2021 ජුනි 12 වන සෙනසුරාදා

ජපානයේ ස්මාට් ටොයෝටා නගරය

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:01 54

රථ වාහන නිෂ්පාදනයේදී ටොයෝටා සලකුණ අන්තර් ජාතික සන්නාමයකි. එක් දහස් නවසිය තිස් ගණන්වලදී ආරම්භ කරන ලද රථවාහන නිෂ්පාදන කාර්ය විවිධ මංපෙත් පසුකර බහු ජාතික සමාගමක නොයෙක් නිපැයුම් කරන තැනකට පැමිණ තිබේ. ආදායම පැත්තෙන් සලකනවිට ලෝකයේ දහවැනි තැනට පත්ව සිටින සමාගම වන අතර කාර්ය මණ්ඩලය තුන් ලක්ෂ හැට හතර දහස ඉක්මවයි. පසුගිය වසරේ දත්ත සමග සසඳන විට ටොයෝටා සමාගම ලෝකයේ විශාලතම රථවාහන නිෂ්පාදකයා බවටද පත්ව සිටී. තාක්ෂණය අතින් ඉදිරියටම පැමිණ සිටින අතර රියැදුරන් රහිත ස්වයංක‍්‍රීය වාහන වාණිජ වශයෙන් නිෂ්පාදනයද අරඹා තිබේ.

අලුත්ම වාර්තා දක්වන තොරතුර අනෙකකි. හෙළිදරව් කරන අන්දමට ටොයෝටා සමාගම ස්මාට් නගරයක් ඉදිකරන තීරණයක් ගෙන තිබේ. ජපානයේ තෝකියෝ නගරයට සැතපුම් හැටක් ඔබ්බෙන් පිහිටි ප‍්‍රදේශයක් තෝරාගෙන ඇති ටොයොටා සමාගම එහි ඉතාම නවීන ස්මාට් නගරයක් ඉදිකරන සැලසුමක් සකස් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සම්බන්ධ තොරතුරු ඇමරිකාවේදී හෙළිදරව් කර ඇත. ලාස්වේගාස් හි පැවැති පාරිභෝගික විදුලිය මෙවලම් සම්බන්ධ නව නිෂ්පාදන ප‍්‍රදර්ශනයකදී ස්මාට් නගර සංකල්පය අනාවරණය කර ඇත. ජීවත්වන විද්‍යාගාරයක් වශයෙන් නම් කරන මෙම නවීනතම නගරය අනාගතයේදී ලෝකයේ දියුණුව මැනැවින් විද්‍යමාන කරන වැදගත් පියවරකි. සියලුම ආකාරයේ අලුත්ම සොයා ගැනීම් මෙම ස්මාට් නගරයේදී පළමුවෙන් අත්හදා බලනු ඇත. පර්යේෂණවල නිරත විද්‍යාඥයන්ට, ඉන්ජිනේරුවන්ට ස්වකීය සිහින නිපැයුම් මෙහි ගෙනැවිත් සැබෑවක් කරගන්නා ලෙස දැනටමත් ටොයෝටා සමාගමේ ප‍්‍රධානීහු නිල වශයෙන් ආරාධනා කර තිබේ. එය නවීනතම තාක්ෂණය සහ පරිගණක මෘදුකාංග භාවිතයේ විස්මිත පියවරක ආරම්භයක් වනු ඇතැයි සැලකේ. ස්වභාවිකත්වයට හානියක් නොවන පරිදි, විශේෂයෙන් පරිසරය ආරක්ෂාවන අතර වාරයේ අනාගතය සැලසුම් කරන ස්මාට් නගරයක් වශයෙන්ද හඳුන්වා දෙන්නට සැලසුම් ශිල්පීහු තීරණය කර ඇත.

සියලුම ගොඩනැගිලි හා රථවාහන සෙන්සර් එනම් දියුණු සංවේදක මෙවලම් භාවිතා කරන එකිනෙක හා සම්බන්ධ කෙරේ. එමගින් හුවමාරු වන දත්ත සැබෑ ස්වභාවය විසි හතර පැය තුළ නිරීක්ෂණය වනු ඇත. සියලුම ආපදා සහ අනතුරු වළක්වන ක්ෂණික පියවර එයට ඇතුළත්ය. කෘත්‍රිම බුද්ධිය සියලු අවශ්‍යතා හසුරවනු ඇති අතර ඒවා අවශ්‍ය පරිදි තීරණ ගැනෙන බලසම්පන්න පරිගණක පද්ධතිවලට සම්බන්ධය. බලශක්තිය, ජලය, ප‍්‍රවාහනය වැනි පොදු පහසුකම් හසුරුවන වගකීම මෙම කෘත්‍රිම බුද්ධියට පවරා තිබේ. ටොයොටා සමාගමේ වාහන නිපදවන පැරණි කම්හලක් තිබුණ අක්කර එකසිය හැත්තෑ පහක භූමියක් මෙකී නවීන ස්මාට් නගරය ඉදිකිරීමට තෝරාගෙන ඇත. 

දශක ගණනකට කලින් සිට ජාත්‍යන්තර ප‍්‍රජාව ස්මාට් නගර ගැන අවධානයක් යොමු කර සිටි අතර අධික ජනගහනයක් සහිත ප‍්‍රදේශ හඳුනාගෙන ඉතාම ඉක්මනින් මහජන අවශ්‍යතා සපුරන පියවර ගැනීම ස්මාට් සංකල්පයට ඇතුළත්කර තිබුණි. විදුලිය බෙදාහැරීම, ජල පරිභෝජනය, මගී ප‍්‍රවාහනය වැනි දෑ පාලනය කරන අතර ඒවා ඉතාම ක‍්‍රමානුකූල සැලැස්මකට නතු කිරීම මුලින් අදහස් කර ගෙන තිබුණි. නගරවල ආරක්ෂාව සහ ජනතාවගේ දේපොල සුරක්ෂිත කරනු සඳහා පුද්ගලයන් හඳුනාගත හැකි කැමරා සවි කිරීමද එයට සම්බන්ධිතය. නමුත් ටොයෝටා ස්මාට් නගරය එයටත් එහා ගිය ඉතාම දියුණු පියවරකි. සම්පූර්ණයෙන්ම ස්වයං ක‍්‍රියාකාරීය. අනෙක පරිසර හානිය බිංදුවකි. කිසිම ආකාරයකින් වායු දූෂණයක් නැත.

ස්මාට් නගරයේ සියලුම වාහන රියැදුරන් රහිතය. මාර්ග තුනක් ඉදිකෙරේ. එකක් ජනතාවට ඇවිදගෙන යෑම සඳහා පමණකි. අනෙක පාපැදිවලටය. තුන්වැනි මාර්ගය රථ වාහන වන අතර එහි ඇතුළු කළ හැකි රියැදුරන් රහිත වාහන පමණකි. නගරය බලගැන්වෙන්නේ සූර්ය බලය හෝ හයිඩ‍්‍රජන් භාවිතයෙන්ය. සන්නිවේදන කුලුනු හෝ නිවාසවලට රුහැන් සහිත දුරකතන සැපයුමක් නැත. විදුලිය හා ජලය පවා පොළොව යටින් ගෙනයන ක‍්‍රම දියුණු කර තිබේ. එමගින් ස්වභාවික පරිසරයේ දී දැකිය හැකි අක‍්‍රමවත් බව තුරන් කර ඇත. අනෙක භාණ්ඩ ප‍්‍රවාහනය වෙනුවෙන් වෙනම විද්‍යුත් පරිපථ සැලසුම් කර තිබේ. ගොඩනැගිලි ඉතාම සැහැල්ලු ද්‍රව්‍යවලින් ඉදිකරන අතර ඒවා ගෝලීය උණුසුම ඇති කරන්නට හේතු නොවන තාක්ෂණික ක‍්‍රම අනුව සකස් වෙයි. පළමුවෙන් දෙදහසක පමණ පිරිසක් මෙම නගරයේ වාසස්ථානයට තෝරා ගැනීමට නියමිතය. ස්මාට් නගරයේ ඉදිකිරීම් කරන, එහි පර් යේෂණවලට දායකවන ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් පළමු පුරවැසියන් විය හැකි යැයි සැලකේ. සාමාන්‍යයෙන් පවුල් තුන්සිය පනහ පිරිසක් අයත් වනු ඇත. මෙම සියලුම දෙනාගේ ජීවිත වල පැවැත්මට හවුල් වන ඉතාම දියුණු රොබෝවරු සිය ගණනක් ස්මාට් නගරය පුරා සේවයේ නිරත කෙරේ. දවස පුරා ස්වයංක‍්‍රියව මෙහෙයැවෙන අතර අවශ්‍යතා පරිදි ජනතාවට සහායවීම මෙම රොබෝවරුන්ගේ වගකීම වනු ඇතැයි සඳහන්ය. 

සැලසුම හදන, නව නිර්මාණ ගැන වෙහෙසෙන ජපන් ස්මාට් නගරයට ලොව පුරා අවධානය යොමු වී තිබේ. ලෝකයේ නොයෙක් තැන්වල ස්මාට් නගර ඉදිකරදෙන සේ ඇනවුම් ලැබී තිබේ. තවමත් මෙම ජාලය පුළුල් කරන අදහසක් නැත. පළමුවෙන් තෝකියෝ නගරයට නුදුරින් ඉදිකරන අතර එහි සාර්ථකත්වය මැන බලනු ඇත. පරිසරය ආරක්ෂා කරන අතර එයින් ජන ජීවිතය ගොඩනගන පියවර තුළ පැන නැගෙන අලුත් ව්‍යුහය දෙස අවධානය යොමු කළ යුතුය. එය අලුත් අත්දැකීමකි.

මෙම ලිපිය ගැන ඔබගේ අදහස email@milinda.org ලිපිනයට එවන්නේ නම් අගය කරමි.

මිලින්ද මොරගොඩ