවසුවේ වදනින් නොව ක්‍රියාවෙන්. ඒ වගේම සුනිල් පෙරේරා සොඳුරු ආඥාදායකයෙක් වගේම හිතුවක්කාරයෙක්. මගේ ඕයේ ඕජායේ සින්දුවේ ඕයේ ඕජායේ කියන යෙදුම හොඳ නෑ වෙනස් කරන්න කියලා කියූ අය හිටියා. මොකක් හරි වෙනස් කරන්න එපා කීවොත් පදනමක් නැත්නම් මම එපා කියන එකම තමා කරන්නෙ. කෝ දැන් ඕයේ ඕජායේ කීවා කියලා මොකද වුණේ. මිත්‍යාවන්ට රැවටෙන්න එපා කියලා මම හැමතිස්සේම කියන්නෙ ඒකයි. වරක් ඔහු කීවා.

මගේ සියලු විකාර ඉවසීම ගැන සහ මාව අත්හැර නොයාම ගැන මම මගේ බිරිඳට ඇත්තෙන්ම ගරු කරනවා. වෙනත් කාන්තාවක්නම් මේ වෙද්දි මගෙන් දික්කසාද වෙන්න තිබුණා. මම ගීතාව කසාද බඳිද්දි එයාට අවුරුදු 15යි. කසාද බැන්දට පස්සේ මම දවසක් ගෙදර එද්දි එයා අහල පහල ළමයි එක්ක ඔට්ටු සෙල්ලම් කරනවා. අවුරුදු 20 වෙද්දි එයා දරුවෝ හතර දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ගීතා මට වඩා අවුරුදු 15ක් බාලයි. ඒ වුණාට එයා පුදුම ඉවසීමක් තිබුණු ධෛර්යවන්ත ගෑනියක්. දවසක් සුනිල් එහෙම කීවේ සම්මුඛ සාකච්ඡාවකදී...
1952 සැප්තැම්බර් 14 වැනිදා ඉපදිච්ච 2021 සැප්තැම්බර් 6 වැනිදා අරුණ නැ‌ෙගන්නට පෙර කළුවර කණිසමක කොළඹ නවලෝක රෝහලේ සයනයකදී සංසාර චාරිකාවේ සුනිල් පෙරේරාගේ නවාතැන්පොළට භෞතිකව සමුදුන්න සුනිල් පෙරේරා ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැති තරමට සුනිල් පෙරේරා නොදන්න කෙනෙක් නෑ.

සුනිල්ගේ ගීතයකට අතින් හරි තට්ටුවක් නොදාපු පොඩි එකෙක්වත් හොයාගන්න නැති තරමට සුනිල් සහෘද ශ්‍රාවකයෝ හැමතැනම. වෙස්ටන්, රොක්, හිප්-හෝප්, චා-චා, රෙගෙ සම්ප්‍රදායන් සිංහලෙන් ලියැවුණු පදවලට හරි අපූරුවට මුසු කරමින් සංගීතය හා කලතමින් ගීත වංශයට සුනිල් සලකුණින් අමුතුම වංශයක් ලියූ සුනිල් පෙරේරා ජිප්සීස් සමඟ ගෙවුණු දශක ගණනාවක කාලය තුළ මුදාහල ගීත සංඛ්‍යාව අති විශාලයි. රිද්මය ශාස්ත්‍රීය නොවුණට, පණ්ඩිත, ප්‍රබුද්ධ වර්ගීකරණයට නොවැටුණාට අයිවර් සිල්වෙස්ටර් සුනිල් පෙරේරා ගැයූ හැම ගීතයකම මිනිසුන්ට දුන්න ප්‍රබල පණිවිඩයක් තිබුණා. අපහාසයෙන් නෙවෙයි උපහාසයෙන් සමාජයේ ජරාජීර්ණ ආධ්‍යාත්මයන්ට ඔහු බැට දුන්නේ ගීතයෙන්. උත්තරීතර යැයි කියන පාර්ලිමේන්තුවේ කෙරුවාවන්ගේ සිට සමාජයේ හාස්‍යජනක සංසිද්ධීන්, ආකල්ප, තහංචි ඔහු ප්‍රබල ලෙස ගීතමය භාෂාවෙන් හා ස්ව අනන්‍ය රිද්මයෙන් විවේචනය කළා. ඇගයිය යුතු දේ වෙත්නම් අගය කළා. වේගවත්, බර උල් කටුවක් වගේ ළය ළෙයට අනින්න පුළුවන් කටහඬක් සුනිල්ට තිබුණා.

අපි නං නෑ කවදාවත් දැකලා
පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා
පොඩ්ඩක් බලමුද වතගොත අහලා කුරුමිට්ටෝ

කුරුමිට්ටෝ ජිප්සීස්ලාට අන්වර්ථ නාමයක් වන තරමට රටේ පොඩි උන් අතර එය ජනප්‍රිය සින්දුවක් වුණා මට මතකයි.

අපි දෙන්නා එක්වීලා
පණ වගේ ලොවේ ඉන්නේ 
රජ ගෙයටයි පැල්පතටයි එක වාගේ සලකන්නේ
පෙර කල සිට පැවතෙන්නේ
ගජ යාළුවෝ අපි දෙන්නා.. 

ලුණු දෙහි ගැන එහෙම කීව සුනිල්ට ගජ යාළුවන් බුරුතු පිටින් හිටියා. 1968 දී ජිප්සීස් පටන් ගනිද්දී සුනිල්ට අවුරුදු 16යි. සුනිල් හුදු ගායකයෙක් පමණක් නෙවෙයි. ගීත රචකයෙක්, සංගීතඥයෙක්, වාදකයෙක්. මේ රටේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න ගැන අවබෝධයක් තිබුණු පුරවැසියෙක්. කලාව පාවිච්චි කරලා රටේ සල්ලි සම්පත් හොරකම් නොකරපු කෙලින් මහපොළොවේ හිටගන්න කොන්දක් තිබිච්ච මිනිහෙක්. අනිත් මිනිහා ගැන සංවේගයෙන් උපේක්ෂාවෙන් මනුෂ්‍යත්වයෙන් හිතන්න පපුවක් තිබුණු මිනිහෙක්.
ඉස්කෝල කෙරුවාව හරි නොගිය තැන හරියන්නෙ සංගීත කෙරුවාව කියලා සුනිල් තෝරාගත්තේ හරිම මාර්ගය. ඒ මඟ දිගේ ඔහු පැමිණ දුර බලන සඳ තවත් යා යුතු දුරක් තිබුණේදැයි සිතෙන තරමට සුනිල් තමන්ගෙන් තමන් මඟ නොහැරගත් මිනිහෙක්. ඒ බිම් යායක එක යායක් අස්වද්දන්න සුනිල්ගේ වේග රිද්මයට හැකි වූ හින්දා. ලොකු මාල දෙක තුනක් කරේ දාගත්ත, ඒ අතරේ කුරුසයක් එල්ලාගත්ත, දකින හැම වෙලේකම තොප්පියක් ඔළුවෙ දාගෙන හිටිය, ටී ෂර්ට් එක උඩින් කෝට් එකක් ඇඳගෙන එලොව තරු පෙනුණත් නොපෙනුණු සෙයින් හිනාවෙන ඒ සුනිල් දෑසින් දකින්නට ආයෙත් එන්නේ නෑ.

සංසාර ගමනේ හැටි එහෙමය. එන්නේ යන්නටමය. යන්නේත් එන්නටමය. ලෞකිකත්වය තුළ ලෝකෝත්තර ජීවිතයක් හොයන්නේ කුමකටද? ලෝකෝත්තර ජීවිතයක් අවැසිනම් ලෞකිකත්වය පියමං කර ඒ වෙත යා යුතුය. ජීවිතය ගණන් හැදිය යුත්තේ ජීවත් වන අවුරුදු ගණනින් නොව ජීවිතය විඳින තත්ත්පර ගණනින්ය. එනයින් ඔහු ලෞකිකත්වය තුළ ලෞකිකත්වය සොඳුරු ලෙස දැන විඳි ජීවිතය ආදරයෙන් සිපගත් මිනිසෙකි. ස්වර්ගය ජීවිතය තුළ අත්විඳි මිනිසෙකි.
සංසාර ආරණ්‍යයේ සොඳුරු නවාතැන්පොළක් ඔබට හමුවේවි නවතින්න කා නමින් හෝ..
ඉතින් සුනිල් සුන්දර වින්දනීය සංසාර ගමනක්!

 සංජීවිකා සමරතුංග
සේයාරූ I සුමුදු හේවාපතිරණ හා අන්තර්ජාලයෙන්