2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

අගෝස්තුවේ ඇදහැළුණු අකල් වැස්ස

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 87

අගෝස්තු මාසයේදී දින කිහිපයක් පුරාවට ඇදහැළුණු වර්ෂාවත් සමඟ බොහෝ දෙනා විවිධ මත පළකළහ. කොවිඩ් වසංගතය මුළු ලෝකයේම ව්‍යාප්ත වෙද්දී එයින් ශ්‍රී ලාංකිකයන් වන අපද ඉතා දරුණු ලෙස පීඩා විඳිද්දී මෙය “කොවිඩ්” වැසි යැයි සමහරු පැවසූහ. කෙසේ වුවද මෙම වැසි දෙවියන් කෝප වී ඇදහැළුණු වර්ෂාවක්වත්, කොවිඩ් වැසිවත් නොවන අතර මෙය වායුගෝලයේ පවතින ඇතැම් සිදුවීම් හේතුවෙන් හටගත් වර්ෂාවක් වන බවත් මෙවැනි වර්ෂාවක් හට ගැනීම සාමාන්‍ය තත්ත්වයක් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

“සාමාන්‍යයෙන් ලංකාවේ වර්ෂාව අඩුම මාසය වන්නේ පෙබරවාරි කාලයයි. ඒ වගේම ඉන්පසුව වර්ෂාව අඩුම මාසය අගෝස්තු මාසයයි. මේ කාලයේදී සූර්යයා වටා ගමන් කරද්දී ඉර මුදුන් වීමත් සිදුවෙනවා. මේ වනවිටත් ලංකාවේත් විවිධ පළාත්වල ඉර මුදුන්වීමක් දකින්නට පුළුවන්. බොහෝවිට අප්‍රේල් මාසය අන්තර් මෝසම් කාලය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අගෝස්තු මාසයේදී වැස්ස අඩු කාලයක්. නමුත් අප්‍රේල් මාසයට වඩා ඒ කාලය රස්නය අඩුයි.” කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය දේශයට පැවසීය.

පෙබරවාරි මාසයේදී වර්ෂාව අඩු වීමෙන් රස්නය දැඩිව දැනුණද අගෝස්තු මාසයේදී පවතින සුළං තත්ත්වය හේතුවෙන් එතරම් රස්නයක් දැනෙන්නේ නැත. සැම වර්ෂයකදීම අගෝස්තු මාසයේදී “සරුංගල් මාසය” ලෙස හඳුන්වන්නේ මේ පවතින කාලගුණික තත්ත්වයයි. නමුත් වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ අගෝස්තු මාසයේදී දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වුණි.

මේ සඳහා ලංකාව ආශ්‍රිතව නොවන වෙනත් ප්‍රදේශවල සුළං රටාව වෙනස්වීමට බලපායි. කෙටිකාලීනව වායුගෝලයේ ඇතිවන යම් යම් වෙනස්කම්ද මෙයට බලපායි. මේ වසරේ අගෝස්තු මස දින කිහිපයක්ම ඇතැම් පළාත්වල අධික වර්ෂාවක් දක්නට තිබුණද ඇතැම් පැතිවල දක්නට ලැබුණේ වියළි කාලගුණික තත්ත්වයකි.

ඉන්දියන් සාගරයෙන් සහ බෙංගාල බොක්කෙන් හමා එන මෝසම් සුළඟ හේතුවෙන් ශ්‍රී ලංකාවට මැයි මස මැද භාගයේ සිට ඔක්තෝබර් දක්වා ඉන්දියන් සාගරයේ ජල වාෂ්පයද සමඟ නිරිත දිග මෝසම් වර්ෂාව හමා එයි. නිරිත දිග මෝසම් සුළඟ හමද්දී සුළං මුවා වී ඇති ඇතැම් ප්‍රදේශවලට අඩුවෙන් වැසි පතිත වේ.

මේ අනුව නිරිත දිග මෝසම් කාලගුණික තත්ත්වයන් වාර්තා වීමත් සමඟ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරැම් සහිත වැසි ඇති වූ අතර උතුරු සහ උතුරු මැද පළාත්වලද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම මෙම වැසි තත්ත්වය බොහෝවිට ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී අඩුවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 දිශානි ජයමාලි කරුණාරත්න