2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

ජර්මනියේ බඩු විකුණන ඇෆ්ගන් හිටපු ඇමැති කියන කතාව

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 24

තලේබාන්වරුන්ගේ කතාව කෙසේ වෙතත් අතීත ක්‍රියාව ගැන දන්නා බොහෝ දෙනාට ඇෆ්ගනිස්ථානය හැර යන්නට මතක් වූයේ අමෙරිකානු හමුදා එරටින් පිටව යාමට පටන් ගත්තායින් පසුවය. පොදි කා රැස් කා කාබුල් ගුවන් තොටුපොළට ඇතුළු වූ සමහරු නික්ම යන ගුවන් යානයක පිට පැත්තේ එල්ලී ගත්තෝය. ඉන් දෙදෙනකු පියඹා යන ගුවන් යානයෙන් විසි වී පොළොවට පාත්වන අයුරැ දැක්වෙන චලන රෑප දෙස බලා සිටින්නට ලෝක ප්‍රජාවට සිදුවිය.

එහෙත් නැව ගිලෙන්නට යන බව දැනගෙන කල් තියාම එරටින් පැනගත් නුවණැත්තෝද සිටියහ. ඉන් එක් අයෙක් නම් ඇෆ්ගනිස්ථානයේ සන්නිවේදන කටයුතු භාර අමාත්‍ය ධුරය ඉසිලූ සෙයිඩ් සදාත්ය. සෙයිඩ් සදාත් අද වන විට තැඹිලි පාට නිල ඇඳුමකින් සැරසී, ජර්මනියේ ලෙයිප්සිග් (Leipzig) හි නැගෙනහිර නගරයේ වීදි පුරා බයිසිකලයක් (පාපැදියක්) පදිමින් ආහාර බෙදාහරින (ඩිලිවරි) රැකියාවක නිරතව සිටී.

මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල ඔහුගේ කතාවට ප්‍රමුඛ ස්ථානයක් හිමි වී තිබේ. ඉහත කී නිලඇඳුම ඇඟලාගෙන පිටේ මහ ඔලොගුවක් පටවාගෙන ඔහු වීදියේ බයිසිකල් පදින සල රෑ අන්තර්ජාලයේ එමට දැකගත හැකිය.
එවැනි මාධ්‍ය අවධානයක් ඔහු දිනාගෙන ඇත්තේ ඔහු දැරූ අමාත්‍ය ධුරයත්, දැන් කරන රුකියාවත් අතර අහසට පොළොව හා සමාන වෙනසක් ඇති බැවිනි.

එහෙත් ඔහු ඉදිරිය දකිනා නුවණින් යුතු බුද්ධිමතකු බව ඔහුගේ ක්‍රියාවෙනුත් ඔහු කියනා වදන්වලිනුත් පෙනී යයි. පොළොවේ පය ගසා ජීවත් වන්නට මැලි නොවන ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකි. සන්නිවේදනයට හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාවට හෙතෙම (MSc) උපාධි දෙකක් එකී විශ්ව විද්‍යාලයෙන් දිනා තිබෙන බව වාර්තා වේ. ඔහු ඇෆ්ගනිස්ථානය හැර දමා පැමිණ තිබෙන්නේ 2018 වර්ෂයේදීය. ඔහුගෙන් හරිහැටි වැඩක් ගන්නට පැවති ඇෆ්ගන් රජය, අසමත් වූ බව ඔහු කියනා දෙයින් පෙනේ.

ඇමැතිවරයකු හැටියට ඒ කාර්ය කරගෙන යද්දි ජනාධිපතිවරයා වට කරගෙන ඉන්න උන්දැලත් එක්ක මතභේද ඇතිකරගෙන ගැටෙන්න සිද්ධ වුණා. එයාලට ඕන වුණේ පෞද්ගලික වාසි. මට සල්ලි ඕන වුණේ උන්ට වගේ පිල්ලි ගහන්න නෙමෙයි. ආණ්ඩුවෙ ව්‍යාපෘතිවලටයි. එව්වා හරිහැටි ක්‍රියාත්මක කරන්නයි.

සන්නිවේදන අමාත්‍ය ධුරයට පත්වෙන්නට පෙර ඔහු 2005 සිට 2015 දක්වා ඇෆ්ගන් සන්නිවේදන හා තොරතුරු තාක්ෂණික අමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශකවරයා වශයෙන් කටයුතු කළේය. ඔහු අවුරුදු 23ක කාලයක් විවිධ රටවල් 13ක සේවයේ යෙදී සිටියේය. 2016 – 2017 කාලයේ ලන්ඩනයේ ඇරියානා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වූයේද සෙයිඩ් සදාත්ය.

දැනට ඩිලිවරි රුකියාවේ යෙදුණද ඔහු ජාත්‍යන්තර කටයුතු ගැන අවබෝධයෙන් තීරණ ගන්නා අයකු බව පැහැදිලිය. ඔහු ඇෆ්ගනිස්ථානයේත් එක්සත් රාජධානියේත් ද්විත්ව පුරවැසියෙකි. එම ද්විත්ව පුරවැසිභාවය අනුව ඔහු තෝරාගත යුතුව තිබුණේ එක්සත් රාජධානියයි. ඔහුගේ ජීවිතයේ වැඩි කාලයක් ගත කර ඇත්තේද එරටය. ඔහු 2020 අග භාගයේදී ජර්මනියට ගියේ යුරෝපා සංගමයෙන්, බ්‍රිතාන්‍ය ඉවත් වන්නට පෙර ලැබුණු අවසන් අවස්ථාව දැඩි ලෙස ග්‍රහණය කර ගනිමිනි.
ඔහු ජර්මනිය තෝරාගත්තේ ආර්ථික අතින් වඩාත් යහපත් අනාගතයක් බලාපොරොත්තුවෙනි. එසේම ඔහුට අවශ්‍ය වූයේ ටෙලිකොම් සහ තොරතුරැ තාක්ෂණ (IT) ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නටය.
එහෙත් සාරවත් පසුබිමක් ඇති සදාත් හට තමාගේ පළපුරැද්දට ගැලපෙන රුකියාවක් ජර්මනියෙන් සොයාගන්නට දස වධ විඳින්නට සිදුවිය. ඔහුට එම නිසා වර්තමානයේ කරමින් ඉන්නා පාපැදියෙන් ගොස් ඔලොගුවේ ඇති ආහාර බෙදාහරින රුකියාව කරන්නට සිදුවිය.

භාෂාව තමා වඩාත් වැදගත් අංගය තමාගේ සුදුසුකම්වලට ගැලපෙන රුකියාවක් නොලැබුණු හේතුව ඔහු කියා සිටියේ එසේය. ඔහු එම රුකියාව ඇරඹුවේ මෙම ගිම්හාන කාලයේය.
මුල් දවස් ටිකේ වැඩේ අමාරු වුණා යනුවෙන් ඔහු කීවේ නගරයේ වාහන තදබදය ඔස්සේ බයිසිකලය පැද යාමට ඉගෙන ගැනීමේ කාර්යය අසීරු වූ නිසාය.

වැඩි වැඩියෙන් යන්න යන්න, ගිහිල්ලා මිනිස්සු මුණගැහෙන්න මුණගැහෙන්න තමා වැඩේ අල්ලාගන්න හැකි වුණේ. ඒ ගැන මගේ හිතට වදයක් නෑ.* 49 හැවිරිදි සෙයිඩ් සදාත් තවදුරටත් කියා සිටියේය.

ඔහු දැනට ලබන වැටුප පැයකට යුරෝ 15 (පවුම් 12)කි. තම වැටුපෙන් ඔහුට දිවි ගෙවාගන්නට අවශ්‍ය වියදම් පියවා ගත හැකිය. මසකට ගෙවල් කුලී සඳහා ගෙවන යුරෝ 420ද ඔහු මෙම රැකියාවෙන් උපයා ගනී.
මේ රස්සාව කරන්න කිසිම ලජ්ජාවක් මගේ නෑ. රස්සාව කියන්නෙ රස්සාව. රැකියාවක් තියෙනවා කියන්නෙ ඒකට මහජන ඉල්ලුමක් තියෙනවා කියන එකයි. ඉතින් ඒකත් කවුරැහරි කරන්න එපායැ.
තමාගේ සුදුසුකම්වලට ගැලපෙන රුකියාවක් සොයාගැනීමට පවතින බාධකය ජය ගන්නට මේ දිනවල ඔහු වෙහෙස නොබලා කටයුතු කරයි. දිනකට පැය හයක් තිස්සේ මහමඟ බයිසිකලය පැද යමින් රුකියාව කරන ඔහු, තවත් පැය හතරක් ජර්මානු භාෂාව හැදෑරීමට සතසා පාසලේ කාලය ගත කරයි.

මෙවැනි රුකියාවක් තෝරාගැනීම ගැන ඔහුගේ රටේ බොහෝ අය ඔහුව දැඩි විවේචනයට ලක් කළහ. එහෙත් ඔහු රට හැර ගිය පසු, අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානය හැර යන බව කල් තියා පෙනෙන්නට ගනිද්දී, මේ වසරේ මුල පටන් ජර්මනියේ දේශපාලන රැකවරණ සොයන ඇෆ්ගන්වරැන් ගණනින් වැඩි වන්නට ගත්තේය. එම ප්‍රමාණය 130කින් ඉහළ ගිය බව ෆෙඩරල් කාර්යාලයේ සංක්‍රමණ හා සරණාගත දත්තවලින් පෙනී ගියේය.

තම අතීතය මෙනෙහි කළ සෙයිඩ් සදාත්, ජනාධිපතිවරයා වට කරගෙන සිටි පිරිස ගැන මෙසේ කීවේය.
මට එයාලගෙ ඉල්ලීම් සපුරන්න බැරි වුණාම එයාල මාව පන්නන්න බැලුවා. ජනාධිපතිවරයාගෙ පැත්තෙන් මට පීඩන එල්ල කළා.

ඇෆ්ගන් හිටපු ජනාධිපතිවරයා රටින් පැන ගියේ හිස් අතින් නොවන බව මාධ්‍යවල වාර්තා විය. ඔහු රථ දෙක තුනක් පිරෙන්නට ඩොලර් රැගෙන ගිය බවත්, ගෙන යන්නට නොහැකි වූ මුදල් මිටි මඟ හල හලා ගිය බවත් එම වාර්තාවලම සඳහන් විය. ඇෆ්ගන් ජනාධිපතිවරයා වට කරගෙන සිටි පිරිස ගැන ඒ අනුව සිතාගත හැකිය.

සදාත් දැනට කරන රුකියාවේ නිරතව ඉන්නේ අනාගත බලාපොරොත්තු රාශියක් හිත රඳවාගෙන බව ඔහු කියනා දෙයින් පෙනී යයි. ජර්මන් ආණ්ඩුව සමඟද උපදේශකයකු ලෙස කටයුතු කළ හැකි බව ඔහු කියයි.
මට ජර්මන් ආණ්ඩුවට ඇෆ්ගනිස්ථානය ගැන උපදෙස් දුන්න හැකියි. ඒක ඇෆ්ගන් ජනතාවට වාසියක්. මොකද එරට සැබෑ පින්තූරෙ මම දන්නවනෙ.
අනෙකුත් දේශපාලනඥයන්ටද දෙන උපදේශයේ හරවත් යමක් ඇති බව පෙනී යයි.

අනෙකුත් දේශපාලනඥයන් මා ගත් මගෙහිම යාවි යැයි මා බලාපොරොත්තු වෙනවා. සැඟවී ඉන්නවට වඩා මහජනතාව සමඟ වැඩ කරන එක හොඳයි.

කෙසේ වුවද මෙතරම් අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවා එරට ජනාධිපතිවරයා මුදල් මිටි ගණන් රැගෙන රටින් පැන යන වාතාවරණයක පවා ඇෆ්ගනිස්ථානයේ විදේශ සංචිත වශයෙන් අමෙරිකන් ඩොලර් බිලියන 10ක් ඉතිරි වී ඇත්තේ, සදාත් වැනි ඇමැතිවරුන් සිටි නිසා බව පෙනේ. (අප රටේ දැනට ඉතිරිව ඇති විදේශ සංචිතය ඩොලර් බිලියන 3කට ආසන්න ප්‍රමාණයකි.)

 සමන් පුෂ්ප ලියනගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00