2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

ගැලවිජ්ජාවක් නොවන ලොක්ඩවුන් විද්‍යාව

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 15

විද්‍යාව සහ මිත්‍යාව අතර ඇත්තේ අකුරු දෙක වෙනසකි. විජ්ජාව සහ ගැලවිජ්ජාවද සමාන පද නොවේ. මේ සිංහල පාඩමක් සඳහා ලියැවෙන පූර්විකාවක්ද නොවේ. කාලීන වටිනාකමකින් යුත් විද්‍යාත්මක සංවාදයකට ලබාගන්නා ප්‍රවේශයකි. ලොක්ඩවුන් විද්‍යාව කුමක්ද? මිත්‍යාව කුමක්ද? ලොක්ඩවුන් විජ්ජාවක්ද? ගැලවිජ්ජාවක්ද? අපි ප්‍රශ්න කර සිටිමු. හුදී ජනයාට අපභ්‍රංසයක් වූ මෙම ලොක්ඩවුන් විද්‍යාව අද අපට පහදා දෙන්නේ කායික රෝග හා දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරැණ ගුණතිලක මහතාය.

විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතාගේ වාර්තාවක් පාදක කොටගෙන අපි මෙම ලිපිය සකස් කළෙමු. මෙය කියවා අවබෝධ කර ගැනීම අත්‍යන්තයෙන්ම ඔබට වැදගත්වනු ඇතැයි අපි සිතමු. මන්දයත් අප මෙන්ම ඔබද නොදැනම ලොක්ඩවුන් මිත්‍යාවේ හෝ ගැලවිජ්ජාවේ කොටස්කරුවෙකු වී සිටිය හැකිය.

ලොක්ඩවුන්, යන්න වර්තමානයේ බොහෝ පිරිසකට දිරවා ගත නොහැකි වචනයක් බවටම පත්ව තිබේ. එහෙත්, කොවිඩ් පළමු රැල්ලෙන් පසු ලොවපුරා සිදුකළ බොහෝ අන්තර්ජාතික වෛද්‍ය පර්ෙය්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ, නිවැරදි විද්‍යාත්මක ප‍්‍රවේශයක් සහිතව භාවිත කරන්නේ නම් එය වසංගතය මැඩලීමේ සාර්ථක ක‍්‍රමෝපායක් වන බවය. කොවිඩ් පළමු රැල්ල සමයේ ලොව බොහෝ රටවල ක‍්‍රියාත්මක වූ දීර්ඝ ලොක්ඩවුන් ක‍්‍රමවේදය, මේ වනවිට, බොහෝ පරිණාමික වෙනස්කම්වලට ලක්ව තිබේ. ලොක්ඩවුන් යන්න හුදු අහම්බයක් නොවන්නකි. පැතිර යන වසංගතයක් මුලිනුපුටා දැමීමට හෝ ප‍්‍රජාවට වඩාත් හිතකර මට්ටමින් මර්දනය කිරීමට යෙදවිය හැකි විද්‍යාත්මක ප‍්‍රවේශයකි. රටක් මුළුමනින්ම වසා දැමීමක් හෝ ජන ජීවිතයේ සියලු කටයුතු අකර්මණ්‍ය කිරීමක් ලෙසින් නිර්වචනය වුවද, සැබවින්ම එය එසේ නොවේ. රටක ආර්ථිකයට මෙන්ම ජනතා සෞඛ්‍යයටද වඩාත් හිතකර, වසංගත සැරියේ බිඳ වැටුම් ක‍්‍රමවේදය පිළිබඳ අවධානය යොමුකළ යුතුව තිබේ.

ලොක්ඩවුන් සම්බන්ධව මේ වනවිට රටපුරා පැතිරයන යන මිථ්‍යාව කායික වෛද්‍ය විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා බැහැර කරයි. ලොක්ඩවුන් යනු වසංගත රුල්ලක් ආපසු හැරවීමට භාවිතා කරන ක්‍රමෝපායක් බව පැහැදිලි කරන ඒ මහතා ලොක්ඩවුන් සීමාවල බලාපොරොත්තුව ආසාදිතයන් සංඛ්‍යාව අඩු කරගැනීම බව පවසයි. ලොක්ඩවුන් යනු ජාතික වශයෙන් සිදුකරන පූර්ණ අගුළු දැමීමක්, ඉතා හදිසි භයානක සංකීර්ණ තත්ත්වයක් ලෙස බොහෝදෙනා අරුත් ගන්වාගෙන සිටිති. එහෙත් වරුණ ගුණතිලක මහතාට අනුව මෙම සීමාවන් පැනවෙන්නේ, කලින් සැලසුම් කළ, නිශ්චිත, කෙටි කාලසීමාවක් සඳහා පමණි. මෙහි අවම කාලයද සති දෙකකි. එහෙත් ශ්‍රී ලංකාවේ වර්තමාන ලොක්ඩවුන් තත්ත්වය දෙස බැලූවිට ඔහුගේ දැක්ම ප්‍රශ්න ගතවේ. එහෙත් මේ මොහොත සම්බන්ධව ඔහුට ඉතා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තිබේ.

ක‍්‍රමවේදයෙහි සාර්ථකත්වය රඳාපවතින්නේ පනවන සීමාවන්හි දැඩි බව සහ ප‍්‍රජාව ඒ කෙරෙහි අනුගත වන ප‍්‍රමාණයටද සාපේක්ෂවය. අවසන් ප‍්‍රතිඵලය ලැබෙන්නේද කාලසීමාව අවසානයෙන් සතියකට පමණ පසුවය. කෙටි කාලසීමාවක් තුළ, දැඩි සීමාවන් පැනවීම මෙහි මූලික හරය මෙයයි. සිත්ගන්නාසුලු කරුණ වන්නේ ආර්ථික විද්‍යාඥයන් කුමක් පැවසුවද මෙකී ක‍්‍රමවේදය තුළ රටක ආර්ථිකය කෙරෙහි ඇතිවන බලපෑම අවම වන බව පර් යේෂණ වාර්තා පෙන්වා දී තිබීමයි. දිගු කාලයක් බලපවත්වන ලෙසින් දැඩි සංචරණ සීමාවන් පැනවීමත්, යළි යළිත් සීමාවන් පැනවීම මෙන්ම, යෝග්‍යතම අවස්ථාව මගහැර ප‍්‍රමාද වී සිදුකරන සීමා පැනවීම් තුළින්ද අපේක්ෂිත ප‍්‍රතිඵල අත්කර ගත නොහැක. ඉහත කරුණු අන්තර්ජාතික මුල්‍ය අරමුදල විසින් ප‍්‍රකාශිත වාර්තාවන්වල පවා සඳහන් වන්නකි.

ලොක්ඩවුන් හේතුවෙන් ආර්ථිකය අබල දුබලවීම සම්බන්ධව අපට නිතර ඇසෙන කතන්දරවල තාර බර හැර ගැනීමට මෙම පැහැදිලි කිරීම අතිශය වැදගත් වේ. මේ අතර ලොක්ඩවුන් හේතුවෙන් ආර්ථික අර්බුදයක් පැන නැගී ඇතැයි කියන පිරිසට අමතක වී ඇති කරුණක්ද වෛද්‍යවරයා සිහිකරයි. වසංගත සමයේ සෞඛ්‍ය වියදම් ඔවුනට අමතකව ගොස් තිබේ. මේ මොහොතේ වසංගතය පාලන නොකළහොත් එම වියහියදම් දෙගුණ තෙගුණ වනු ඇත. දැනටමත් ඖෂධ මෙන්ම ඔක්සිජන් ආනයනයටද බලධාරීන්ට සැලකිය යුතු ලෙස බරපැන දැරීමට සිදුව තිබේ. අතරමැදි සෞඛ්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යාම පන්දහසේ දෙදහසේ දීමනා ලබාදීම ආදිය වෙනුවෙන් වැයකරන සියලු මුදල් වසංගතය මර්දනය කිරීම තුළින් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත. විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතාගේ පැහැදිලි කිරීම ඔස්සේ අවබෝධ වන්නේ එයයි.

නිශ්චිත කාල වකවානුවක් හෝ අවසානයක් නොදකින ක‍්‍රියාන්විතයක වර්තමාන හෝ අනාගත විසඳුම් පුරෝකථනය අසීරුවන්නේ එය මනාව ජීවිත හා ජෛව විද්‍යාත්මක ගතිකයන් සමඟද සිදුකෙරෙන අසීරුතම ගනුදෙනුවක් වන හෙයිනි. එතැනින්ම වසංගතයේ විෂම චක‍්‍රය වහා අඩපණ කළ යුතුව තිබේ. එය සිදුකළ හැකි වන්නේ ‘ආර්ථික විද්‍යා තියරියෙන්’ නොව, සාක්ෂි මත පදනම් වන ප‍්‍රායෝගික වසංගත වෛද්‍ය විද්‍යාවේ පිහිටාධාරයෙන්ම පමණි. ආර්ථික පසුබෑම හුදෙක් රටක් අගුලු දැමීම තුළින් පමණක්ම සිදු නොවන්නකි. ‘ගෙදර ඉන්න’ යන විධානය තුළින්ම, ආර්ථිකය යම් පසුබෑමකට ලක්වෙයි. අප‍්‍රමාදව හා ඉලක්කයානුගතව සිදුකරන ලොක්ඩවුන් ක‍්‍රමවේදයක් වෛරස ව්‍යාප්තිය පාලනය කරන්නේ, නව විකෘති ප‍්‍රභේදයන් තවදුරටත් බිහිවීමද වළක්වාලමිනි. ඉන් වසංගත මර්දනයේ දිගුකාලීන බරපැන අවම කරවන අතරම ජීවිත සේම ජීවිකාවන්ද රුකගනු ලබයි. අත්වන තවත් වාසියක් වන්නේ, හෙම්බත්ව හති අරින සෞඛ්‍ය පද්ධතියටද, මඳ විවේකයක් ලබාගන්නට ඉන් ඉඩහසර ලැබීමයි.*
ඉතිහාසය විසින් ඛේදවාචක රුසක් අපට උරුමකර දෙනු ලැබුවේ නිවැරදි තීරණ නොගැනීම, තීරණ ගැනීමට ප්‍රමාදවීම ආදී වූ අතපසුවීම් හේතු කොටගෙනය. අද අපි ඉතිහාසය දෙස බලා අනේ අපොයි එදා එය එසේ නොවුණා නම් යනුවෙන් කියමින් සිටිමු. එහෙත් එදා මෙන්ම අදද අඳබාල දේශපාලනඥයෝ ඉතිහාසය පුරා සිදුකළ අපරාධය නැවත සිදු කරමින් සිටිති. තමන් ලොක්ඩවුන් විරෝධීන් යයි කියමින් මේ දිනවල කලඑළි බසින්නේ ඔවුන්ය. තමන් ප්‍රබුද්ධ යැයි සිතා ජාත්‍යන්තර වශයෙන් උදාහරණ දෙන මේ දේශපාලනඥයන්ට සහ සෙසු අඥානයන්ට මෙම වාර්තාවෙන් අපූරු පිළිතුරක් සපයා ඇත.

ස්වීඩනය යනු ලොක්ඩවුන් ක‍්‍රමවේදය කෙරෙහි අනුගත නොවූ රටකි. ඇතැම් පිරිස්, තර්ක කරන්නේ වෛරස මර්දනයේ ස්කැන්ඩිනේවියානු ආදර්ශය ලංකාව විසින්ද අනුගමනය කළ යුතු බවකි. සමස්ත ජනගහනයෙහි අඩු බව, ඔවුන් භූගෝලීය වශයෙන් රටපුරා දුරස්ථව විසිර පැවැත්ම යනා දී සාධක හේතුවෙන්, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඔවුනට අභියෝගයක් නොවීය. ස්වීඩන් වැසියන් තුළ පැවති සෞඛ්‍යයමය විනය හා ශික්ෂණයද, වසංගත රැල්ල අවසානයේ යහපත් ප‍්‍රථිපල අත්කරදෙනු ලැබිණි. ස්වීඩන් ව්‍යවස්ථාව මගින් සිවිල් නිදහස කෙරෙහි ප‍්‍රමුඛ ස්ථානයක් ලබාදෙන හෙයින්, හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කිරීම හෝ අගුලු දැමීම් රාජ්‍ය නියමයන් ලෙසින් සිදු නොවිණි. එහෙත් සමීක්ෂණ වාර්තාවන් පෙන්වා දෙන්නේ කොවිඩ් මර්දනයේ යුරෝපා රටවල් අතර සාර්ථකත්වයේ දහතුන් වැනි ස්ථානයට පත්ව ඇති ස්වීඩනය, අගුලු දැමීම් ක‍්‍රමවේදයට යොමු වූයේ නම් එරට සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව බොහෝ සෙයින් අඩු කරගත හැකිව තිබුණ බවයි.
පසුගිය සමයේ ඇසුණු තවත් කෙඳිරිල්ලක් වන්නේ ලොක් ඩවුන් කළ ඇමරිකාවේ පවා, ඉන් අනතුරුව කොවිඩ් ව්‍යාප්තියක් සිදු වූ බවත්, අගුලු දැමීම් ඵල රහිත වන බවත්ය. නොකියවෙන කතන්දරය වන්නේ විද්‍යාඥ උපදෙස් නොතකා හරිමින්, සංචරණ සීමා නිසිකල් එළැඹීමට පෙර ඉවත්කර ආර්ථිකය පණගන්වන්නට ඇමරිකන් රජයට තිබූ තදියම එකී තත්ත්වයට හේතු වූ බවය. දේශපාලන ප‍්‍රජාව මන්තරයක් ලෙසින් මතුරන්නේ තමන් සෑමවිටම විද්‍යාත්මක උපදෙ හා ක‍්‍රමවේදයන්ට අනුකූලව විසල් තීන්දු වලට’ එළැඹෙන බවය. ඇත්ත එයද?

විශේෂඥ වෛද්‍යවරයා මතු කරන ප්‍රශ්නය කවරකු විසින් කාගෙන් ඇසිය යුත්තක් යැයි දැයි පැහැදිලි නැතත් මේ මොහොතේ දී අපි එම ප්‍රශ්නය අපෙන්ම අසාගනිමු. කෙසේ වෙතත් රට අගුලු දමන මොහොත හෝ අගුලු ඉවත් කරන මොහොත මෙන්ම එන්නත් කරන ප්‍රමුඛතාවන් ආදී කරුණු දේශපාලනඥයන් විසින් තීරණය කළ යුතු නොවේ. ඒ සියල්ල විද්‍යාත්මක පදනමක් මත පිහිටා වසංගතවේදයේ ප්‍රවීණයන් විසින් ගතයුතු තීන්දුය. දේශපාලන අරමුණු ආර්ථික කරුණු මුළුමනින්ම නොසලකා හැරිය යුතු බව මින් අදහස් නොවේ. මෙහිලා අවධාරණය කර සිටින්නේ වසංගත සමයේ රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා විෂය ප්‍රවීණයන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි.

විද්‍යාව ජන සමාජයේ යහපත පිණිසමය. එය කිසිදු විටකදී කිසිවකුත් අන්ධානුකරණයෙන් පිළිගත යුතු නොවන අතර, විමසීමෙන් හෝ පෙරළා ප‍්‍රශ්න කිරීමෙන් පිළිගත යුත්තකි. එසේ ප‍්‍රශ්න කරන්නට කිසිවකුත් බියවිය යුතුද නොවේ. විද්‍යාත්මක කරුණු යටපත් කිරීම, නොසලකා හැරීම මෙන්ම විද්‍යාඥයන් නිහඬ කරවීමද සමස්ත සමාජයම අනතුරකට යොමු කරවයි. යහපත් විද්‍යාවක් තුළින් හෙළිදරව් කරන කටුක යථාර්ථය ප‍්‍රතික්ෂේප කිරීම තුළ බරපතළ සමාජ ඛේදවාචකයක් නිර්මාණය වනු ලබයි.

විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා මෙසේ පැහැදිලි කර දෙන්නේ පාලකයෝද පාලිතයෝද අවබෝධ කරගත යුතු පරම සත්‍යයකි. සත්‍යයේ ඇති සර්වකාලීන වටිනාකම නිසාම මෙම ලිපිය අපි පළ කරමු. විමසුම ඔබට භාරය. මෙහිලා සියලු ගෞරවය විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතාටම හිමිවිය යුතුය. අප මැදිහත්කරුවකු වූවා පමණි.

 චමිඳු නිසල් ද සිල්වා

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00