2021 ජුලි 10 වන සෙනසුරාදා

මේ කවුද? මොනවද කළේ?

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 234

බැසිල් රාජපක්ෂ යනු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් අමාත්‍යවරයායි. රට හමුවේ ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය තිබේ. බැසිල් රාජපක්ෂ කුමක් කරනු ඇද්ද? එය සැබවින්ම අපට අනාවැකි කිව නොහැකි දෙයකි. එමනිසාම බැසිල් පාර්ලිමේන්තු ආගමන සහ බැසිල් රාජපක්ෂ දේශපාලන ඉතිහාසය පිරික්සා බැලීමට මෙය අවස්ථාවක් කරගමු. බැසිල් රාජපක්ෂ දේශපාලන පෙරළිය පිළිබඳ දළ අවබෝධ ඔබට අවබෝධයක් ලබා ගැනීමට හැකිවන්නේ එවිටය.

බැසිල් රාජපක්ෂ යනු ආදි ආනන්දියෙකි. කෙසේ නමුත්  අනෙක් රාජපක්ෂවරුන්ට සාපේක්ෂව බැසිල්ගේ දේශපාලන ඉතිහාසය පෙරළිකාර එකක්විය. ඔහු දේශපාලනයට අත්පොත් තබන්නේ සිය සහෝදරයන් ලෙසින්ම ශ්‍රීලනිප ඇසුරේය. බැසිල් රාජපක්ෂ 1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මුල්කිරිගල ඡන්ද බල පෙදෙසට තරග කළේය. එහෙත් එම මැතිවරණයෙන් ඔහුට අත්වූයේ පරාජයකි. පසුව බැසිල්ගේ දේශපාලනය අනෙකුත් රාජපක්ෂවරුන්ට වඩා වෙනස් මගක් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට 1991දී ගෙන ආ දෝෂාභියෝගය බිඳවැටීමෙන් පසු බැසිල් රාජපක්ෂද රට හැර ගියේය. එය බැසිල් රාජපක්ෂ චරිතයේ වෙනම කියවා ගත යුතු භූමිකාවකි.

අප අද කතාකරන බැසිල් රාජපක්ෂ නම් චරිතය නැවත  දේශපාලන කරළියට පැමිණෙන්නේ 2005 වසරේ පැවති ජනාධිපතිවරණයේදීය. එය ඉතා තරගකාරී ජනාධිපතිවරණයක් වූ අතර බැසිල් රාජපක්ෂ එවක අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක ව්‍යාපෘතියට උර දුන්නේය. මහින්ද රාජපක්ෂ නම් ප්‍රතිරෑපය ජන මනස තුළ නිර්මාණය කිරීමෙහිලා ඔහු සුවිශේෂී දායක්ත්වයක් දක්වන ලදී. මෙම ජනාධිපතිවරණයෙන් තියුණු ජයග්‍රහණයක් මහින්ද රාජපක්ෂ මහතා ලබන විට බැසිල් රාජපක්ෂ එහි සුවිශේෂී කොටස්කරුවෙක් වී සිටියේ තිරය පිටුපස ප්‍රධාන භූමිකාවක් රඟ දක්වමිනි. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ වෙත 2005 දී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් පිරිනමන ලදී. එයින් නොනැවතුණු මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙසද පත්කර ගත්තේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ මෙහෙයුම්වල ක්‍රමයෙන් නැගී එන චරිතය බවට බැසිල් රාජපක්ෂ පවත්වන්නේ මෙම වකවානුවේය. ඒ අතර අමාත්‍ය ධුරයක් නොතිබුණද සිය සංවිධාන ශක්තිය භාවිත කරමින් බැසිල් රාජපක්ෂ පක්ෂයේ ඉහළ සිට පහළට සිය මෙහෙයුම් යාන්ත්‍රණය දියත් කරමින් සිටියේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධය අවසන් කරන අභියෝග බාරගන්නා විට ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා ලේකම්වරයා ලෙස සුවිශේෂී මෙහෙවරක් කරමින් සිටියේය. ඒ අතර බැසිල් රාජපක්ෂහට රටේ ආර්ථික කළමනාකරණය කෙරෙහි මැදිහත්වන්නට සිදුවිය. රටේ බිහිසුණු යුද්ධයක් පැවතියද මහින්ද රාජපක්ෂ රජය අර්ථික වශයෙන් අගාදයට නොවැටී තබා ගැනීමට බැසිල් රාජපක්ෂ සුවිශේෂී දායකත්වයක් සපයන ලදී. එසේම ඉන්දියානු සාධකය කළමනාකරණය කර ගැනීමටත් යුද්ධය අවශ්‍ය ජාත්‍යන්තර සහාය ලබා ගැනීමටත් ඔහු දායක විය.

2009 වසරේදී යුද්ධය ජයගන්නා විට මහින්ද රාජපක්ෂ රජය ඉතිහාසයේ පෙර නොවූ විරෑ ජනප්‍රසාදයක් අත්කර ගත්තේය. එහෙත් 2010 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ඓතිහාසික අභියෝගයක් රුගෙන ආවේය. යුද්ධය අවසන් කිරීමට දායක් වූ යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂකයා විය. ඉතා සරලව ලබාගැනීමට තිබූ ජයග්‍රහණය අසීරු වන බව පෙනී ගියේය. ඒ වනවිට මැතිවරණය මෙහෙයවීමේ කටයුත්තේ ප්‍රවීණයකු වී සිටි බැසිල් රාජපක්ෂ නැවත කරළියට පැමිණියේය. ඔහු එවර සූක්ෂම ලෙස මහින්ද රාජපක්ෂ ප්‍රතිරෑපය ආරක්ෂා කර ගැනීමට උත්සුක වූ අතර පක්ෂයේ බිම් මට්ටම දක්වා තමා එලා තිබූ දැල භාවිත කරන්නට විය. සරත් ෆොන්සේකා නම් චරිතය කෙරෙහි වූ ජනප්‍රසාදය බිඳ දැමීමට එය හේතුවක් විය. අවසානයේ එම ජනාධිපතිවරණයද මහින්ද රාජපක්ෂ පහසුවෙන් ජයග්‍රහණය කළේය.

අනතුරුව බැසිල් රාජපක්ෂ 2010 මහමැතිවරණයට ගම්පහ දිස්ත්‍රිකයයෙන් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදුණු හෙතෙම ඉතිහාසගත ලෙස මනාප ඡන්ද ලක්ෂ 4කට වඩා ලබා ගනිමින් තමා ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂී චරිතයක් බව ඔප්පු කර පෙන්නුවේය. මැතිවරණ තරග කරන අතරේම බැසිල් මැතිවරණ සංවිධනය ශක්තිය ඔහු රටපුරා විහිදුවා හැරියේ ජනාධිපතිවරණයේ අත්දැකීම්ද සමගිනි. එහි ප්‍රතිඵලය වූයේ සමානුපාතික මැතිවරණ ක්‍රමයක් තුළ එතෙක් ලබාගත් විශාල ජයග්‍රහණය ශ්‍රී ලංකා නිසහස් පක්ෂ සතුවීමයි. මෙවර බැසිල්ගේ වික්‍රමයට තිළිණ ලැබුණේ රටේ බලවත්ම අමාත්‍ය ධූරයයි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නමින් අලුතින් පිහිටවූ එම අමාත්‍යාංශය ආණ්ඩුකරණයේ බලවත්ම අමාත්‍යංශයක් වූයේය. බැසිල් රාජපක්ෂ ඒ අනුව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාට පවා දෙවැනි නොවන බලයක් හොබවන්නට විය. සෙසු ඇමතිවරුන්ට ප්‍රතිපාදන වෙනුවෙන් බැසිල් ළඟට යාමට සිදුවිය.

මේ අතර බැසිල්ගේ ව්‍යාපෘති වූ ගම නැඟුම, දිවි නැඟුම ආදී ව්‍යාපෘති බිම් මට්ටමේ දේශපාලනය ශක්තිමත් කළේය. ඒ අතර මෙරට ඉතිහාසයේ දැවැන්තම ව්‍යාපෘති ලෙස සැලකෙන දක්ෂිණ අධිවේගී මාර්ගය, මත්තල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ සුවිශේෂී දායක්ත්වයක් සැපයුවේය. කෙසේ නමුත් 2010න් පසු ආණ්ඩුව අභ්‍යන්තරයේ පිටතට නොපෙන විරෝධයක් බැසිල් රාජපක්ෂ වෙත මැතුවිය.  ඇතැම් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු බැසිල්ගේ නැගී සිටීමට අකමැති වූ අතර බැසිල්ට යටත් වීමට අකමැති වූහ. එහෙත් කිසිවෙක් තම අභිප්‍රායන් ප්‍රකාශ කරන්න නොගියහ. ඊට හේතුව මහින්ද රාජපක්ෂ ප්‍රතිරෑපයේ බලවත් බවම විය. මේ අතර ආණ්ඩුව දූෂිත බව කියමින් විපක්ෂය ජනමතයක් නිර්මාණය කරන්නට විය. බැසිල් රාජපක්ෂ එහි ප්‍රධාන ගොදුර වූ අතර 2014 වනවිට තත්ත්වය භයානක විය. උපක්‍රමශීලී වූ විපක්ෂ ශ්‍රිලනිප අභ්‍යන්තර අර්බුදයෙන් ප්‍රයෝජන ගත්තේය. මෙවර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන විය. බැසිල් රාජපක්ෂ නැවත මැතිවරණ මෙහෙයුම දියත් කළේය. නමුත් එවර තත්ත්වය ඉලක්කය වැරුදී ගියේය. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරාජය විය.

බැසිල්ගේ දේශපාලන කතාවේ දුර්භික්ෂ සමය එළඹියේය. ඔහු ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව ගියේය. ඒ වනවිටත් ශ්‍රීලනිප බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහී යමින් තිබුණි. මහින්ද රාජපක්ෂ පරාජයේ වගකීම බැසිල් රාජපක්ෂ වෙත පැවරීම බොහෝ දෙනෙක් උත්සුක වූහ. බැසිල් පලාගිය බව ඇතැමුන්ගේ මතය විය. බැසිල් රාජපක්ෂ හට නඩු වැටුණි. ඒවා දරුණු වන බවට පෙරමඟ ලකුණු තිබුණි. බැසිල් නොඑන බව සමහරුන් කියද්දී බැසිල් රාජපක්ෂ නැවත ලංකාවට පැමිණියේය. එවර ඔහුට නිදහසේ සැලසුමක් සකසන්නට කාලයක් නොලැබුණි. බැසිල් අත්අඩංගුවට පත් වූ අතර ඔහු බන්ධනාගාර ගත කෙරුණි. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලනිප සභාපතිත්වයද අතහැර දමා තිබුණි. කෙසේ නමුත් යහපාලන ආණ්ඩුවද අභ්‍යන්තර අර්බුද රුසක පැටලී සිටියේය. මහින්ද රාජපක්ෂ දේශපාලනයට ගෙන ඒමට විමල් උදය වාසු දිනේෂ් වෙල්ගම ඇතුළු කණ්ඩායම නැවත වැඩ පටන්ගෙන තිබුණි. ඔවුහු මහින්ද රාජපක්ෂ ප්‍රතිරෑපය නැවත එසවීමේ මෙහෙයුම ආරම්භ කළහ.

ශ්‍රීලනිපයෙන් බිඳී පිරිසක් ඒකාබද්ධ විපක්ෂ නිර්මාණය කරගන්නා ලදී. ශ්‍රීලනිපයේ තැනක් ඔවුන්ට නැති වී ගියේය. බැසිල් රාජපක්ෂ මෙම කාලය වනවිට පොදුජන පෙරමුණ නිර්මාණය සඳහා දායක වූ අතර එහෙත් එහි සමාජිකත්වය ගැනීමට වඩා මන්ත්‍රී කණ්ඩායම උත්සහා කළේ ශ්‍රීලනිප අත්පත් කර ගැනීමටයි. නමුත් 2018 වනවිට එම කටයුත්ත අසාර්ථක වී තිබුණි. 2018 වසරේදී පොදුජන පෙරමුණ මැතිවරණ කරළියට අවතීර්ණ විය. බැසිල් රාජපක්ෂ ඉතා සියුම් ලෙස ශ්‍රීනිපය දියකර හැර ග්‍රාමීය දේශපාලන බලය අත්පත් කරගෙන තිබුණි. එම නිසාම ඓතිහාසික ජයග්‍රහණයක් 2018 පළාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුවට හිමිවිය. බැසිල් නැවතත් කරළියට ආවේය. බැසිල් පිළිබඳ විශ්වාස තබන්නට හැකි බව අවබෝධ කරගත් ශ්‍රීලනිප අගිස්සේ සිටි පිරිසත් පොදුජන පෙරමුණට එක්වූ අතර බැසිල්ගේ දේශපාලන ව්‍යාපෘතිය විසින් යහපාලන ආණ්ඩුව දියකර හරිනු ලැබුවේය.

2019 ජනාධිපතිවරණය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කරන විට සියලු පිඹුරුපත් සකසා බැසිල් මැතිවරණ මෙහෙයවීම ඇරඹුවේය. මහින්ද රාජපක්ෂ නම් දැවැන්න ප්‍රතිරෑපය සෙවණේ බැසිල් ඇඳි සැලසුම් සාර්ථක වූ අයුරු අපි දුටුවෙමු. ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු බැසිල් රාජපක්ෂ වෙනුවෙන් විශේෂිත කාර්යසාධක බළකායක් ස්ථාපිත කොට ඔහුට විශාල බලයක් ලබා දුන්නේය. මේ අතර 2020 මහ මැතිවරණයේදී බැසිල් සිය වාර්තාව අලුත් කරමින් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට සමත් විය. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හේතුකොටගෙන බැසිල් රාජපක්ෂහට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වූයේය. බැසිල් පාර්ලිමේන්තු ආයුතු බව පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් බහුතරයකයේ විශ්වාස විය. 20 වැනි සංශෝධනයෙන් බැසිල්ගේ බාධාව ඉවත්ව ගියේය. එහෙත් මේ වනවිට ආණ්ඩුවේ සුළු පක්ෂ සහ පොදුජන පෙරමුණ අතර මත ගැටුම් නිර්මාණය වී තිබුණි. ඊට හේතුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධව කරුණ විය. එම නිසාම බැසිල් හදිස්සි නොවී බලා සිටියේය. අවසානයේ ඔහුගේ අවස්ථාව ඔහුට ලැබුණි. ඊට අවශ්‍ය පසුබිමක නිර්මාණය වී තිබුණි.

කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ අතට ලැබුණේ නැවත ප්‍රශ්න කන්දකි. කොවිඩ් වසංගතය ආර්ථික අර්බුදය ජනතාව සහන සියල්ල සියල්ල දැන් ඔහු මතය. ණය ගෙවා ගැනීමට ඩොලර් සොයා ගත යුතුව තිබේ. කර්මාන්ත රුසක් සම්පූර්ණයෙන් බිඳ වැටී ඇත. ආර්ථික ප්‍රතිපත්ති මත ජාත්‍යන්තර දේශපාලන අර්බුද පැන නගිමින් පවතී. එහෙත් බැසිල් රාජපක්ෂ පිළිබඳ පොදුජන පෙරමුණ අපේක්ෂාව මේ සියල්ලටම වඩා ඉහළය. එය සුවිසල් බලාපොරොත්තුවකි. කෙසේ නමුත් පක්ෂ දේශපාලනයද සංකීර්ණ වෙමින් තිබේ. බැසිල් රාජපක්ෂ සුළු පක්ෂද කළමනාකරණය කරගත යුතුය. ආණ්ඩුව එක මිටකට තබා ගැනීමට පහසු නැත. ආණ්ඩුව තුළම ඔහුට විරුද්ධවාදීන් සිටින බව පසුගිය සමයේ පෙනී ගියේය. විපක්ෂයද සිය විරෝධය පුළුල් කර තිබේ. ඉතින් දැන් පක්ෂ දේශපාලන භූමිකා සමග ජාතික දේශපාලන භූමිකාව බැසිල් ජයගත යුතුව ඇත. අපි එය බලා සිටිමු.

 චමිඳු නිසල් ද සිල්වා

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, ප.ව. 05:16
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00