2021 ජුනි 19 වන සෙනසුරාදා

තෙල් මිල නාටකය දැන් පෙන්වනවා!

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 185

මේ දවස්වල රටේ නැති මාතෘකාවක් නැත. සතියට එකක් නොව සතියට දෙක තුනක මාතෘකාවක් නොවරදවාම ලැබෙන තැනට මේ රට පත්ව ඇත. ඇතැම් ඒවා පුහු මාතෘකාය. ඇතැම් ඒවා රැල්ලට පැමිණි මාතෘකාය. තවත් ඒවා රඟපෑම්ය. මේ සියල්ල දකින ජනයා එකී මාතෘකාව සිද්ධිය පසුපස වේගයෙන් හඹා යන අතර අභ්‍යන්තරයේ බොහොමයක් කාරණා වෙනස් වී යන්නේ හීන් නූලෙන්ය.

කෙසේ වෙතත් මෙවැනිම මාතෘකාවක් පසුගියදා කරළියට ආවේ කවුරුත් සිතාගත නොහැකි මොහොතකය. ඒ බලශක්ති අමාත්‍යංශය මගින් කිසිවකු නොසිතූ විරෑ මොහොතක ඛනිජ තෙල්වල මිල ඉහළ දැමීමත් සමඟය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ තෙල් ඉහළ දැමීම පිළිබඳ නිවේදනය ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධ කරනු ලැබීය. මේ නිසා ජනතාවට කබලෙනුත් ළිපට වැටුණා හා සමාන හැඟීමක් ඇතිවීම ගැන පුදුමයක් නැත. බොහෝ අය ඊට විරෝධය පාමින් සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුව විවේචනය කිරීමට පටන් ගත්හ. ඒවා බරපතළ විවේචන විය. ඒ වෙන කිසිවක් නිසා නොව තෙල් මිල වැඩිවීම ජනතාවට දරාගැනීමට නොහැකි නිසාය.

කෙසේ වෙතත් ඒ සියල්ල උඩියටිකුරු කරමින් කතාව කනපිට හැරෙන්නේ ඊට පසු දිනයේය. එනම් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් විසින් නිකුත් කරන ලද නිවේදනයත් සමඟය. එම නිවේදනය උදය ගම්මන්පිල අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනය කර තිබුණේ ඔහු ජනතාවගේ ජීවන බර හඳුනා නොගත් අමාත්‍යවරයකු ලෙසටය. විශේෂයෙන් පැවති ආණ්ඩුවත් ඒ අකාරයෙන්ම කටයුතු කළ නිසා ජනතාවාදී ආණ්ඩුවක් පත්කරගත් බවත් එහෙත් ඒ ආණ්ඩුවත් එහි නායකයනුත් අපහසුතාවයට පත්කිරීමේ අදහසින් තෙල් මිල ඉහළ යැව්වාද යන්න ගැන පැහැදිලි සැකයක් පවතින බවත් ඔහු එහි සඳහන් කර තිබිණි.

මෙහි බරපතළම ප්‍රකාශය වන්නේ එහි අවසානයේ ලියා ඇති පරිච්ඡේදයයි.

විෂය භාර අමාත්‍යවරයා මෙයට සෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණයෙන් වගකීම බාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් අපි ප්‍රකාශ කරමු.

මේ අවසන් වාක්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විරුද්ධ පක්ෂයෙන් ඇසුණා නම් කිසිදු ප්‍රශ්නයක් නැත. එහෙත් තමන් නියෝජනය කරන සන්ධානයේ හවුල්කාර පක්ෂයේ මහ ලේකම්වරයා විසින් ඊටත් වඩා තමන් බලයට රුගෙන ආ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ ලේකම්වරයා විසින් ඉල්ලා අස්වෙන ලෙස දැනුම්දීම කෙතරම් සුබවාදීව අමාත්‍යවරයා දරාගත්තාද යන්න අප දන්නේ නැත. එහෙත් මෙය මෑත ඉතිහාසයේ අමාත්‍යවරයකුට එල්ලවුණු බරපතළ විරෝධය වන අතරම පක්ෂ ලේකම්වරයා එය දන්වා ඇත්තේ අපි යන බහු වචනයෙන් පක්ෂයේ සියලුදෙනාම නියෝජනය වන ආකාරයටය. ඒ නිසා ගම්මන්පිල අමාත්‍යවරයාට එම ප්‍රහාරය එල්ලවන්නේ සාමූහික වශයෙන් බව බැලූ බැල්මට පෙනෙන්න තිබෙන දෙයකි.

එම ලිපිය එදින දවස පුරාම ලොකුම මාතෘකාවක් වුණ අතර බොහෝදෙනා ඉන්ධන වැඩිකිරීමේ වේදනාව සමනය කරගත්තේ සාගර කාරියවසම්ගේ අභියෝගාත්මක ලිපියත් සමඟය. ඒ නිසා සැබෑ ප්‍රශ්නය යටගිය අතර සැබෑ ප්‍රශ්නය හරහා ඉස්මතු වුණු අලුත් ප්‍රශ්නය කරළියේ රඟ දෙන්නට විය. කෙසේ වෙතත් රාත්‍රිය වනවිට අභියෝගය එල්ල වූ ගම්මන්පිල අමාත්‍ය පාර්ශ්වයෙන්ද ඊට පිළිතුරක් ලැබිණි. එහිදී සඳහන් වූයේ අමාත්‍යවරයා ඊට පිළිතුරු ඊට පසුදින ලබාදෙන බවය. ඒ සමඟ මෙය මුහුණට මුහුණ ද්වන්ද සටනක් බවට පත්වෙන්නට විය. එවැනි තත්ත්වයකට පත්වෙනවාට වඩා සමාජය විසින් එවැනි තැනකට ප්‍රශ්නය කර තබාගෙන යන තැනට විය. ඒ සැබෑ අවුල මඟහරවා ගනිමිනි.

ඊට පසුදින උදාවිය. බොහෝදෙනා කතාවුණේ ගම්මන්පිල ඉවත්වෙනු ඇතැයි කියාය. තවත් අය කීවේ ගම්මන්පිල සුපුරුදු නූල් සූත්‍රය දමා මේ අභියෝගයෙන් කරඅරිනු ඇතැයි කියාය. මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරමින් මුහුණු ආවරණය ඉවත දමා මුහුණේ සිනහව පුරවාගත් ගම්මන්පිල මේ තෙල් ඉහළ නැංවීමේ කතාව ඇද බෑවේය. එහිදී ඔහු දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් සිදු කළේය. ජීවන වියදම් කමිටුවේ ඉල්ලීම මත මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නියෝග මත ජනාධිපතිවරයාත් දැනුවත්ව මෙම තෙල් ගාස්තු සංශෝධනය සිදුකළ බව අමාත්‍යවරයා කීය. ඒ නිසා තෙල් මිල වැඩිකිරීම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාත්, මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාත් අනුමැතිය දුන් බවත් ඒ අයට අනුව මිල වැඩි කළ බවත් කීය. ඒ නිසා සාගර කාරියවසම් මෙලෙස චෝදනා කරන්නේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට බව ඉතාම බොළඳ විහිළුවක් කරමින්, &මට බැන්නට ඕක වදින්නේ අරයලට* මෙන් හඟවමින් කතාව නිමා කළේය. සුපුරුදු පරිදි ලිස්සා යමින් අමාත්‍යධූරය රුකගත් ගම්මන්පිල සියලු චෝදනා නායකයන් දෙදෙනා වෙත වක්‍රාකාරයෙන් හරවා යැවීය.

මෙලෙස චෝදනාව මාරු කරන විට එක් පැත්තකින් නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය අමතමින් කීවේ බැසිල් රාජපක්ෂ මහතා සිටියා නම් මෙලෙස තෙල් වැඩි නොවන බවය. ඒ නිසා රජය ජනතාවගේ තත්ත්වය තේරුම් ගෙන තෙල් මිල ඉදිරියේදී සංශෝධනය කරන බවද ඔහු කීය.

කෙසේ වෙතත් සාගරගේ ලිපියට වඩා ගම්මන්පිලගේ ප්‍රකාශය ප්‍රබල වූයේ නැති බව සමහරු කීහ. මේ අතර බොහෝ දෙනා කීවේ මෙය බැසිල් රාජපක්ෂට එරෙහිව විමල්, උදය ඇතුළු කණ්ඩායම් එරෙහිව ගෙන ගිය විරෝධයේ මුෂ්ටි ප්‍රහාරයක් ලෙසය. විමල්ට පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් පළමු ප්‍රහාරය එල්ලවුණු අතර දැන් දෙවැනි ප්‍රහාරය ගම්මන්පිලට එල්ලවෙමින් පවතින බව බොහෝ දෙනා කීහ. එයට හේතුව විමල්ව ආරක්ෂා කිරීම සඳහා ගම්මන්පිල පසුගිය කාලයේ පෙරමුණ ගත් නිසාය. මේ අතර පසුගිය දිනෙක අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී කියා සිටියේ ගම්මන්පිල අමාත්‍යවරයගේ යම් හිත රිදවීමක් සිදුවුණා නම් එයට සමාව ඉල්ලන බවය.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් එම ඉන්ධන වැඩිකිරීම පිළිබඳ හේතු සාධක සහ එම ඉන්ධන වැඩිකිරීම පිටුපස සිටින කණ්ඩායම ගැන සඳහන් කර තිබිණි. එය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළ කරුණු කාරණාවලට සමාන විය. එසේම ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අටක් එක්ව නිවේදනයක් නිකුත් කරමින් සාගර කාරියවසම්ගේ චෝදනාවට උත්තර ලබාදී තිබුණේය. ඔවුන් සඳහන් කර සිටියේ කෙසේ තෙල් මිල වැඩිවීමේ චෝදනාව අමාත්‍යවරයාගේ කර මත දැමීම පිළිබඳව විරුද්ධවන බව කියාය. මේ එක්තරා කල්ලියක් විසින් සිදුකරන ක්‍රියාවක් බවද එහි සඳහන් කර තිබුණේය.

මේ ආකාරයෙන් ගම්මන්පිල හා සාගර කාරියවසම් අතර ඇති සීතල යුද්ධය පිළිබඳ බොහෝ දෙනා අර්ථකථනය කළේ බළලුන් ලවා කොස්ඇට බෑමේ ක්‍රියාවක් ලෙසටය. එය ආණ්ඩුවේ බෙදීම පෙන්වන අවස්ථවක් වශයෙන්ද සමහරු හැඳින්වූහ. එහෙත් පුදුමය නම් කිසිදු දේශපාලන කියවීමකින් තොරව සිටි විපක්ෂය මේ කතාවේ කෙළවරක සිට ගැනීමය. මේ වනවිට ඔවුන් ගම්මන්පිලට විරුද්ධව විස්වාභංගයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. ඒ අත්තනෝමතික ලෙස ඉන්ධන වැඩිකරමින් ජනතාව අපහසුතාවයට පත් කිරීම නිසාය. එහෙත් ඉන්ධන වැඩිකිරීම සම්බන්ධයෙන් වගකීම මුදල් අමාත්‍යංශය බාරගනිද්දී  විපක්ෂය එය මග හරිමින් ගම්මන්පිල අමාත්‍යවරයගේ කරේ එල්ලීම පුදුම සහගතය. ඒ නිසා දැන් ගම්මන්පිල අමාත්‍යවරයා වෙනුවෙන් ආණ්ඩුවේ සියලු දෙනා එකතුව විශ්වාසභංගයකට මුහුණ දීමට සූදානම්ව ඇත. සරලවම ගත්තොත් විපක්ෂය ආණ්ඩුවේ බෙදීම විසඳා හමාරය.

මේ සියල්ල එසේ සිදු වනවිට සාගර කාරියවසම් මන්ත්‍රීවරයා හදිසියේම මාධ්‍ය ඉදිරියේ පෙනී සිටිමින් කීවේ එදා ඉදිරිපත් කළ නිවේදනයේ ඇති ස්ථාවරයේ තවමත් තමාත් පක්ෂයත් සිටින බවය. පක්ෂයේ නයකත්වයෙන් විමසීමකින් තොරව සාගර කාරියවසම් මන්ත්‍රීවරයාට මෙලෙස නිවේදන නිකුත් කළ හැකිද? තමන්ගේ ආණ්ඩුවේ ආමාත්‍යවරු මෙන්ම තමන්ගේ පක්ෂයේ නායකයාගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකුට පක්ෂ නායකයාගේ දැනුවත්කමකින් තොරව එම නිවේදන නිකුත් කර ඇත්නම් සාගර වන්නේ ලැබෙන දඬුවම කුමක්ද? එයට පිළිතුරු තවමත් දන්නේ නැත. මේ හැලහැප්පීම අභිරහසක් වී ඇත. එකී අභිරහස හමුවේ තෙල් මිල ඉහළ යාම පිළිබඳ කතාව අඩියේම සැඟවී ගොස් ඇත.

 ගයාන් ගාල්ලගේ