2021 ජුලි 17 වන සෙනසුරාදා

තාත්තා - මස්සිනා එකතුවෙලා මගේ සැමියා මරා දැම්මා...

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 138

“නංගිලාගේ ගෙවල් පැත්තෙන් කවුරුහරි කෑගහනවා ඇහුණා... මම ඒ පැත්ත බලද්දි දැක්කා මගේ මහත්තයාට මහත්තයාගේ තාත්තයි මස්සිනයි දෙන්නා පොලුවලින් ගහනවා. මම අඬාගෙන ගිහින් වැඳලා කිව්වා අනේ ගහන්න එපා කියලා... මගේ ලොකු දුවත් අනේ සීයේ තාත්තට ගහන්න එපා කීවා.. ඒත් අපි දෙන්නම පැත්තකට තල්ලු කරලා මහත්තයාට ගැහුවා. ඒ ගමන්ම මහත්තයාගේ නංගි ඇවිත් අපි තල්ලු කරගෙන ගිහින් කාමරේට දාලා දොර වැහුවා...”

සිය ආදරණීය සැමියාට කළ අමානුෂික පහරදීම සියැසින් දැක එම පහරකෑමෙන්  සැමියා මරණයට පත්වීමෙන් දින විසි ගණනක බිළිඳියක හා තවත් කුඩා දියණියක සමඟ අසරණව සිටින බිරිය නිරෝෂා ප්‍රියදර්ශනී (26) එසේ පැවසුවාය.

සිය ලේ කිරි කර පෙවූ මවත් ඒ දරුවාට ජීවය දුන් පියාත් එම මව්පියන්ට දාව එක බඩවැල කඩාගෙන මෙලොව එළිය දුටු නැගණියත් එක් පසෙකට වී ඇගේ සැමියා ඇතුළු පිරිස එක්ව පොලු මුගුරුවලින් සිදු කළ අමානුෂික පහරදීම නිසා අහිංසක තරුණ පියකු මියයාම අහස පොළොව නුහුලන අපරාධයකි. මිනිපේ මහ ගොවි ජනපදයේ හසලක 7 ඇළ ප්‍රදේශයේදී පවුලේ කතාවක් හෝ ඉඩම් දේපොළ සම්බන්ධයෙන් වූ ආරවුලක් දුරදිග යාමෙන් වූ පහරදීම අවසානයේ දින 21ක් වයසේ පසුවූ බිළිඳියකගේ හා බහ තෝරන වියේ දැරියකගේ පියකු ජීවිතක්ෂයට පත්වීම අනුවේදනීය පුවතකි.

සිදුවීමෙන් ආදරණීය බිරියකගේ සැමියා මෙන්ම කිරිසප්පයකු ඇතුළු බහ තෝරන වියේ දැරියකගේ පියා මරණයට පත්වීම හරහා තවත් අන්ත අසරණ පවුලක කතාවක් ඇරඹී තිබේ. ලොව පාපතර ක්‍රියා අතර විරල සිදුවීමක් එසේ වාර්තා වෙද්දී ආනන්තරීය පාප කර්මයක් සිදු කළ පුත්‍රයකු පිළිබඳව කළුතර පලාතොට ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි. එනම් මත්ලෝලී පුතකු විසින් එල්ල කළ පොරෝ පහරකින් බරපතළ තුවාල ලබා ඔහුගේ මව ඝාතනය වීමය.

එකම පවුලේ මව, පියා හා නැගණිය ඇගේ සැමියා සමඟ එක්ව සිය සොහොයුරාට පහර දී ඝාතනය කිරීමට තරම් කුරිරු මානසිකත්වයක් ඇතිකර ගැනීම පසුපස සැඟවුණු අබිරහස් කතාවක් තිබේද? ඒ සම්බන්ධයෙන් විමර්ශන හසලක පොලීසිය විසින් සිදු කරනු ලබන අතර මෙකී අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ ඉකුත් 6 වැනිදා රාත්‍රී 7.30ට පමණය.

සුනිල් නිශ්ශංක 28 හැවිරිදිය. හසලක, 7 ඇළ, අංක 343 නිවෙසේ පදිංචිව සිටි ඔහු මීට වසර කිහිපයකට ඉහතදී හලාවත ප්‍රදේශයට ගොස් තිබුණේ රැකියාවක් සොයාගැනීමේ අරමුණිනි. වැඩි කලක් යන්නට මත්තෙන් තරුණියක හා හාදකමක් ඇතිකරගත් ඔහු ඇය හා විවාහ වී සිය නිවෙසේ පදිංචියට පැමිණියේය. ස්ථිර රැකියාවක් නොවූයෙන් අතට කීයක් හෝ ලැබෙන කුලියක් කරගෙන ජීවිකාව ගෙන ගිය නිශ්ශංකට ආර්ථික ප්‍රශ්න මදිවාට ගෙදර දොරේ පවුල් ප්‍රශ්නද එකිනෙක ගොඩනැගෙන්නට විය. අවසානයේ ඔහු බිරිය හා කල්ගෙවා තිබුණේ මහගෙදර පසුපසට වන්නට තිබූ කුඩා කාමරයකය.

පවුලේ අඩදබර මැද ජීවිකාව ගෙන ගිය නිශ්ශංක - නිරෝෂා යුවළට බහ තෝරන වියේ දැරියක සිටියත් ඔවුන් වෙසෙන පුංචි කාමරය ඔවුන් බාධාවක් කරගෙන නොතිබිණි. එහෙත් අලුත උපන් දැරිය එම පුංචි කාමරයේ තබාගෙන උයා පිහාගෙන කන්නට තරම් පහසුකමක් එහි නොවීය. එනිසාම මහගෙදර ඇතුළේ කාමරයක් දියණිය වෙනුවෙන් ලබා දෙන්නැයි ඉල්ලීමක් නිශ්ශංක විසින් මව්පියන්ගෙන් ඉල්ලා ඇතැයිද ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොතිබුණු බවද කියැවේ. එම අදහස් ප්‍රකාශ කිරීම හරහා පවුලට අලුතින් ආරවුලක් එක්වී ඇතැයිද පැවසේ.

පසුගිය 6 වැනිදා දවස ගෙවෙමින් තිබූ ගොම්මන් වේලාව තුළ මේ නිවෙසට මාරයා බැල්ම හෙළන බවක් කවුරුත් දැන නොසිටියහ. නිශ්ශංක කුමක් හෝ හේතුවකට ඔහුගේ නැගණියගේ නිවෙස දෙසට ගොස් තිබුණි. ඒ ඔහු පදිංචි නිවෙසට යාබද ගෙදරටය. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් පිරිසක් අතර ඝෝෂාවක් ඇසෙන්නට විය. ශබ්දය ආ දෙස සෝදිසි කර තිබූ නිරෝෂා දැක තිබුණේ සිය සැමියාගේ පියා, මව, නැගණිය හා ඇයගේ සැමියා තම ස්වාමිපුරුෂයාට පොලු මුගුරුවලින් රැගෙන පහරදෙන බවකි.

එම සිදුවීම නිරෝෂා මහත්මිය මෙසේ විස්තර කළාය.

''මහත්තයාගේ නංගිලා ගෙවල් පැත්තෙන් කවුරුහරි කෑගහනවා ඇහුණා. මම ඒ පැත්ත බලද්දි මගේ මහත්තයාට තාත්තයි මස්සිනයි පොලුවලින් ගහනවා. මම අඬාගෙන ගිහින් වැඳලා කිව්වා අනේ ගහන්න එපා කියලා. මගේ ලොකු දුවත් ඇවිත් අනේ සීයේ තාත්තට ගහන්න එපා කීවා. ඒත් අපි දෙන්නම පැත්තකට තල්ලු කරලා මහත්තයාට ගැහුවා.''

මේ අතර සිය ස්වාමියාගේ නැගණිය පැමිණ නිරෝෂා තල්ලු කරගෙන ගොස් කාමරයට දමා දොර වැසූ බවද ඉන් පසුව වූ යමක් නොදුටු බවද ඇය කීවාය. ටික වේලාවකට පසුව ගමේ අසල්වැසි කාන්තාවක පැමිණ දොර විවෘත කර ඇති අතර එළියට පැමිණ බලන විට පහර කෑ සිය ස්වාමිපුරුෂයා බිම වැටී සිටි බවත් එහිදී ඔහු බීමට වතුර ඉල්ලා සිටි බවත් ඇය පැවසුවාය.

“බිම වැටිලා හිටපු මහත්තයා බොන්න වතුර ඉල්ලුවා. ගමේ මල්ලි කෙනකුගේ උදව්වෙන් එයාට වතුර පෙව්වා. පස්සෙ ඒ මල්ලි පොලීසියෙ 119 අංකයට කතා කරලා කීවා. ටික වෙලාවකට පස්සෙ තමයි පොලීසිය ආවේ. ඒ වෙද්දිත් අමාරුවෙන් හිටපු මහත්තයා හසලක රෝහලට ගෙන ගියා. පස්සෙ මහියංගණ රෝහලටත් එතනින් බදුල්ල රෝහලටත් රැගෙන ගියා කීවා. දවසකට පස්සෙ 8 වැනිදා ආරංචි වුණා මගේ මහත්තයා මියගියා කියලා.” ඇය පැවසුවාය.

මෙසේ සිදුවීම විස්තර කරන නිරෝෂා ප්‍රියදර්ශනී මහත්මිය සැමියාගේ වියෝවෙන් කම්පාවට පත්ව සිය දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන්ද බියෙන් පසුවෙයි. පවතින වාතාවරණය යටතේ ඉදිරියට තමාට හා දරුවන්ට එම නිවෙසේ ජීවත්වීමට තරම් සුදුසු පරිසරයක් නැති බවද ඇය පැවසුවාය.

“මගේ පවුලේ මමයි අම්මයි විතරයි හිටියේ. තාත්තා නෑ. සහෝදර සහෝදරියො කවුරුත් නෑ. අම්මා අංශභාගෙ ලෙඩෙක්. එයා ඥාති ගෙදරක නැවතිලා ඉන්නවා. මට දරුවො එක්ක ජීවත් වෙන්න ක්‍රමයක් ආදායමක් නෑ. අපි මහපාරට වැටෙයි. මහත්තයා මරපු චෝදනාවට තාත්තයි, අම්මයි, නංගියි එයාගෙ මහත්තයයි රිමාන්ඩ් කරලා ඉන්නේ. ඒ අය ආවාම මටත් මොකුත් කරයි කියලා බය හිතෙනවා. අපි තුන්දෙනාට යන්න එන්න තැනක් නෑ. පුළුවන්කමක් තියෙන කාරැණික කෙනකුගෙන් මම ඉල්ලා සිටින්නේ ළමයි දෙන්නා ටිකක් ලොකු වෙලා මට රස්සාවකට යන්න පුළුවන් වෙනකම් ඉන්න තැනක් ලබාදෙන්න කියලයි.” නිරෝෂා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

සිද්ධියෙන් මරණයට පත්වූ නිශ්ශංකගේ දේහය එම නිවෙසට රැගෙන යාමට ගම්මුන් විරුද්ධ වී තිබුණේ නිවැසියන්ගේ අවකල් ක්‍රියාවට විරෝධය පළ කිරීමටය. ඔවුන්ගේ මැදිහත්වීමෙන් ගමේ ප්‍රජා ශාලාවේ දේහය තැන්පත් කර අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සලස්වා තිබිණි. ඒ අතර ඒකරාශී වූ ගම්වාසීන් සිදුවීමට එරෙහිව නිහඬ උද්ඝෝෂණයක් එම ස්ථානයේ පවත්වා තිබිණි.

මේ අතර මත්ලෝලී පුතකු විසින් සිය මෑණියන්ට පොරෝ පහරක් එල්ල කිරීමෙන් ඇය ජීවිතක්ෂයට පත්වූ පුවතක් වාර්තා වූයේ කළුතර පලාතොට ප්‍රදේශයෙනි. එසේ මියගොස් තිබුණේ 73 හැවිරිදි බෙත්මගේ දෝන අනුලා නැමැත්තියකි.
පසුගිය ජූනි 17 වැනිදා පස්වරුවේ පහරකෑමට ලක්වූ කාන්තාව ඇගේ සහෝදරියක සමඟ මුළුතැන්ගෙයි කතාබහක නිරත වී සිටියාය. හදිසියේම එහි පැමිණි අනුලා මහත්මියගේ පුත්‍රයා මව හා වාදයක පැටලී තිබිණි. සැණෙකින් කුස්සිය මුල්ලක තිබූ පොරව අතට ගෙන වැරෙන් පහරක් ගසා ඇති අතර එම පහර හිසට වැදී ඇය සිහිසුන්ව බිම වැටුණාය. බියට පත්වූ පුත්‍රයා එතැනින් දුව ගොස් තිබූ අතර ඥාතීන් එක්ව කාන්තාව නාගොඩ රෝහලට ඇතුළත් කර තිබිණි. මේ අතර සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිලි කර තිබුණේ සිදුවීම සියැසින් දුටු සෝමාවතී පෙරේරා මහත්මිය විසිනි.

අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ ඇය කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබූ අතර දින 25ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 12 වැනිදා ඇය මියගොස් තිබුණි.

මවට පොරෝ පහර එල්ල කළ පුත්‍රයා 46 හැවිරිදිය. ඔහු තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවකු වශයෙන් වාර්තා වුවද එය අසත්‍යයකි. මොහු මානසික ආබාධයකින් පෙළෙන්නකු බවද වසර දහයක පමණ සිට ප්‍රතිකාර ලබන බවද පොලීසිය පවසයි. මේ අතර පැවති සංචරණ සීමා හේතුවෙන් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර මගහැරී ඇතැයිද කියැවේ. එවැනි පසුබිමක ක්ෂණික කෝපය නිසා මෙම පහරදීම සිදුව ඇතැයිද වාර්තා වේ.

මෙම සිදුවීම පිළිබඳව කළුතර මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති සුනෙත් ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. උපුල් සමින්ද, උප පොලිස් පරීක්ෂක මීගහවත්ත, පොලිස් සැරයන්වරුන් වන 64407 අමරනාත්, 39077 චන්ද්‍රරත්න, 7859 ප්‍රියදර්ශන සහ පොලිස් කොස්තාපල් 76034 ගයාන් යන නිලධාරීහු විමර්ශන සිදු කරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00