2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

සහන නොදී අපේ ජීවිත උදුරාගත්තා බස් සේවකයෝ දුක කියති

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 26

කොවිඩ් වසංගතය හේතුවෙන් බොහෝ අසරණ තත්ත්වයට පත් ජනතාව අතරින් ප්‍රමුඛ ස්ථානයක් ගනු ලබන කොට්ඨාසයක් ලෙස පෞද්ගලික බස් රථ හිමියන් හා සේවක පිරිස හැඳින්විය හැකිය. මාස ගණනාවක් තිස්සේ මගීන්ගේ අඩුවක් පැවතීමත්, බස් රථ ධාවනය නොවීමත් හේතුවෙන් මොවුන් මේ වනවිට පසුවන්නේ දැඩි අසීරු කාල වකවානුවකය.

මේ වනවිට සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් කොවිඩ් රෝගීන්ගේ වර්ධනය සිදුවන්නේ පොදු ප්‍රවාහන සේවයේදීයි කියල අපිට චෝදනා කරනවා. නමුත් ඒ කිසිම කෙනකුට මේ පහුගිය සති කිහිපය තුළදී මෙරට තුළ ඇතිවුණු උද්ඝෝෂණ අමතක වෙලා ගිහින්. නිලධාරීන්ගේ අදහස වන්නේ ආසන සංඛ්‍යාවට පමණයි මගීන් ගෙනියන්න පුළුවන් කියල. කොරෝනා ඇති රටවල් පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා.
යැයි ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට අදහස් දැක්වීය.

ඔවුන් පවසන පරිදි කොවිඩ් වසංගතය මෙරට ඇතිවූ පළමු රුල්ලේදීම මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත යෝජනා ඉදිරිපත් කර තිබේ. එවකට ප්‍රවාහන ඇමැති ධුරය දරන ලද්දේ මහින්ද අමරවීර මහතාය. බස් රථයේ ආසන සංඛ්‍යාවෙන් සියයට පනහක් ගෙනයාමට අවසර ලබාදෙන ලෙස ඔවුහු යෝජනා කළහ. එහිදී යම් ආකාරයකට බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදෙන ලෙසද ඔවුහු යෝජනා කළහ. මේ යෝජනාව ඔවුන් ඉදිරිපත් කරන ලද්දේ මීට අවුරුදු එකහමාරකට පමණ පෙරදීය. නමුත් ඔවුන් චෝදනා කරන්නේ තමන්ගේ මෙම යෝජනාවන්ට රජය විසින් නිසි පිළිතුරක් ලබා දී නොමැති බවත්, එම යෝජනා නොසලකා හැරි බවත්ය.

මගේ පෞද්ගලික බස් රථයක් මගේ වියදමින් රුපියල් විසිපන්දහසක් වියදම් කොට මම කොවිඩ් ආරක්ෂිත බස් රථයක් හැදුවා. ඒකට ධාවනය කරන්න පවා අනුමැතියක් ලැබුණේ නැහැ. රජයේ සහ පෞද්ගලික කාර්යාල විවෘත කිරීම සම්බන්ධයෙන් අපි වැඩපිළිවෙළක් හැදුවා. වරු දෙකට රජයේ සහ පෞද්ගලික කාර්යාල විවෘත කරන ලෙස අපි රජයට යෝජනාවක් ඉදිරිපත් කළා. එවිට ප්‍රවාහනයේදී තදබදයක් ඇතිවෙන්නේ නැහැ. බොහෝ රජයේ සේවකයන් රාජකාරියට වාර්තා කරන්නේ දුම්රියෙන්. බස් රථයේ පමණක් නොවේ විවිධ පෝලිම්වලත් කොවිඩ් ව්‍යාප්ත වෙන්න පුළුවන්. නමුත් නිලධාරීන් ඇඟිල්ල දිගු කරන්නේ අසරණ පොදු ප්‍රවාහන සේවයට පමණයි. අපි කොවිඩ් රක්ෂණ ක්‍රමයක් ඇති කරන්න කියල යෝජනා කළා. ඒ කිසිම සහනයක් අපිට නොදී අපේ ජීවිතය උදුරාගත්තා. අපිව කබලෙන් ලිපටම තල්ලු කළා.
යැයිද ගැමුණු විජේරත්න මහතා දේශයට පැවසීය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවය කරනු ලබන සේවකයන්ට අදාළ වැටුප රජයෙන් නියමිත දිනයට ලැබේ. දුම්රිය සේවකයන්ටද නිසි වෙලාවට වැටුප ලැබේ. නමුත් පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික බස් රථ හිමියන් හා සේවක පිරිසට මේ වනවිට වැටුපක් තබා කිසිදු සහනයක් ලැබී නැත. ඔවුහු ජීවත් වන්නට මඟක් නොමැතිව දැඩි අපහසුතාවයෙන් පෙළෙති.
&බස් හිමිකරුවන්ට 50෴ පමණ ෆිනෑන්ස් ගෙවීමට තිබෙනවා. දැන් ඒක වැල් පොලී වෙලා ගෙවාගන්න බැරිව ඉන්නවා. පසුගිය කාලයේදී ලක්ෂ තුනක ණයක් ලැබුණා. නමුත් මේ වනවිටත් ඒ ණය වාරිකයවත් ගෙවා ගන්න බැරිවයි අපි ඉන්නේ. බැංකු ආයතනවලින් අපිට ඒ සම්බන්ධව නිතරම දැනුම් දෙනවා. නමුත් ගෙවාගන්න ක්‍රමයක් නැහැ. අපේ දරු පවුල්වලට කන්න දෙන්න විදිහක් නැහැ. සේවකයෝ පනස්දහසක් ඉන්නවා. ඒ අයට කන්න දෙන්න විදිහක් නැහැ. දළ දේශීය නිෂ්පාදනයෙන් 12෴ රජයට දායකත්වය ලබලා දෙනවා. නමුත් ආණ්ඩුව අපිව නොසලකා හැරලයි තියෙන්නේ. රජයේ සේවකයන්ට වැටුප ලැබුණා. ගුරුවරු උද්ඝෝෂණ කළත් නියමිත වැටුප, නියමිත වෙලාවට ලැබුණා. නමුත් අපේ මිනිස්සුන්ට මොකද වෙන්නේ. අද ගුරුවරුන්ට, ලබාදෙන්න හදන රුපියල් පන්දහසේ දීමනාව ඔවුන් ලබාගන්න අකමැති කියල කියනවා. ඒ මුදල මේ අන්ත අසරණ වුණ බස් හිමියන්ට හා සේවකයන්ට ලබාදෙන්න යැයි අපි යෝජනාවක් කළා. ඒ තරමටම අද අපි අසරණයි.*
මේ වනවිටත් බොහෝ සේවකයෝ කුමක් හෝ රුකියාවක් කරගැනීමට නොහැකි තත්ත්වයට පත්ව සිටිති. පොදු ප්‍රවාහන සේවය යටතේ ඒ බොහෝ ජීවිත පෝෂණය වුණි. නමුත් අද වනවිට ඒ සියල්ල පසුවන්නේ දැඩි අසරණ තත්ත්වයකිනි. 2019 වසරේ සිට මේ දක්වා වැඩි කාලයක් ඔවුන්ට සිදුවූයේ බස් ධාවනය සීමා කිරීමටය. නැතිනම් බස් ධාවනය සම්පූර්ණයෙන්ම නතර කර දැමීමටය.

අපි බස් ධාවනය නතර කළත් මේ වනවිටත් රජය විසින් අපෙන් අය කරන අයකිරීම් වන මාසික ලොග් බලපත්‍රය, වාර්ෂික මාර්ග බලපත්‍රය අලුත් කිරීමේ ගාස්තු, රුපියල් පනස්දහස සහ ලක්ෂ එකහමාරක අතර ගෙවන වාර්ෂික රක්ෂණ ගාස්තු, බදු ආදී සියලු ගෙවීම් නතර වෙලා නැහැ. විශේෂයෙන් මේ නිසා බස් රථ හිමියන් දැඩි ආර්ථික අර්බුදයකට ලක්වෙලා ඉන්නවා. බස් රථ ධාවනය නොවන නිසා ලීසිං ගෙවීම් කරන්නට හැකියාවක් නැහැ. එලෙස නොගෙවන තත්ත්වය තුළ 11.5% වැනි ප්‍රතිශතයකින් ඔවුන් පොලී අයකරමින් ඉන්නවා. ඒ නිසා බස් රථ හිමියන් දැඩි අසහනකාරී තත්ත්වයකට පත්වෙලා ඉන්නවා.*යැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් දේශයට පැවසීය.
මේ වනවිට බස්රථ හිමියන් යටතේ පනස්දහසක් සහ හැටදහසක් අතර සංඛ්‍යාවක් රියදුරන් සහ කොන්දොස්තරවරුන් ලෙස සේවයේ යෙදෙති. මේ සියල්ලන්ටම තම ජීවනෝපාය අහිමි වී ඇත. මේ වනවිටත් ඔවුන් පවසන්නේ තමන්ගේ ජීවිත වෙනුවෙන් රජය සහ වගකිවයුතු පාර්ශ්වයන් කිසිදු සහනයක් ලබා දී නොමැති බවයි.

බස් රථ ධාවනය නොවී ලීසිං ගෙවන්නට බැහැ. ඒ සඳහාත් 11.5% ක් වැනි විශාල පොලී අනුපාතයක් එකතු කළා. එයින් තවත් දරුණු වුණා. අපි අන්ත අසරණ වුණා. මේ නිසා සේවකයන් පෞද්ගලික බස් රථවලින් ඉවත්වෙමින් තිබෙනවා. ඒක නවත්වා ගන්නවත් අපිට හැකියාවක් නැහැ. අපේ ආර්ථිකය බිංදුවේම තියෙන්නේ. ආදායමක් නැති නිසා සේවකයන්ටවත් යම් මුදලක් ගෙවන්නට අපිට බැරිවෙලා තියෙනවා. ඒ නිසා මේ කර්මාන්තය දැඩි ආර්ථික අපහසු තත්ත්වයකට පත්වෙලයි තියෙන්නේ.*යැයිද අංජන ප්‍රියන්ජිත් දේශයට අදහස් දක්වමින් පැවැසීය.

මේ වනවිට පෞද්ගලික බස් රථවලින් යම් ප්‍රමාණයක් පෞද්ගලික අංශවල සේවක පිරිස රාජකාරි කැඳවීම සඳහා යොදවා තිබේ. බස්නාහිර පළාතේ තුන්සීයක්, හාරසීයක් අතර බස් රථ සංඛ්‍යාවක් මෙවැනි රාජකාරි කැඳවීම් සඳහා යොදාගෙන ඇත. නමුත් බස්නාහිර පළාතේ පමණක් පන්දාස් පන්සීයක් පමණ බස් රථ මගී සේවාවේ යොදවා ඇති අවස්ථාවක එම සහනය ලැබී ඇත්තේ ඉතා සුළු පිරිසකට පමණි. පොදුවේ ගත්කළ පෞද්ගලික බස් රථ හිමියන් හා සේවක පිරිස මේ වනවිට පසුවන්නේ දැඩි අසරණ තත්ත්වයකය.

 දිශානි ජයමාලි කරුණාරත්න