2021 ජුනි 19 වන සෙනසුරාදා

ඩිලිවරියෙන් ගසාකන කාක්කෝ

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 133

කල දුටු කල වළ ඉහගන්නෝ ලොවේ සැමතැනම සිටිති. අප හෙළිදරව් කරන්නට සැරසෙන්නේ එවන් පිරිසක් පිළිබඳවය. මේ විමසීම ඩිලිවරි සේවාවන් පවත්වාගෙන යාමෙන් සංචරණ සීමා හමුවේ ජනතාව පෙළන වෙළෙඳුන් පිළිබඳවයි. වසංගතය නිසාවෙන් දහසකුත් අපහසුතාවන්ට පත් වී සිටින ජනතාව තවදුරටත් පීඩාවට පත්කරන මෙම ජාවාරම පිළිකුල් සහගතය.

මේ දිනවල වෙළඳසල් පවත්වාගෙන යාමට නොහැකි නිසා බොහෝ බලපත්‍රලාභී වෙළෙන්දෝ ජංගම වෙළඳාමේ නිරත වෙති. රජය විසින්ද අනුමත කර ඇති මෙම ක්‍රියාවලිය මේ මොහොතේ ඉතා ඵලදායීය. එසේ නමුත් ජංගම වෙළෙඳාම සිදුකරන ඇතැමුන් සිය භාණ්ඩ අලෙවි කරන්නේ අධික ලාභයක් තබා ගනිමිනි. විශේෂයෙන්ම එළවළු, පළතුරු, මාළු, මස්, කුළුබඩු ඇතුළු සිල්ලර භාණ්ඩවලින් ජංගම වෙළඳාමේ නිරතවන්නෝ මෙලෙස අධික ලාභ ලබන බව පෙනී යයි. රජය විසින් මිල පාලනයකට යටත් කළ භාණ්ඩ පවා මෙලෙස අධික මිල ගණන්වලට මහමඟ විකිණෙයි. රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන්ටද බොහෝවිට විකල්ප නොමැත. එම නිසාම ඔවුහු ජංගම වෙළෙන්දන්ගෙන් අධික මිල ගණන් යටතේ භාණ්ඩ මිලදී ගැනීමට පෙළඹෙති.

ජංගම වෙළෙඳාම සඳහා බලපත්‍ර ලබාදීමේදී අදාළ මිල ගණන් හෝ ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳ සලකා බැලීම සිදු නොවේ. එම නිසා එම අධික මිල සේම ගුණාත්මකභාවයෙන් තොර වූ භාණ්ඩද ජංගම වෙළෙඳාම හරහා විකිණීම සිදුවෙයි. ඩිලිවරි සේවාවන් හරහා පාර්සල් ලෙසින් සකසා එවන වියළි සලාකවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු රටේ බොහෝ ප්‍රදේශවලින් වාර්තාවේ. සුපිරි වෙළෙඳසල් සහ සතොස වැනි ආයතන සාපේක්ෂ උසස් සේවාවක් ලබාදුන්නද අවසරලත් වෙනත් සිල්ලර වෙළෙඳසල් මෙම අයථා කටයුතු සිදුකරන බව පෙනී යයි. සංචරණ සීමා උල්ලංඝනය කරමින් විවෘතව ඇති දිවයින පුරා ගම්මානවල ඇති කුඩා සිල්ලර වෙළෙඳසල් හිමියන්ද තමන්ගේ හිතුමනාපයට භාණ්ඩ මිල ගණන් වැඩිකරන බව දැන ගන්නට ලැබේ. කෙසේ වෙතත් මේ කිසිවකට එරෙහිව ක්‍රියාත්මක වීම වසංගතය හමුවේ පවතින්නේ අතිශය දුර්වල මට්ටමකය.

රටපුරා වෙළෙඳාම අඩාල වී ඇතත් පාරිභෝගික අධිකාරියට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව පසුගිය සතියේ වාර්තා විය. දිනකට දහසක් පමණ පැමිණිලි ලැබෙන බව අධිකාරිය හෙළිදරව් කරයි. ඒ අතරින් බහුතරය අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කිරීම් සහ ඒවායේ ප්‍රවහන ගාස්තු පිළිබඳවය. එසේම ඩිලිවරි සේවාවන්හි භාණ්ඩවල ගුණාත්මකභාවය අධික මිල ගණන් පිළිබඳව පැමිණිලි ලැබෙන බව කියැවේ. කෙසේ නමුත් මෙම අයථා අයකිරීම් සම්බන්ධව මේතාක් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වීමක් සිදු වී නොමැති බව පෙනී යයි. වසංගත තත්ත්වය හේතුවෙන් මෙම පැමිණිලි විභාග කිරීම සම්බන්ධව අපහසුතා පවතින බව සැබෑය. එසේ නමුත් නීතිය ක්‍රියාත්මක නොවීම හරහා අයථා ලෙස ලාභ උපයන වංචනික වෙළෙන්ඳන්ට රිසි සේ කටයුතු කිරීමට නිදහසක් මේ වනවිට ලැබී තිබේ. එය බරපතළ තත්වයකි.

මේ අතර සුපිරි වෙළඳසල් හරහා නිවෙසටම භාණ්ඩ ප්‍රවාහනය කරන කණ්ඩායම් විසින් කරන වංචාවන්ද හෙළිදරව් කළ යුතුය. සුපිරි වෙළෙඳසලක සිට මීටර් කිහිපයක් දුරකට භාණ්ඩ ගෙනැවිත් බාර දුන්නද ඔවුහු ඊට විශාල මුදලක් අය කරති. ඇතැම් තැන්වල වාර්තා වන පරිදි සුපිරි වෙළෙඳසලේ සිට එය ඉදිරිපිට නිවසකට භාණ්ඩ රුගෙන ඒමට පවා ඇතැම් ත්‍රිරෝද රථ රියැදුරෝ රුපියල් 200ක 300ක මුදලක් අය කරති. සුපිරි වෙළෙඳසල්වලට ඇතුළු වීමට තහනම් වූ විට එය ඉදිරිපිටට පැමිණෙන පුද්ගලයකුට අදාළ සුපිරි වෙළෙඳ සලෙන් බඩු භාණ්ඩ ලබා ගැනීමට උපකාර කරන මුවාවෙන් මෙම වංචාවේ නිරත වන පිරිස්ද සිටිති. කෙසේ වෙතත් මේ දක්වා මේ සම්බන්ධව කිසිදු බලධාරියෙක් අවධානය යොමුකොට නොමැති බව කිව යුතුමය. එසේම තම ලාභය පමණක් අපේක්ෂා කරන සුපිරි වෙළෙඳසල් හිමියෝද මෙම කටයුත්තට අනුබල ලබා දී නිහඬවම සිටිති.

මීට අමතරව වසංගත තත්ත්වය මත අන්තර්ජාල ගනුදෙනු සීඝ්‍ර වශයෙන් ඉහළ යන බව මේ වනවිට පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් මෙරට අන්තර්ජාල ගනුදෙනු සම්බන්ධව නීතිය ක්‍රියාත්මක අතිශයෙන් දුර්වලය. මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ භාණ්ඩ බෙදාහැරීමේදී මේ දිනවල වාර්තා වෙන වංචාවන් සම්බන්ධවද තත්ත්වය එසේමය. මේවා සම්බන්ධව නිසි නියාමනයක් සිදු නොවීම හේතුවෙන් මතුව ඇති ගැටලු රුසකි. පවතින තත්ත්වය මත ඕනෑම අයෙක්ට අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමට වර්තමානයේ හැකි වී තිබේ. ඒ නිසාම සමාජ ජාල ඇසුරුකොට ගෙනද මේ වනවිට ඩිලිවරි සේවාවන් ක්‍රියාත්මක වේ. ඇතැම් විට නීති විරෝධී ජාවාරම් වෙනුවෙන්ද මෙම සේවා භාවිතා වූ අවස්ථා පොලිස් වාර්තා පවා හෙළිකරයි. එම නිසාම මෙම තත්ත්වය පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුවීම මේ මොහොතේ අත්‍යන්තයෙන්ම වැදගත්ය.

මීට අමතරව මෙරට ප්‍රකට ඩිලිවරි ආයතන පවා මේ දිනවල තමන්ගේ සේවාවන් සැපයීම වෙනුවෙන් තරමක් විශාල මුදලක් අයකරන බව පෙනී යයි. අන්තර්ජාලය හරහා ඇණවුම් කළ භාණ්ඩ නිවසට ගෙන ඒමේදී ඒවායේ මිලට ප්‍රවාහන ගාස්තු එකතු වීමෙන් පාරිභෝගිකයන් අපහසුතාවයට ලක් වූ අවස්ථාද වාර්තා වෙයි. පවතින කොවිඩ් වාතාවරණය හේතුවෙන් මෙම තත්ත්වය සාධාරණීකරණය කරන්නට අදාළ සමාගම් හා ආයතන ඉදිරිපත් වෙයි. එහෙත් මෙම කටයුතු පාරිභෝගිකයන් නිසි ලෙස දැනුවත් කොට සිදුනොවීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතාවයන් පිළිබඳව එවැනි ආයතන වග නොවෙති. මේ අනුව ඩිලිවරි සේවා ආයතන මගින් පාරිභෝගිකයාගෙන් අධික මිල ගණන් අය කිරීම පිළිබඳව ලැබුණු පැමිණිලි හේතුවෙන් එම සේවාව නියාමනය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා උපදෙස් දී ඇති බව පසුගිය සතියේ වාර්තා විය.

කෙසේ නමුත් පාරිභෝගික අධිකාරිය පවසන්නේ තමන් මේ පිළිබඳව පූර්ණ අවධානයෙන් පසුවන බවයි. අයථා ලෙස ඩිලිවරි ගාස්තු අය කිරීමට එරෙහිව කටයුතු කිරීමටද සූදානමින් සිටින බව අධිකාරිය පවසයි. එසේම පාරිභෝගික කටයුතු අධිකාරියට මෙවන් අවස්ථාවලදී 1977 කෙටි දුරකථන මාර්ග ඔස්සේ ජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාවක් බවත් කියා තිබේ. එසේම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඩිලිවරි සේවා ආයතන ලියාපදිංචි කිරීම සහ මිල නියාමනය කරන බවත් එම ආයතන අයකරන කොමිස් සහ ප්‍රවාහන ගාස්තු පාලනය කරන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය නිවේදන කරයි. එසේම ශ්‍රී ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වන ප්‍රධානම ඩිලිවරි සේවා ආයතන දෙක සමගද පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශ සාකච්ඡා කර ඇති බවද කියැවේ.

මීට අමතරව වසංගත සමය තුළ පාරිභෝගිකයන් මුහුණ දී සිටින තවත් ගැටලු රාශියකි. මේ සියල්ලටම අදාළ අමාත්‍යංශය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කඩිනමින් මැදිහත් විය යුතුමය. මෙය කල දුටු කල වළ ඉහ ගන්නන්ට අවස්ථාව සලසා දිය යුතු මොහොතක් නොවේ. මෙරට බහුතරයක් දෙනා දෛනික ආදායම් ලබන්නෝය. එසේම වසංගත සමයේ බොහෝ පිරිසකගේ ගැටුම් කප්පාදුවීමක්ද සිදුව තිබේ. එවන් තත්ත්වයක් තුළ මේ ආකාරයට අයථා ලාභ ලබන්නන් නිසා පාරිභෝගිකයන් පීඩාවට පත්වීම ඛේදවාචකයකි. එය කොවිඩ් වසංගතය සේම බියකරු තත්ත්වයකි.

 චමිඳු නිසල් ද සිල්වා