2021 ජුලි 17 වන සෙනසුරාදා

60-70 දශකවල ජනප්‍රිය වෙළෙඳ නාම

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 291

මෑත දිනක සමාජ මාධ්‍යයක පළවූ කුඩා යාං හෑල්ලක් මගේ මතකයට එයි. එය ගුරුවරියක හා හතරවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනකු අතර සිදුවූ සංවාදයකි.

ගුරුවරිය - සමන්ත කියනවා බලන්න ලංකාවේ රජවරුන් පස් දෙනෙකුගේ නම්?

සමන්ත - දුටුගැමුණු, කාවන්තිස්ස (ඔහුට එතැනින් එහාට කියාගන්නට නොහැකි වෙයි)

ගුරුවරිය - මිලන්ත කියනවා බලන්න... (මිලන්ත ඇම්ඩන් වර්ගයේ එකෙකි)

මිලන්ත - පළමුවැනි පැරකුම්බා, දෙවැනි පැරකුම්බා, තුන්වැනි පැරකුම්බා, හතරවැනි පැරකුම්බා, පස්වැනි පැරකුම්බා.

මිලන්ත වැරදි නැත. ශ්‍රී ලාංකීය පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සැළකෙන කෝට්ටේ යුගයේ රජකළේ හයවැනි පැරකුම්බාය. පැරකුම්බා යනු මෙරට රජවරුන්ගේ නමක් පමණක් නොවේ. පැරකුම්බා යනු මෙරට ප්‍රචලිත වූ වෙළඳ ලකුණක් ද වේ. වෙළඳ ලකුණට යොදාගන්නේ දෑත මත පුස්කොළ පොතක් වැනි යමක් දරා ඉන්නා ශෛලමය පිළිමයේ සංකේතයයි. දෑතේ දරා ඉන්නා එම වස්තුව මඳක් නම්‍ය නිසා එය පුස්කොළ පොතක් බවද කිව නොහේ. සමහරු විහිළුවට කීවේ ඒ ගස්ලබු ඉරුවක් කියාය. එම ගල් පිළිමය පරාක්‍රමබාහුගේ නොව වෙනත් පුලතිසි නම් ඍෂිවරයකුගේ බවට ඇතැමෙක් තර්ක කරති. කෙසේ වුවද වෙළෙඳ ලකුණට යොදාගනු ලැබුවේ එම ගල් පිළිමයේ රූපයයි.

අප කුඩා කාලයේ දත් මදින්නට ගත්තේ දත් කුඩුය. සිල්ලර කඩවල සත පහළොවට පමණ අලෙවි වූ දත්කුඩු වර්ග කිහිපයකි. මුලින්ම තිබුණේ ගෝපාල් දත් බෙහෙත්ය. ඊළඟට දන්තාමුක්ත දත්බෙහෙත් සහ පැරකුම්බා දත් බෙහෙත් පැකට් සිල්ලර කඩවල අලෙවියට තබා තිබිණි. එවැනි දත් බෙහෙත් පැකැට් සිල්ලර කඩවල ප්‍රදර්ශනය කරන ලද්දේ පැරණි කැලැන්ඩරයක තරමේ කාඩ්බෝඩ් එකක පිළිවෙළට අලවලාය. දන්තාමුක්ත පැකට්ටුවේ තිබුණේ විරිත්තාගත් දත් දෙපළක රෑපයකි. පැරකුම්බා පැකැට්ටුවේ තිබුණේ ඉහත කී පැරකුම්බා රෑපයයි. පැරකුම්බා රජ දවස දත් මැද්දේ කුමන දේකින්දැයි හරියටම දැනගන්නට නැත. එහෙත් අපේ පැරැන්නෝ මූණමල්පොතු, දෙළුම් පොතු ආදිය පුළුස්සා දත් බෙහෙත් තනාගත් බවට සාක්ෂි තිබේ. එදවසට පෙර එනම් මානව ශිෂ්ටාචාරයේ ඊජිප්තු යුගයේද දත් බෙහෙත් තනාගත් බවට සාක්ෂි ඇත. ගෙදර ගෝපාල් හෝ පැරකුම්බා දත්කුඩු පැකට්ටුව ඉවර වී තිබුණේ නම් අම්මා පාන් කැබැල්ලක් ලිපේ දා පුළුස්සා ඊට ලුණු කුඩු සහ ගම්මිරිස් ඇට එක්කොට බෝතලයකින් අඹරා අගනා දත් බෙහෙතක් සාදා දුන්නාය. මේ කිසිත් නැතිවුණත් ලිපෙන් අඟරු කැටයක් ගෙන කටේ ලා සපා දත්මැදීම හැට ගණන්වල බොහෝ දෙනා කළෝය. ඒ දිනවල සිමෙන්ති ළිං ගැට්ටවල දත් මදින්නට අඟුරු උරච්චි කළ සලකුණු වැරදුණේ නැත. සත්‍යජිත් රායිගේ පාතර් පංචාලි චිත්‍රපටයේ කුඩා ඔපුර් ද දත් මදින්නේ අඟුරු කැටයකින් බව එහි එක් දර්ශනයකින් පෙනේ. ඒ කියන්නේ අඟුරුවලින් දත් මැදීම පනස් ගණන්වල ඉන්දියාවේද පොදුජනයා අතර පුරුද්දක්ව පැවති බවයි.

පැරකුම්බා දත් බෙහෙතට කළින් මෙරට ප්‍රචලිතව පැවති ගෝපාල් දත් බෙහෙත් ඉන්දියාවේ නිෂ්පාදනයකි. මෙරට ඉන්නා ඉන්දියානු ද්‍රවිඩ ජනයා අතරද ගෝපාල් දත් බෙහෙත මෑතක් දක්වා ජනප්‍රියව තිබුණ බව අන්තර්ජාලයේ සඳහන්ය. ඉන්දියාවේ ගෝපාල් දත් බෙහෙත් නිෂ්පාදනය නතර වී නොමැත. පසුගිය දශක පහ, හයක් තිස්සේ ගෝපාල් දත් බෙහෙත් කාලයත් සමග නවීකරණය වී ඇති බව අන්තර්ජාලය පරීක්ෂා කළ විට පෙනේ. ඒ කාලයේ ගෝපාල ඇසුරුම සාදා තිබුණේ බ්‍රවුන් පේපර් වැනි කඩදාසි වර්ගයකිනි. වර්තමානයේ ඉන්දියා ගෝපාල් දත් කුඩු ප්ලාස්ටික් ඇසුරුම්, ප්ලාස්ටික් බෝතල් ඇසුරුම්වලින් සමන්විතය. ඒ කාලයේ තිබූ දත්කුඩු වර්ග කිහිපයේම අපට දැනුණේ ආසන්න වශයෙන් එකම රසයයි.

අපට දත් බුරුසු මිලට ගෙන දුන්නේ හැට ගණන්වල අග භාගය ආසන්නයේදීය. ගෙදර පුංචි එකීගේ දන්ත කල්‍යාණිය වර්ධනය කරගන්නට අයියලාට නොදී පුංචි එකීට පමණක් දත් බුරුසුවක් අරන් දුන්විට අයියලාට එය දරාගන්නට බැරි වන්නේ පුංචි එකී දත් බුරුසුව පෙන්න පෙන්නා දිනපතා දත් මදින්නට ගන්නා නිසාය. අයියා කරන්නේ පුංචි එකීට හොරෙන් ඇගේ දත් බුරුසුවෙන් දත්මැද එය තිබුණු තැන තැබීමයි. මේ පිළිබඳ අගනා විස්තරයක් ගාමිණී විජිත් සමරකෝන්ගේ වෙබ් අඩවියේ තිබේ. ගාමිණී විජිත් සමරකෝන් හිටපු අඩවි වන නිලධාරිවරයෙකි. පැරණි දත් මැදීමේ පුරුදු ගැන ඔහු එහි අගනා විස්තරයක් කර තිබේ.

ඉන්දියාවේ පැරණිම ටූත්පේස්ට් වර්ගය ෆොරූන්ස්ය. එය 1920දී ඇරඹුණ නිෂ්පාදනයකි. ලෝකයේ පළමු ටූත්පේස්ට් නිෂ්පාදනය බිහිවෙන්නේ 1873 වසරේදීය. ඒ (ඇමරිකාවේ) කෝල්ගේට් නම් වර්ගයයි. මුලින්ම ඒවා නිකුත් වී ඇත්තේ ටියුබ්වල නොව සිලින්ඩරාකාර භාජනවලයි. ඉන්දියානු ෆොරූන්ස් දන්තාලේපය ලෝකයේ මුල්ම දන්තාලේප (ටූත්පේස්ට්) බිහිවී අවුරුදු 50ක් යන්නට මත්තෙන් නිෂ්පාදිතය වුණු බව මින් පෙනී යයි.

මේ කියන ෆොරූන්ස් දන්තාලේපය මෙරටද එකල වෙළඳපොළේ සුලභ වූවකි. එකල පැවති අනෙක් ටූත්පේස්ට්වල මෙන් එම වර්ගයේ පොඩි පැණිරසක් තිබුණේ නැත. ෆොරූන්ස් දන්තාලේපයේ තිබුණේ කටට තරමක් සැර දැවිල්ලක් දෙන ගතියකි. අනෙක් ඒවායේ මෙන් එම වර්ගයේ පෙන ආවේද නැත. පැකට්ටුවේත්, ටියුබයේත් ෆොරූන්ස් යනුවෙන් කළුපාට අත්සනක් යොදා තිබිණි. ඒ ෆොරූන්ස් දොස්තර මහතාගේ අත්සන බව වෙළෙඳ දැන්වීම්වල කියමිනි.

ෆොරූන්ස් දන්තාලේප ප්‍රවර්ධනය කිරීම සඳහා ෆොරූන්ස් වාසනා හත නම් ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් සති අන්තයේ හවස්වරුවේ ගුවන් විදුලියේ ප්‍රචාරය විය. එම වැඩසටහනේ ප්‍රශ්න විචාරන ලද්දේ ප්‍රවීන නිවේදක කරුණාරත්න අබේසේකර විසිනි. එම වැඩසටහනට සහභාගි වන තරගකරුවන්ගෙන් ප්‍රශ්න 7ක් විමසනු ලැබීය. මුලින්ම අසන්නේ පහසුවෙන් උත්තර දිය හැකි ප්‍රශ්නයි. මා සවන් දෙනවිට හත්වැනි ප්‍රශ්නයට පිළිතුරු දී තෑගි දිනාගත්තේ එකම එක තරගකරුවෙකු පමණකි. බොහෝ තරගකරුවෝ 4 වැනි හෝ පස්වැනි ප්‍රශ්නයෙන් පැරදුණෝය. එකල මහාරාජා සමාගම ෆොරූන්ස් දත් බෙහෙත්වල මෙරට නියෝජිතයා වූ බවද මතකය.

හොඳම දත් බෙහෙත් වර්ග පිළිබඳ ඔබ අන්තර්ජාලයේ විමසීමක් කළහොත් අඟුරුවලින් නිපදවන දත් බෙහෙත් තවමත් මුල්පෙළේ ලා ගණන් ගැනෙන බව ඔබට පෙනී යනු ඇත. Charcoal ටූප්පේස්ට් හෙවත් කළුපාට අඟුරු අඩංගු දත්බෙහෙත් අදටත් ඇමරිකානු කෝල්ගේට් සමාගම ප්‍රමුඛ තැනක ලා ප්‍රචාරය කරන බව පෙනේ. ඒවායේ යෝග්‍යතාව පිළිබඳ වෛද්‍ය මතය කෙසේ වෙතත් ඒවා වැඩි මිලකට අලෙවි වන බව පැහැදිලිය. වෛවාරන්න ටූත්පේස්ට් වර්ග හඳුන්වා දීමෙන් පසු ටූත්පේස්ට් නිෂ්පාදකයෝ ජනයා (ඒ කාලයේ ලිං ගැට්ටේ උරච්චි කළ) අඟරුම අමු ද්‍රව්‍යයක් කරගෙන ටූත්පේස්ට් නිෂ්පාදනය කරන බව පැහැදිලිය. ඉහත කී ෆොරූන්ස් වර්ගයද ගෝපාල් මෙන් ඉන්දියාවේ නවීකරණය වෙමින් නිෂ්පාදනය වන බව තතු සෙවීමේදී පෙනී යයි.

මේ දිනවල නිතර ඇසෙන රූපවාහිනී ටූත්පේස්ට් වෙළඳ දැන්වීමක කියැවෙන්නේ ලංකාවේ සෑම දරුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙක් දත්වල කුහර සෑදීමේ දන්ත රෝගයෙන් පෙළෙන බවයි. පසුගිය දශක 4, 5 ඇතුළත ලංකාවේ දරුවන්ට ටූත්පේස්ට් නිෂ්පාදනය කළ නිෂ්පාදකයන් මහ ගොඩක් නැත. ඇත්තේ තුන් හතර දෙනෙකි. අපේ කාලයේ මෙන් ඇඟිල්ලෙන් මදින පුරුද්දක් දැන් නැත. මුවේ හැම කොණකටම රිංගවිය හැකි එක එක හැඩයේ වංගු ඇති දත් බුරුසුද දැන් බොහෝය. එහෙත් ශ්‍රී ලංකාවේ සෑම දරුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු දන්ත රෝගවලින් පෙළෙන බව දත් බෙහෙත් නිෂ්පාදකයෝම පවසති.

සිග්නල් කොම්පැණියේ ලෝක හිමිකරුවා 1980 පමණ කී කතාවක් ඒ කාලයේ ඩයිජෙස්ට් සඟරාවක පළවී තිබිණි. ඔහු කියා තිබුණේ දත් මැදීමට ලුණු කුඩු හොඳටම ප්‍රමාණවත් කියාය. ඒ ගැන වෛද්‍ය මතය නම් වෙන එකක් වන්නට පිළිවන. කරඳ කෝටුවක අග තලා දත් මැදගත් විට කටට නැවුම් ගතියක් දැනෙන බව අපේ ගම්වල උදවිය හොඳින් දනිති.

පැරකුම් වෙළඳ ලකුණ ගැන කියවෙන විට ඒ කාලයේ තිබූ පැරකුම් උකු කිරි වර්ගය නිතැතින්ම මතකයට නැගේ. හැට හැත්තෑ ගණන්වල ශීතකරණ භාවිත කළේ ගෙවල් සුළු සංඛ්‍යාවක පමණි. ටිංකිරි ටින් එකේ කට කපා විවර කළ පසු එය මුළුතැන්ගෙයි මේසයක් මත තබන්නේ වතුර දීසියක බහා තබලාය. එසේ කළේ ටිං කිරි ටින් එකට කූඹි වැසීම වළකාලන්නටයි. ගෙදර පුංචි එකා විවර කළ ටිං කිරි ටින් එකේ ඇඟිල්ල ඔබා එය මුවේ ලාගන්නට පෙර ටින් එක ඇති තැන සිට මුව දක්වා ටිංකිරි නූලක් දිගට ඇදෙන්නේය. එහෙත් පැරකුම් උකු කිරිවල එසේ නූලක් දිගට ඇදුණේ නැත්තේ ඒවා ඒ තරමට උකු බවින් යුතු ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනයක් වූ නිසාය. ඒ කාලයේ හෝටල්වලින් කිරි තේ එකක් ඉල්ලූ විට ලැබුණේ ටිං කිරි කළවම් කළ තේය.

පො‍ළොන්නරුවේ පැරකුම් උකු කිරි කම්හල ආරම්භ වූයේ 1968 අවුරුද්දේය. ආහාර හා කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ පිහිටුවා ලූ එම කම්හල ඉන්පසු ජාතික කිරි මණ්ඩලයට භාරදෙනු ලැබුවේය. එම ව්‍යාපෘතිය ආරම්භ වූයේ නවසීලන්ත රජයෙන් ලැබුණු පවුම් ලක්ෂයක ආධාරයක් යටතේය. එය විවෘත කළේ එවකට අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමාය. දිනකට කිරි ලීටර 40,000ක් උකු කිරි බවට පෙරලීමේ ධාරිතාවක් එම කම්හලට තිබුණ අතර කම්හලේ කටයුතු දිවා රූ දෙකේම සිදුවූයේය. අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, ත්‍රිකුණාමලය ආදී ආසන්න දිස්ත්‍රික්ක සියල්ලේම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලින් එකතු කළ අමු කිරි එකතු වූයේ මෙම උකුකිරි කම්හලටයි. සුදු පාට ලේබලයේ කළු පාටින් පැරකුම් උකු කිරි ටින් එකේ පැරකුම්බා රුව ඇඳ තිබිණි. ටින් කිරි ටින් එකේ කිරිවල බර ග්‍රෑම් 525කි.

හැට ගණන්වල අග භාගයේ හෙවත් 1969 වර්ෂයේ මිනිසා සඳ මත පා තැබීම, මිනිස් වර්ගයා ඉදිරියට තැබූ යෝධ පිම්මක් ලෙස සැළකේ. එදා නීල් ආම්ස්ට්‍රෝං, එඩ්වින් ඕල්ඩ්‍රින්, මයිකල් කොලීන්ස් යන තිදෙනා මොලොවින් පිටත්ව ගියේ ඇපලෝ 11 යානයෙනි. සඳ ගමන සමරනු වස් ඒ කාලයේ මෙරට ඉපදෙන දරුවන්ට පරාක්‍රමබාහු යන නම තබන ලෙස අයෙක් යෝජනා කළෝය. පරාක්‍රම බාහු යන්නේ අර්ථය ආම්ස්ට්‍රෝං බව ඔවුහු පැහැදිලි කළහ. ආම්ස්ට්‍රෝං යන්නේ ඇත්තේ Strong Arms යන අරුතම බව ඔවුහු කීහ. Strong යන්නේ අරුත බල පරාක්‍රමයයි. Arms යන්නෙන් අත් පා හෙවත් බාහු යන අර්ථය ගෙනේ. එබැවින් ආම්ස්ට්‍රෝං යන්නට ලැබුණේ පරාක්‍රමබාහු යන අර්ථයයි.

පැරකුම්බා රජුගෙන් මෙම ලිපියට ප්‍රවේශය ලැබුවද සැබවින්ම මෙම ලිපියේ අරමුණ වූයේ හැට හැත්තෑ ගණන්වල ජනප්‍රිය වෙළඳ ලකුණු ගැන කීමය. පැරකුම්බා වෙළෙඳ නාමය ඒ අතර කැපී පෙනෙන්නක් විය.

අතීතය මතක් කරන්නේ යටගියාව මතක් කරමින් සුන්දරත්වයේ ගිලෙන්නටම නොවේ. සිද්ධි විකාශනය වටහා ගැනීම සෑම විෂයකදීම කළ යුත්තකි. අතීත සිහින දකිමින් නොඉඳ පැහැබර අනාගතයකට යන්නට සිද්ධි විකාශනය හෙළිකිරීම උදෙසා අතීතය සිහිපත් කළෙමි.

 සමන් පුෂ්ප ලියනගේ

 

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00