2021 ජුලි 17 වන සෙනසුරාදා

මොකක්ද මේ ලැම්ඩා ප්‍රභේදය!

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 101

ලොවපුරා මේ වනවිට විවිධ වෙනස්කම් සහිත නව කොවිඩ් වෛරස මාදිලි වාර්තා වීම ඉහළ ගොස් තිබේ. අලුතෙන්ම ආ ප්‍රභේද 7ක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් සතියේ නිල වශයෙන් ලෝකයට කීවේ ඒවා අවදානමක් සහිත කාණ්ඩය යටතේ වර්ග කරමිනි. මේ ප්‍රභේද අතරින් ලැම්ඩා ලෙස නම් ලද ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දැඩිව පැතිර යාමේ හැකියාවක් වර්ධනය කරගෙන ඇති බව ඔවුන් පෙන්වා දී තිබුණි.

චීනයෙන් ඇරඹුණු කොවිඩ් 19 හෙවත් SARS-CoV-2 වෛරසයේ වල් දර්ශය හෙවත් ස්වභාවික වෛරසය විපරීතයන්ට ලක්වීමෙන් වෛරස මාදිලි ගණනාවක් ප්‍රතිපල වී තිබුණි. මුල් දර්ශයට වඩා දැඩි හානියක් ගෙන එන බවට ලෝකයම භීතියෙන් තැති ගැන්වූ ඩෙල්ටා ප්‍රහේදය පසුගිය වසරෙ ඔක්තෝබරයේදී ඉන්දියාවෙන් සොයාගත් අතර එය පසුගිය ජූලි 04 වනවිට රටවල් 104කට ව්‍යප්තව ගියේය. දෙසතියකට වරක් දෙගුණ වන බව කියන මේ වෛරසය එතෙක් පැවති ඇල්ෆා ප්‍රභේදයට වඩා සියයට 40-60 දක්වා ඉහළ සීඝ්‍රතාවකින් පැතිර යන බව සනාථ විය. කොවිඩ් ගැන නැවතත් ලෝකයාම දැඩිව සිතන්නට මේ නව මාදිලියට හැකි විය.

මේ අතර පේරැ රාජ්‍යයෙන් නව වෛරස මාදිලියක් සොයාගත් අතර එය ඩෙල්ටා පරදන වේගයකින් පැතිරෙන බව සනාථ වූයේ මේ වනවිට එක්සත් රාජධානිය ඇතුළු රටවල් 30 කින් පමණ වාර්තා වීමත් සමගිනි.

ඇත්තෙන්ම පසුගිය 2020 වසරෙහි මුලින්ම වාර්තා වී ඇති මෙම ප්‍රභේදය පිළිබඳව අලුත් කතාබහක් ඇති වූයේ පේරු දේශයෙන් වාර්තා වෙන අධික කොවිඩ් මරණ ප්‍රතිශතයට  එම ප්‍රභේදය මූලික හේතුවක් විය හැකි බවට එරට සෞඛ්‍ය අංශ සැක පළකිරීමත් සමගිනි. ඒ සමගම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ නව ප්‍රභේදය ලැම්ඩා (Lambda) ලෙස නම් කරන ලද අතර එය අවදානමක් සහිත (variant of Interest) වෛරස කාණ්ඩයක් ලෙස නම් කරන්නට යෙදුණි. ඒ වර්ග කිරීමත් සමගම ලොවපුරා ඒ පිළිබඳ දැඩි අවදානයක් දැන් යොමු වෙමින් පවතී.

වාසනාවකට මෙන් කොවිඩ් - 19 ඇති කරන, විකෘති වයිරස ප්‍රභේද දෙකක් වන ඇල්ෆා සහ ඩෙල්ටා පිළිබඳ අපට අත්දැකීම් තිබුණත් තවමත් මෙම ලැම්ඩා ප්‍රභේදය අපේ රටෙන් වාර්තා වී නැත.

දැනට අප රටෙහි පැතිරෙමින් පවතින ඇල්ෆා සහ ඩෙල්ටා ප්‍රභේද අයත් වන්නේ, ලැම්ඩා ප්‍රභේදය දැනට ගොනුකර තිබෙන කාණ්ඩයට වඩා වැඩි තීව්‍රතාවකින් යුතු වයිරස ප්‍රභේද ගොනුකර ඇති, දැඩි අවධානයක් යොමුකළ යුතු, (variant of concern)  කාණ්ඩයටයි.

පසුගිය ජූලි 06 වැනි දින වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ප‍්‍රභේදය ඇතුළත් කර තිබුණේ අවදානමක් ඇති කිරීමේ විභවයක් සහිත වයිරස ඇතුළත් කාණ්ඩයටය. මෙය ලැම්ඩා යන ග‍්‍රීක අක්ෂරය යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජූනි 14 වැනි දින අදාළ කාණ්ඩයට පළමුවරට ඇතුළත් කරන ලදි.

චීනයෙන් බිහි වූ මුල් වයිරසයට සාපේක්ෂව ඉහළ සම් ප්‍රේෂ්‍යතාවක් මේ සතුවද ඇතැයි විද්‍යාඥයෝ අනුමාන කරති. එහෙත් මේ බැව් සනාථ කිරීමට අධ්‍යයන දත්ත දැනට ප‍්‍රමාණවත් නැත. 2020 දෙසැම්බර් 20 වැනිදා මුල්වරට පේරු රාජ්‍යයෙන් වාර්තා වූ මෙය එරට ප‍්‍රමුඛතම ප‍්‍රභේදය බවට පත් විය. චිලී, ඉක්වදෝරය, ආජන්ටිනාව වැනි තවත් දකුණු ඇමෙරිකානු රටවල් කිහිපයකටද එක්සත් රාජධානිය, ප‍්‍රංශය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් කිහිපයකටද, ඕස් ට්‍රේලියාවටද පසුව එය ව්‍යාප්ත විය. එක්සත් රාජධානියෙන් තවමත් වාර්තා වී ඇත්තේ 6 දෙනකු පමණක් වන අතර ඔවුන් සියලු දෙනා සංචාරකයන්ය.

ඉන්දියාවෙන් හෝ අප රට ඇතුළු අවට රටකින් හෝ මේ සටහන තබන මොහොත දක්වා මෙය වාර්තා වී නොතිබිණි. ආසියා කලාපයේ මෙය වාර්තා වී තිබුණේ ඊශ‍්‍රායලයෙන් පමණි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලැම්ඩා ප‍්‍රභේදයෙහි ස්පයික් ප්‍රෝටීනයට අදාළ කැපී පෙනෙන ජාන විකෘති අඩු තරමින් හතක් සිදු වී තිබේ. (ඩෙල්ටා ප‍්‍රභේදයෙහි සිදු වී ඇත්තේ මෙවැනි විකෘති තුනක් පමණි) මෑතදී චිලී රාජ්‍යයෙහි සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ ඇල්ෆා හා ගැමා ප‍්‍රභේදවලට සාපේක්ෂව ලැම්ඩා සතුව ඉහළ ආසාදන හැකියාවක් ඇති බවය. චීනයේ සිනොවැක් එන්නතෙහි මේ වයිරසයට එරෙහි කාර්යක්ෂමතාව අඩු මට්ටමක පවතින බවද එම අධ්‍යයනයෙන් පෙනී ගොස් තිබිණි.

කෙසේ වෙතත් ලැම්ඩා ප‍්‍රභේදයේ හැසිරීම සම්බන්ධව දැනට පවතින දත්ත ප‍්‍රමාණවත් නැති බවත් වැඩිදුර අධ්‍යයන සිදු කරගෙන යන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අනුව පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට වරින් වර, සමහර රටවල් සහ ප්‍රදේශවල රෝගීන් පොකුරු ඇතිවීම සඳහා හේතු වූ ලැම්ඩා ප්‍රභේදයෙහි සමස්ත බලපෑම කෙබඳුදැයි අනුමාන කිරීම සඳහා සම්පුර්ණ දත්ත තවමත් අප සතුව නොමැත. ඊට අදාළ පර් යේෂණ මේ මොහොත වනවිටත් සිදුකෙරෙයි.

මෙතෙක් නව කොවිඩ් වයිරස ප්‍රභේදවලින් ප්‍රවේශම් වීමට අප භාවිත කළ නිවැරැදි මුහුණු ආවරණ භාවිතය, පුද්ගල දුරස්ථභාවය සහ නිතර දෑත් පිරිසුදු කර ගැනීම මෙම ලැම්ඩා ප්‍රභේදයෙනුත් අපට ආරක්ෂාව සලසා ගත හැකි උපක්‍රමයන් බව සෞඛ්‍ය මාර්ගෝපදේශ තහවුරු කරයි.

විවිධ එන්නත් වර්ගවලට මෙම නව ප්‍රභේදයෙන් අපව ආරක්ෂා කර ගැනීමට කෙබඳු  හැකියාවක් ඇතිද යන්න පිළිබඳවද  තවම පර් යේෂණ සිදුවෙමින් පවතියි. එසේ වුවද, එන්නත්කරණය කෙරෙහි තවදුරටත් විශ්වාසය තැබිය හැකි බව දැනට අප සතු දත්ත අනුව සනාථ වී තිබේ.

 සුගත් පී. කුලතුංගආරච්චි