2021 ජුලි 10 වන සෙනසුරාදා

රත්රන් මාකට් එක හබක්!

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 692

රත්රන් ආනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් අද වන විට වෙළෙඳපොළේ රත්රන්වල දැඩි හිඟයක් පවතින බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.

“කාලයක සිට රත්රන් ආනයනය කරන්න දෙන්නේ නැහැ. රත්රන් ආනයනය කිරීම සඳහා දෙන්නේ නැති නිසා මේ වෙළෙඳපොළේ පවතින්නේ කාලයක සිට වෙළෙඳපොළේ ඇති රත්රන් පමණයි. රත්රන් ආනයනය කරන්නේ නැති නිසා අවශ්‍ය කරන රත්රන්වල හිඟයක් පවතිනවා.” යැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ සභාපති ඒ. විජයකුමාර් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

රත්රන් ආනයනය කිරීමක් නොවන නිසා පාරිභෝගිකයන් විසින් ඇණවුම් කරනු ලබන රන් ආභරණ නිසි පරිදි කඩිනමින් නිෂ්පාදනය කිරීමට නොහැකි වීමෙන් මොවුහු දැඩි අපහසුතාවයකට මුහුණ දී සිටිති.

“ස්වර්ණාභරණ නිෂ්පාදකවරුන් රට පුරාම සිටිනවා. අප සංගමයේ පන්සීයක් පමණ පිරිසක් ලියාපදිංචි වෙලා සිටිනවා. මේ හැමෝම පසුවන්නේ දැඩි අපහසුතාවයකයි. මේ හැමෝටම රන් ආභරණ නිෂ්පාදනය කරන්නට රත්රන් නොමැති නිසා මේ කර්මාන්තය දැඩි ලෙස පාඩු ලබන කර්මාන්තයක් වෙලා.” යැයිද විජයකුමාර් මහතා වැඩිදුරටත් පැවසීය.

රත්රන් ආනයනයට සීමා පැනවීම මීට වසර කිහිපයකට පෙර සිටම සිදුවූවකි. රත්රන් සඳහා පනවා තිබූ 15%ක් වූ රේගු බද්ද මෑත කාලයේදී 5% දක්වා අඩු කළද රත්රන් ආනයනය නොවීම හේතුවෙන් බද්ද අඩු කිරීමෙන් කිසියම් වාසියක් නොලැබුණු බවද සංගමය කියයි.

කොවිඩ් වසංගතයත් සමඟ සෑම කර්මාන්තයක්ම දැඩි අසීරුතාවයට පත්වූවා සේම ආභරණ නිෂ්පාදකවරු සහ අලෙවිකරුවෝද මෙම අර්බුදකාරී තත්ත්වයට මුහුණ දුන්හ. වසර දෙකක කාලයක් තිස්සේ කොවිඩ් වසංගතයෙන් බැට කෑ ජනතාවට රත්රන් මිලදී ගැනීම කෙසේ වෙතත් අලුත් ඇඳුම් පැළඳුම් ගැනීමට පවා ආර්ථිකය සරු වූයේ නැත. මේ වන විටත් පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණද සංචරණ සීමා ඉවත් කෙරුණු ප්‍රදේශවල විවෘත වූ රත්රන් ආභරණ නිෂ්පාදකයන් හා අලෙවිකරුවන් හට තවමත් තම නිෂ්පාදන අලෙවි කිරීමට සුදුසු වටපිටාවක් ගොඩනැගී නැත.

“රත්රන් මිලදී ගන්න තවමත් මිනිසුන් එන්නේ නැහැ. කොවිඩ් නිසා අපි හැමෝටම අපේ ව්‍යාපාර කරගෙන යන්න පුළුවන් වාතාවරණයක් උදා වුණේ නැහැ. මැයි, ජූනි මාස විවාහ උත්සව වැඩිපුරම තියෙන කාලයයි. මාස ගණනාවක්ම විවාහ උත්සව ඇතුළු සියලුම උත්සව සැමරුම් නතර කිරීම නිසා අපිට විශාල පාඩුවක් සිදුවුණා. කඩ කුලී ගෙවන්න ඕනෙ, සේවකයන්ගේ වැටුප් ගෙවන්න ඕනෙ. ඒ හැමදේම කිසිම ලාභයක්  නැති නිසා කිසිම වෙළෙඳාමක් සිදු නොකොට මාස කිහිපයක්ම ගෙවා දමන්නට අපිට සිදු වුණා. මේ වන විට සංචරණ සීමා ඉවත්ව තිබුණත් පළාත් අතර සංචරණ සීමා තවමත් පනවා ඇති නිසා ගම්වල ඉන්න අය තවමත් රත්රන් මිලදී ගන්න කොළඹට එන්නේ නැහැ. තවමත් මිනිසුන්ට රත්රන් ගන්න මුදල් නැහැ.” විජයකුමාර් මහතා කියයි.
“මේක මුළු ලෝකයටම ඇතිවෙලා තියෙන ප්‍රශ්නයක්. නමුත් අපිට මේක තදින්ම දැනෙනවා. මේ කර්මාන්තය නිසා ජීවත් වන බොහෝ දෙනා මේ වන විටත් මේ කර්මාන්තයෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා ඉතා ඉක්මනින් රත්රන් ආනයනය කොට මෙම කර්මාන්තය නැවතත් මෙරට තුළ ඇති කරලන්න අවස්ථාව ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.” ඔහු කීය.

මේ දිනවල ජනතාව රත්රන් අලුතින් මිලදී ගන්නවා වෙනුවට මිලදී ගෙන තිබෙන රත්රන් උකස් කර මුදල් ගනිති. සංචරණ සීමා ඉවත් කොට රට විවෘත කිරීමත් සමඟම බොහෝ දෙනා පෝලිම්ගත වූයේ රන් බඩු උකස් මධ්‍යස්ථාන වෙතමය. මේ වන විට උකස් බඩු ගන්නා ස්ථාන නගරයක් ගමක් පාසා විවෘත වී ඇත. නමුත් ඒවායේ උකසට ලබාදෙන මුදල වුවද එකිනෙකට වෙනස්ය.

“බලපත්‍ර සහිත උකස් ගන්න ආයතන උකස් බේරාගැනීමට අවුරුද්දක් සහ මාසයක කාලයක් වෙන් කරනවා. ඒ කාලයට පසුව එම ආයතන උකස් හිමියන්ට ලිඛිතව දැනුම් දී ඔවුන්ට ඒ සම්බන්ධව දැනුවත් කරනවා. නමුත් මේ වන විට බලපත්‍ර නොමැති ඇතැමුන් රන් බඩු උකස් ගැනීමට ඉදිරිපත් වී සිටිනවා. මූල්‍ය ආයතන ලෙස ඇතැමුන් මෙම කටයුත්ත පවත්වාගෙන යනවා. ඔවුන් අපි ලබාදෙන මුදලට වඩා යම් වැඩි මුදලකට උකස් ලබාගන්නවා. නමුත් උකස බේරාගැනීම සඳහා ලබා දෙන්නේ ඉතා අඩු කාලසීමාවක්. ඒ හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් අඩු කාලයට වැඩි මුදලක් ලබාගත්තත් අවසානයේදී සිදුවන්නේ උකස් කළ ස්වර්ණාභරණ ඔවුන්ට අහිමිවීමයි. මිනිසුන්ට නොදැනෙන්න එවැනි ආයතන මිනිසුන්ගේම ස්වර්ණාභරණ අයිති කර ගන්නවා.” යැයිද විජයකුමාර් මහතා පැවසීය.

“මේ ගැටලුව අද ඊයෙක සිට ඇතිවුණු ගැටලුවක් නොවේ. රත්රන් මෙරටට නොගෙන්වීම හේතුවෙන් අපි විශාල ගැටලුවකට මුහුණදීලයි ඉන්නේ. ඒ අතරේ කොවිඩ් වසංගතය නිසාත් අපි තවත් ප්‍රශ්න රාශියකට මුහුණ දුන්නා. බොහෝ කර්මාන්ත නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබුණත් තවමත් අපිට නිසි වෙළෙඳාමක් කරගන්න බැරිවෙලා තියෙනවා. දේශීය නිෂ්පාදකයන් බොහෝ පිරිසක් මෙම කර්මාන්තයේ නියැලිලා ඉන්නවා.” යැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ ලේකම් රත්නාරාජා සරවමුත්තු මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ