2021 මැයි 29 වන සෙනසුරාදා

මංගල රජකමට: වස්තිලා පිටුපස්සේ

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 357

හිටපු අමාත්‍ය මංගල සමරවීර පසුගියදා යූ ටියුබ් වීඩියෝවක නළුවෙක් බවට පත්විය. දේශපාලන භූමිකාවෙන් ඉක්බිති මංගලගේ මෙම නව රංඟ භූමිකාව පිළිබඳව වූයේ සුවිසල් කතාබහකි. එම නිසාම මංගල පිළිබඳව සහ ඔහු සහභාගි වූ වීඩියෝව පිළිබඳව අපි සැකෙවින් විමසා බැලීමට තීරණය කළෙමු.

මංගල සමරවීරගේ ඉතිහාසය පිළිබඳව බොහෝදෙනා දන්නා බැවින් අපි ඒ සම්බන්ධව පුළුල් විමසුමක් කිරීමට මැලිවෙමු. එහෙත් ප්‍රවේශයක් ලෙස සැ‍කෙවින් මංගලගේ ගමන පිළිබඳව අප සිහිපත් කළ යුතුය. මංගල පින්සිරි සමරවීර උපන්නේ 1956 දී මාතරදීය. හෙතෙම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජයේ පළාත් පාලන, නිවාස, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ලෙස සිටි මහානාම සමරවීර හා මාතර නගර සභාවේ සාමාජිකයකු වූ කේමා සමරවීරගේත් පුත්‍රයාය. ඔහු ලන්ඩනයේ ශාන්ත මාර්ටින් කලා පාසලේ ඇඳුම් පැළඳුම් නිර්මාණය හා තාක්ෂණ පිළිබඳ උසස් අධ්‍යාපනය හදාරා තිබේ. 1983 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සංවිධායක සංවිධායකවරයා ලෙස දේශපාලනයට පිවිසෙන මංගල සමරවීර 1989දී පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්වූයේද මාතර දිස්ත්‍රික්කයෙනි.

මංගල සමරවීරගේ දේශපාලනය මෙන්ම ජීවිතයද සම්මතය බිඳ දමමින් ඉදිරියට ඇදීගිය එකකි. පසුගියදා සටහන් වූයේ එහි එක්තරා සංධිස්ථානයකි. ඒ අනුව යූ ටියුබ් සමාජ මාධ්‍යයේ අතිශ්‍රය ජනප්‍රිය ලාංකික යූ ටියුබ් නාළිකාවක් වන “වස්ති ප්‍රඩක්ෂන්ස්” නිර්මාණයක් ලෙස මැයි 19 දින පළකර තිබූ “ලයිට් උපාලි” වීඩියෝවේ හිටපු අමාත්‍ය මංගල සමරවීර රංගනයෙන් දායක වූයේය. ජවනිකා කිහිපයකට පමණක් සීමා වූවත් මංගල සමරවීරගේ මෙම භූමිකාව මෙම වීඩියෝවේ කැපී පෙනෙන අංගය බවට පත්විය.

මෙය සමාජ මාධ්‍ය භාවිතාව පිළිබඳ උත්ප්‍රාසාත්මකව නිර්මාණය වූ වීඩියෝවකි. එසේම මෙහි යම් දේශපාලනික සංස්කෘතික උත්ප්‍රාසයක් ගැබ්ව තිබුණි. අනුෂ්ක උදාන විසින් අධ්‍යක්ෂණය කළ මෙම වීඩියෝව ඉහළ ප්‍රමිතියකින් යුතුව අධික පිරිවැයක් දරා නිෂ්පාදනය කර ඇත. මෙරට ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනෙක්ද මීට රංගන දායකත්වය සැපයූ අතර මෙය නව සමාජ මාධ්‍ය ප්‍රවර්ධන වීඩියෝවක්ද විය. මෙහිදී මංගල සමරවීර පණ පෙව්වේ මංගල මහරජ නම් චරිතයටය. මංගල මහරජ ටික් ටොක් ලෝලියකු වූ අතර සමාජ ජාල තහනම් කළ උපාලි මහ රජුට විරුද්ධව යුධ ප්‍රකාශ කළේය.

සැබැවින්ම මංගල සමරවීර යනු ටික් ටොක් සමාජ ජාලයේ සාමාජිකයෙකි. රටපුරා ටික් ටොක් පිළිබඳව අප්‍රමාණ විවේචන ඇතත් මංගල ටික් ටොක් තුළින් යම් වින්දනයක් ලබන බව පෙනෙන්නට තිබේ. තරුණ තරුණියන් අතර ප්‍රකට සමාජ ජාල යෙදවුමක් වන ටික් ටොක් (Tik Tok) වෙත වීඩියෝ සැලකිය යුතු ප්‍රමාණයක් මංගල සමරවීර විසින් මුදාහැර ඇත. ඉන් තමන් තරුණ මානසිකත්වයක් අපේක්ෂා කරන බව එක් වීඩියෝවකට සටහනක් තබමින් මංගල සමරවීර මහතා කියා සිටියි. එම නිසාම වස්ති වීඩියෝව තුළ මංගල සමරවීර ටික් ටොක් වෙනුවෙන් පෙනී සිටීම වඩාත් තාත්වික බව පෙනී යයි.

ආරම්භයේදී මෙම වීඩියෝව සඳහා රංගන දායකත්වය ලබාදීමට අපේක්ෂාවෙන් සිටියේ රංජන් රන්ජන් රාමනායක බව කියවේ. කෙසේ වෙතත් ඔහු සිරගත වීමත් සමඟ මංගල සමරවීර හට මෙම ආරාධනය ලැබී ඇත. මෙම වීඩියෝවේ අධ්‍යක්ෂ අනුෂ්ක උදාන සාරවිට වෙබ් අඩවියට මේ සම්බන්ධව හෙළිදරව් කර තිබුණි. රන්ජන් රාමනායක වෙනුවට විවිධ චරිත තමන්ගේ කල්පනාවට ආ බව එහිදී ඔහු සඳහන් කර ඇත. ඒ අතර මංගල සමරවීර මහතා ටික් ටොක් කරනවා දැක තිබූ නිසාත් ඔහු ටික් ටොක් කිරීමෙන් සැහැල්ලුවක් භුක්ති විඳින බවද කියා තිබූ නිසාත් එම චරිතයට මංගල සමරවීර මහතා සුදුසු යැයි තමන් සිතූ බව අනුෂ්ක කියා තිබුණි.

මංගල සමරවීර මහතාගේ ලේකම්වරයකු හරහා ඔහු සම්බන්ධ කරගෙන ඔහුට පිටපත ලබාදීමෙන් අනතුරුව එම චරිතයට රංගනයෙන් දායකවීමට ඔහු එකඟ වූ බව ඒ අනුව කියැවේ. අනුෂ්ක උදානට අනුව මංගල සමරවීර යනු උපහාසය සහ අපහාසය වෙන්කර හඳුනා ගැනීමට සමත් අයෙකි. කෙසේ වෙතත් මෙම රංගනය සැබවින්ම මංගල සමරවීර හට අභියෝගයක් වන්නට ඇත. මක්නිසාදයත් මංගල සමරවීර මෙවන් රංග භාවිතයක් තුළ සිටි බව කිසිදු සාක්ෂියක් ඔහුගේ ඉතිහාසයෙන් අපට හමු නොවීමය. එසේම රජුන් තනන්නකු ලෙස මෙරට දේශපාලනයේ ප්‍රකටව සිටි මංගල සමරවීර රජකුට ඇඳීමද මෙම වීඩියෝවේ සුවිශේෂී සිදුවීමක් විය.

ටික් ටොක් යනු මෙරට තාරුණ්‍යයෙන් සැලකිය යුතු පිරිසක් ප්‍රබල ලෙස ග්‍රහණය කර ගෙන ඇති මාධ්‍යයකි. එම නිසාම නාමල් රාජපක්ෂ වැනි දේශපාලන චරිත පවා ටික්ටොක් භාවිත කරන බව පෙනී යයි. කෙසේ වෙතත් අමාත්‍ය නාමල් රාජපක්ෂද මංගල සමරවීරගේ රංගනය පිළිබඳ සමාජ මාධ්‍යයේ අපූරු සටහනක් තබා තිබුණි. “මම ඔබව සැමවිටම සලකන්නේ ලංකාවේ වඩාත්ම උපාය මාර්ගික දේශපාලන මනසක් ඇති අයෙකු ලෙසයි. අවසාන අදියරේදී අපට විවිධ මත තිබුණත් දේශපාලනය පසෙකට දැමුවහොත් ඔබ මෙතරම් ශ්‍රේෂ්ඨ නළුවෙකු බව මා දැන සිටියේ නැත!"

කෙසේ වෙතත් මෙම වීඩියෝවට මේ වනවිට මිලියන තුනකට අධික නැරඹුම් වාර ප්‍රමාණයක් ලැබී තිබේ. මෙම වීඩියෝව මුදාහරින්නට පෙර ඊට විරුද්ධව කටයුතු කළ පාර්ශ්වද කිහිපයකි. ඩෑන් ප්‍රියසාද් නැමැත්තා මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුට පවා පැමිණිලි කළේය. මෙම වීඩියෝව හරහා සිංහල බෞද්ධ සංස්කෘතියට අපහාසයක් වන බව ඔහු කියා සිටියේය. "වස්තිලව තුම්මං හන්දිගානේ වස්ති කරවනවා අපිට අහුවෙන්න එපා" යැයි ඩෑන් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනු අසන්නට ලැබුණි. කෙසේ වෙතත් මේ වනවිට එම සියලුම විරෝධයන් දිය වී ගොස් ඇති බව පෙනී යයි.

අවසානයේදී අප මෙම නිර්මාණය පිළිබඳ විචාරයක් හෝ ඇදහීමක් සටහන් කිරීමට උත්සාහ නොකරමු. කාලයත් සමඟ මෙය යූ ටියුබ් භාවිතය තුළ තවත් එක් වීඩියෝවක් පමණක් වීමට ඉඩ තිබේ. එහෙත් මංගල සමරවීර නම් ලාංකික දේශපාලනයේ ඉතිහාසගත චරිතය සම්බන්ධව අනාගතයේදී විමසා බලන දිනක මෙම වීඩියෝව සුවිශේෂී පරිච්ඡේදයක් වනු නොඅනුමානය.

 චමිඳු නිසල් ද සිල්වා