2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

කොවිඩ් වැළඳී මරු දුටු පාතාල රජු පොට්ට නවුෆර්

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 139

කොළඹ අලුත්කඩේ පටු මාවතකට යාබද වත්තක දිවිගෙවූ ආර්ථික වත්කමක් නොවූ දිළිඳු පවුලකි. එම පවුලේ මව හා පියාට දාව උපන් පුතෙකි. මුදල් අගහිඟතාව නිසාම හරිහැටි පාසල් අධ්‍යාපනයක් හෝ නොලද දරුවා සමාජයට වැටී තිබු‍ණේ කීයක් හෝ අතමිට මොලවා ගන්නා රිසියෙනි. සිය ආර්ථිකය සරිකර ගන්නට නගරයේ සෙසු මුස්ලිම් තරුණයන් මෙන්ම මොහුද සුළු ව්‍යාපාරයක් ආරම්භ කොට තිබිණි. එය කාටවත් කරදරයක් හිරිහැරයක් නොවූ අඹ, ලොවි, ඇඹරුල්ලා, පේර, දිවුල් ඇතුළු පළතුරු කැබලි හා ලුණු ගම්මිරිස් සීනි මුසු කළ අච්චාරු කරත්තයකි.

දශක කිහිපයකට එපිට අතීතය මෙසේ සටහන් තබන්නට හේතුවකි. ඒ කතාව පසුපස මෙරට කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු හෙවත් තේරෙන වචනයෙන් කිවහොත් පාතාල නායකයකුව සිටි මොහොමඩ් නියාස් නවුෆර් හෙවත් පොට්ට නවුෆර් නැමැත්තාගේ කතාව ආරම්භයයි. මහාධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වූ සරත් අඹේපිටිය මහතා ඝාතනයේ මහමොළකරු වූයේද මෙකී පොට්ට නවුෆර් යන අන්වර්ථ නාමයෙන් හැඳින්වුණු පාතාල නායකයාය. 2004 වසරේ නොවැම්බර් 19 වැනිදා විනිසුරු සරත් අඹේපිටිය මහතා වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව පොට්ට නවුෆර්ට මරණීය දණ්ඩනය නියම විය. අඹේපිටිය මහතා ඝාතනය කිරීමට පොට්ට නවුෆර් කටයුතු කර තිබුණේ ඔහුට එරෙහි මත්කුඩු නඩුවක් සරත් අඹේපිටිය මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ විභාග වෙමින් පැවති මොහොතකය.

අවසන් වරට පොට්ට නවුෆර් රඳවා සිටියේ බූස්ස බන්ධනාගාරය තුළය. අවසන් කාලයේ වකුගඩු රෝගියකුව සිටි නවුෆර් හෝමාගම රෝහලට යොමුකර ප්‍රතිකාර ලබාදීමටද කටයුතු කෙරිණි. මේ අතර බන්ධනාගාරගතව සිටියදී වකුගඩු රෝගය නිසා යම් පරීක්ෂණ කටයුත්තක් සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමුකර තිබිණි. පැවති රෝගී තත්ත්වයක් මත වෛද්‍ය නිර්දේශය වී ඇත්තේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කිරීමටය. එහිදී නවුෆර්ට කොවිඩ් රෝගය ආසාදනය වී ඇති බව අනාවරණය විය. පසුව ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ ආසාදිත රුඳවියන් වෙනුවෙන් පිහිටවූ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබීම සඳහා යොමු කෙරිණි. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පැවති වකුගඩු රෝගී තත්ත්වයක් සමඟ කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පත්වීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

එම මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් කොළඹ පොලිස් මෝචරිය වෙත බාර කර අවසන් කටයුතු සඳහා දේහය මිහිදන් කිරීමට මඩකලපුව ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ කොවිඩ් සිරුරු මිහිදන් කරන සුසාන භූමියට රුගෙන යාමට පියවර ගැනිණි. ඒ සඳහා පොලීසිය හා යුද හමුදාව කටයුතු කර තිබිණි. මෙහිදී පොලීසිය වාර්තා කළේ අදාළ දේහය සම්බන්ධයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂාවක්ද සිදු කළ බවය. පසුගිය 28 වැනිදා මරණයට පත්වූ පොට්ට නවුෆර්ට මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් මගින් 2005 ජූලි 04 වැනිදා මරණ දඬුවම නියම කරනු ලැබීය.

එදා සිට වසර 16ක් පුරා බන්ධනාගාරගතව සිටි පොට්ට නවුෆර්ගේ ජීවිත කතාව පිළිබඳව මෙසේද කියැවේ. 

අච්චාරු කරත්තයක් තල්ලු කරගෙන ගොස් අච්චාරු අලෙවි කරමින් කොළඹ නගරයේ පාරක් පාරක් ගාණේ ඇවිද ගිය මොහොමඩ් නියාස් නවුෆර් හිතූ තරම් ආදායමක් ලැබුවේ නැත. අතමිට සරුවන දිනක් පෙනෙන මානයක නොවීය. අච්චාරු කරත්තය යටින් හොර රහසේ හෙරොයින් අලෙවිය පටන් ගත්තේ ඒ අනුවය. වැඩි කල් නොයා අච්චාරුවල ලාභයට වඩා හෙරොයින් ආදායම වැඩි වන්නට විය. ටික කාලකින් අච්චාරු කරත්තයම අමතක කර දමා ඔහු හෙරොයින් ජාවාරම සිදු කළේය. වැඩි කාලයක් ගත නොවීම අලුත්කඩේ ප්‍රදේශයේ මත්කඩු ජාවාරම නවුෆර් නමටම පත්ව තිබුණේ නවුෆර් හෝ නොසිතුව ලෙසය. ඒ අනුව ඔහු ප්‍රදේශයේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බවට පත්විය. 

මෙසේ වසර කිහිපයක් ගතවන විට වර්ෂ 1995 පමණ කාලයේදී කොළඹ පාතාල සගයන් එකිනෙකාද නවුෆර් හා එක්ව තිබුණේ සිය බලයද සමඟය. ඒ අතරතුර විරුද්ධවාදීන්ගේද එවැනි කල්ලිවලද තර්ජන නවුෆර් වෙත එල්ල වන්නට විය. කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ හෙරොයින් හා පාතාල ක්‍රියා ආශ්‍රිතව නමක් දරා සිටි නඩරාජා විජේපාලන් සමඟ නවුෆර් ගැටුමක් ඇතිකර ගන්නේ එවැනි සමයකය. එම පාර්ශ්වය හා ගැටුණු නවුෆර්ගේ දකුණු ඇස අහිමිව ගියේ විරුද්ධවාදීන්ගේ වෙඩි ප්‍රහාරයක් හේතුවෙනි.

අනතුරුව මොහොමඩ් නියාස් නවුෆර් පොට්ට නවුෆර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නට විය. අපරාධ ලෝකයේ නව ජවයකින් පියවර නගන්නට එම සිදුවීම නවුෆර්ට හේතුවක් වී ඇතැයි කියති.

මේ කාලසීමාවේ කොළඹ නගරය ආශ්‍රිතව සිදු කළ පාතාල ක්‍රියාකාරකම් ගණනාවක් පිළිබඳ සැකපිට ප්‍රශ්න කිරීමට පොට්ට නවුෆර් පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ සමඟ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල තුනක්ද අත්අඩංගුවට ගැනිණි. මේ කාලසීමාවේ දමිළ හා මුස්ලිම් වශයෙන් ජාතිය මුල් කොටගෙන කොළඹ පාතාලය ක්‍රියාත්මක වෙමින් තිබූ සමයකි. කෙසේ වෙතත් එවකට බලවත්ව සිටි දමිළ පාතාලයේ ග්‍රෑන්ඩ්පාස් ඉසගමුත්තු සුදාකරන් හෙවත් සුදා සමඟ දැඩි මොහු හිතවත්කමක් ගොඩනංවාගෙන සිටියේය. එවකට අලුත්කඩේ ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජා නායකයකුව සිටි මොහිදින් හාජ්ජියාර් ඝාතනය කරනු ලැබ තිබුණේද නවුෆර් විසින් බව කියති.

පාතාල කටයුතු මැද හෙරොයින් ජාවාරමෙන් හොඳ හැටි ආදායම් ලැබූ පොට්ට නවුෆර් එම ආදායම නිසි ලෙස ආයෝජනය කළ කෙනකු බව පැවසේ. ඒ අනුව පිටකොටුව මවුලානා සුපර් මාකට් ගොඩනැගිල්ල මිලට ගැනීමද අලුත්කඩේ ප්‍රදේශයේ &බරකත මැන්ෂන්* යන උත්සව ශාලා ආරම්භ කිරීමටද ඔහු ආයෝජනය කර තිබිණි. මේවායේ නවාතැන් පහසුකම් ලබාදීම හරහාද ආදායම් ලැබූ ඔහුගේ නවාතැන් ශාලාවල ඉන්දීය හා පකිස්තාන ජාතිකයෝ වැඩි වශයෙන් නැවතී සිටියහ. එවැනි සංචාරකයන් මාර්ගයෙන්ද මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම සිදු කිරීමට පොට්ට නවුෆර් සූක්ෂම විය.

පොට්ට නවුෆර් සම්බන්ධයෙන් වූ මත්කුඩු නඩුවක් මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා හමුවේ විභාග වෙමින් තිබිණි. නවුෆර්ට ඇප ලබාදීමක් හෝ සිදු නොවීය. ඔහු හා නඩුවේ සිටි තවත් පුද්ගලයකුට අභියාචනාධිකරණය හරහා ඇප ලබාගත්තද එම අවස්ථාව නවුෆර්ට හිමි නොවීය. මේ හේතුවෙන් ඔහු අවබෝධ කොටගෙන ඇත්තේ විනිසුරු අඹේපිටිය හමුවේ තවදුරටත් නඩුව විභාග වුවහොත් තමාට අනිවාර්යයෙන් මරණ දඬුවම හිමිවන බවය. ඊට පිළියමක් කල්පනා කළ පොට්ට නවුෆර් ආධුනික අපරාධකරුවන් පිරිසක් සංවිධානය කොටගෙන ඔවුන් මනාව හසුරුවා බොරුල්ල සරණ පාරේදී සරත් අඹේපිටිය මහතා ඉලක්ක කොට වෙඩි තබා තිබිණි. එම ප්‍රහාරයට අඹේපිටිය මහතාගේ රියැදුරුද ගොදුරු විය.

මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ පොලීසිය නවුෆර් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය කටයුතු මෙහෙයවීමෙන් පසු පිරිස ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට නියම කරනු ලැබීය. එහෙත් හිරේ සිටිමින් කුඩු ජාවාරම සිදු කර ඇති ඔහු නීතිවිරෝධී දුම්වැටි ආනයනය මහා පරිමාණයෙන් සිදු කළ බවද කියති. කෙසේ නමුත් වාර්තා වන්නේ පොට්ට නවුෆර් පාතාලය සමඟ හෙරොයින් ඇතුළු ජාවාරම් මෙහෙයවූ සමයේ කොළඹ ප්‍රධාන පෙළේ උසස් පොලිස් නිලධාරීන් සමඟ මනා සබඳතාවක් පවත්වා එම සහාය මත ජාවාරම නිදහසේ සිදු කර ඇති බවකි.

මහා ධනස්කන්ධයක් උපයා පාතාලයේ නමකුත් හදාගත් පොට්ට නවුෆර් අවසානයේ සිරිගතව සිටියදී ලෝක වසංගතයකට මැදිව ජීවිතක්ෂයට පත්වූයේ මිල මුදල් හෝ පාතාල බලයෙන් හෝ ස්වභාවධර්මයාගෙන් ගැලවීමට ඉඩක් නැති බව පසක් කරමිනි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර