2021 ජුලි 24 වන සෙනසුරාදා

රිෂාඩ් ඇමැති නිවෙසේ නොනිමෙන ගිනිජාලාව

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 444

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරියක වූ බාලවයස්කාර ඉෂාලිනී දැරියගේ සිරුරට ගිනි ඇවිලීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූවාය. මළසිරුර සම්බන්ධයෙන් පැවැත්වූ මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ දැරිය දීර්ඝ කාලයක සිට ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවය. දැරියගේ සිරුරට භූමිතෙල් වත්කර ගිනි තබාගෙන, සියදිවි නසාගත් බව ප්‍රකාශ වුවද ඇගේ මරණය පිළිබඳව පවතින්නේ අභිරහසකි.
අවුරුදු 15යි මාස 11ක් වන දැරියක බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරියක සේ සේවයට යොදවා ගෙන තිබුණේ වසරකට පමණ ඉහත සිටය. ඇය තැරුව්කරුවකු මාර්ගයෙන් අදාළ ස්ථානයේ සේවයට යොමුකර තිබුණේ හැටන් ඩයගම ප්‍රදේශයේ වතු නිවසක ඇගේ මවුපියන් සමඟ පදිංචිව සිටියදීය.

දැරිය සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් සනාථ වී නැතැයි පොලිසිය පවසන අතර එසේ සිදුකිරීම පසුපස යම් බරපතළ සැඟවුණු රහසක් තිබෙන්නට ඇති බවද පොලීසිය සඳහන් කරයි. දැනට පවතින ප්‍රධාන සැකය වන්නේ මියගිය දැරිය කාලයක පටන් ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි යන්න මරණ පරීක්ෂකයෝ අනාවරණය වී තිබීමේ කාරණය මරණයට හේතුවක් විය හැකි බවය.

මාස 9ක පමණ කාලයක් ඇමති නිවසේ මෙහෙකාර සේවය සිදුකර ඇති දැරිය ජීවිතක්ෂයට පත්වන විට අවුරුදු 16යි මාස 8ක් වයසේ පසුවී තිබිණ. මෙසේ බාලවයස්කාර දැරියක මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් හා අදාළ මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් පරීක්ෂණ සිදුකරයි. ඒ අතර බොරැල්ල පොලීසිය. කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය, කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙයි.

වසරකට ආසන්න කාලයක් ඇමැති නිවෙසේ මෙහෙකාරිය සේ සේවය කළ දැරිය සිරුරට ගිනි ඇවිළී තිබුණේ පසුගිය 3 වැනිදාය. අනතුරුව දවස් 12ක් රෝහල්ගතව සිටියදී පසුගිය 15 වැනිදා ඇය ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ සම්බන්ධයෙන් රෝහල් ආරංචි මාර්ග වාර්තා කළ දැරියගේ සිරුර 70%කට වඩා පිළිස්සී ඇති බවය. 

පිළිස්සී මියගිය දැරිය දීර්ඝ කාලයක පටන් ලිංගික අපයෝජනයට ලක්ව ඇතැයි කියන අභිරහස සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් ත්‍රිත්වය මේ වනවිට පුද්ගලයන් දස දෙනෙකුට වඩා ප්‍රශ්න කර ඇත. ඒ අතර හිටපු ඇමැති බදියුදීන්, ඔහුගේ බිරිය, ඔහුගේ පියා හා මවද වෙති. එම නිවැසියන් අතර මේ වනවිට ප්‍රධාන වශයෙන් අවධානය යොමුව ඇත්තේ තරුණ වියේ පසුවන මෙහෙකරුවකු හා ඇමැතිවරයාගේ බිරියගේ පාර්ශ්වයේ ඥාතියකු වෙතය. මීට අමතරව දැරියගේ මව, පියා, සොහොයුරා මෙන්ම දැරිය සේවයට යොමුකළ තැරුව්කරුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. දැරිය අධ්‍යාපනය ලැබූ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පාසලක විදුහල්පති හා උප විදුහල්පති මෙන්ම දැරිය ආශ්‍රය කළ කිහිප දෙනකුද ප්‍රකාශ ලබාදුන් අය අතර වන බව වාර්තා වේ. එමෙන්ම නිවෙසේ මෙහෙකාර තරුණයකුට අයත් ජංගම දුරකතනයක් ඇතුළු තවත් දුරකතන කිහිපයක් පිළිබඳ විශ්ලේෂණ වාර්තාවන් ලබාගැනීමට අධිකරණ නියෝග ලැබී තිබෙන බව වාර්තා වේ. විශේෂයෙන් දැරිය මෙහෙකාර සේවයට යොමුකළ පුද්ගලයාගේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු ගිණුම්වල වාර්තා ලබාගැනීමට නියෝග ලබාදී ඇත.

හිටපු අමාත්‍ය බදියුදීන් මහතාගේ නිවසේ මෙම මෙහෙකාරිය වූ ඉෂාලිනී ජූඩ් කුමාර් දැරිය සේවය කර තිබුණේ ඇමැතිවරයාට අයත් බොරැල්ල බෞද්ධාලෝක මාවතේ නිවසේය. ඇය මාස 8ක පටන් නිවාඩු නොලබා සේවය කර ඇතැයිද මාසයකට වැටුප රු.20,000 බැගින් ගෙවා ඇතැයිද පැවසේ. පවතින වාතාවරණය හමුවේ විමර්ශන සඳහා යොදවා තිබෙන පොලිස් කණ්ඩායම් තුනට අමතරව නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු හා ඩයගම පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා විය.

මියගිය දැරිය හා පවුල ආර්ථික දුෂ්කරතාවලින් හෙම්බත්ව සිට ඇති බව එම නිවැසියන්ගේ ප්‍රකාශවල සඳහන් වේ. මියගිය දැරිය ගැහැනු දරුවන් පස්දෙනෙකු හා පිරිමි දරුවකු සිටින පවුලක තෙවැනි දියණිය බව කියැවේ. පැවති ආර්ථික අපහසුකම් අතර කොවිඩ් උවදුර නිසා නිවැසියන්ට ආදායම අහිමිව ගොස් ඇත. ඒ අතර ණය වී සිටි නිවැසියන්ට ණය ඉල්ලමින් ඇතැම් පිරිස් කරදර කළ බවද කියැවුණි. මේ නිසා තැරුව්කරුවකු මාර්ගයෙන් දියණිය මෙහෙකාර සේවයට ගිය බවත් වැටුප රු.25,000ක් ලබාදෙන බවට පොරොන්දු වුවද මාසිකව රු.20,000ක් පමණක් ලැබූ බවද දැරියගේ මවුපියෝ ප්‍රකාශ කරති. මේ අතර දැරියගේ මරණයට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා මැදිහත් වන්නැයි මහනුවර මානව හිමිකම් කාර්යාලයට ගොස් දැරියගේ මවුපියන් ඉල්ලා ඇත. ඒ සමඟ අදාළ පැමිණිල්ලක් යොමුකර තිබෙන අතර සිදුවීම සම්බන්ධයෙන් මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්ෂක නන්දන මනතුංග පියතුමා මාධ්‍යයට මෙසේ ප්‍රකාශ කර සිටියේය.

“වතුකර ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලනඥයන් හා වෘත්තීය සමිති මේ අවස්ථාවේ මුණිවත නොරුක සාධාරණය වෙනුවෙන් හඬ නැගීම කළ යුතුයි. වතුකරය තුළ පවතින දරිද්‍රතාවේ ගොදුරක් බවට මේ දැරිය පත්වෙලා තියෙනවා. මේ දැරියගේ මරණය පිළිබඳව ඇය සේවය කළ නිවසේ හිමිකරුවන් වගකීම බාරගත යුතුයි.”

ඉෂාලිනී දැරිය අවස්ථා කිහිපයකදී දුරකථන ඇමතුම් ලබාදෙමින් එම නිවසේ හිරිහැර සිදුවන බවත් තමා ගෙදරට ගෙන්වා ගන්නා ලෙස ආයාචනය කළ බවද ඇගේ මව පවසන්නීය. නිවෙසේ මෙහෙකාර තරුණයකු ඇයට කොස්සක් කැඩෙන්නට පහරදුන් බවද ඇය පැවසීය. මේ අතර දැරියගේ පියා පවසන්නේ දැරිය ගින්දරට ඉතා බිය බවකි. ගිනිකූරක් ඇවිලීම පවා ඈත තියා කරන ඇය ගිනිතබා නොගන්නා බවද සිදුවීම පිළිබඳ සැකයක් ඇති බවද පවසයි.

සිදුවීමෙන් කුපිත වූ හැටන් ඩයගම ගම්වාසීන් ඒකරාශි වී විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබිණ. ඊට මාධ්‍යවල අවධානයද යොමුව තිබුණු අතර නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ විසින් බදියුදීන් මහාතට අයත් නිවෙස ඉදිරිපිට විරෝධතාවක් දක්වා තිබිණ. ඇතැමුන් සිදුවීම දේශපාලනීකරණය කොට පෙන්වීමට උත්සාහ ගන්නා පසුබිමක සමගි ජනබලවේගය විසින් ඉල්ලා සිටින්නේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසය. මේ අතර සමාජවාදී තරුණ සංගමය හා අයිතිය උදෙසා කාන්තාවෝ යන සංගම් සංවිධානය කළ විරෝධතා ව්‍යාපාරයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වීය. එහි අරමුණ වී තිබුණේද පිළිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලකිරීමය.

දැරියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් කණ්ඩායම්වලට සහාය වීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයකුගෙන් සමන්විත රජයේ නීතිඥ කණ්ඩායමක් නීතිපතිවරයා විසින් පත්කරනු ලැබ ඇත. එම කණ්ඩායමේ ප්‍රධානී ලෙස නියෝජ්‍ය පොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා නීතිපති සංජය රාජරත්නම් මහතා විසින් පත්කර තිබේ. මෙම පත්කිරීම හරහා අවශ්‍ය නීති උපදෙස් ලබාදෙමින් විමර්ශන කඩිනම් කිරීම අපේක්ෂා කෙරේ.

හිටපු අමාතය බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාරියක වූ දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අමාත්‍යවරයාගේ බිරිය, පියා හා දැරිය සේවයට යොමුකළ තැරුව්කරු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ විමර්ශන අතරතුර අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයකුද අත්අඩංගුවට ගත් බවය. ඔහු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මීට ඉහතදී 2015-2019 අතර කාලයේ එම නිවසේ සේවය කළ මෙහෙකාර තරුණියක දූෂණය කිරීම සම්බන්ධයෙන් වාර්තා වූ තොරතුරු අනුව ඔහු අත්අඩංගුවට ගත් බවද කීය. අදාළ තරුණියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හරහා මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර