2021 මැයි 29 වන සෙනසුරාදා

ගොවියොත් ධීවරයොත් අමාරුවේ දැමූ එළවළු-මාළු මිල

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

රටපුරා සංචාරණ සීමා පනවා ඇති පසුබිමක බඩුමිල නිසාවෙන්ද ජනතාව පීඩාවට පත්වී සිටින බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම එළවළු සහ මාළු මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එහෙත් බඩු මිල ඉහළ යාම නිසා තමන් පීඩාවට පත්වී සිටින බව වත් කියන්නට ජනතාවට අවකාශයක් නොමැත. දෛනික වැටුපකින් ජීවත් වූ බොහෝ පවුල් මෙම තත්ත්වය මත විශාල අර්බුදයක් කරා ගමන් කරමින් සිටිති. තවත් පසකින් මිල ගණන් ඉහළ යාම පාලනය කිරීමට ආණ්ඩුවද අසමත් වී ඇත්තේ පවතින කොවිඩ් අර්බුදය හමුවේය. එම නිසාම එළවළු, මාළු මිල ගණන් න්‍යාය මෙවරද කාගේදැයි නිශ්චිතවම කීම පහසු නැත. එහෙත් මීට හේතු වූ කරුණු කාරණා සොයා බැලීමට අප තීරණය කළෙමු.

දෛනික ආහාර වේලට මාළු එකතු කර ගැනීම වර්තමානයේ පහසු කටයුත්තක් නොවේ. ඊට හේතුව මාළු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබීමයි. අප ධීවර කර්මාන්තය ආශ්‍රිතව සිදුකළ සොයා බැලීමට අනුව මීට හේතුවී ඇති කරුණු කිහිපයකි. ධීවරයන්ට අනුව සිංහල අලුත් අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන වෙසක් මාසය තුළ සාමාන්‍යයෙන් මාළු මිල ඉහළ යාම සිදු වේ. එසේම යම් වෙළෙඳපොළ මාළු හිඟයක්ද නිර්මාණය වෙයි. මීට මූලිම හේතු වන්නේ නිරිත දිග මෝසම් සමඟ ධීවර කටයුතුවලට නුසුදුසු කාලගුණ වටපිටාවක් නිර්මාණය වීමයි. මෙම කාලය තුළ එක් දින ධීවර යාත්‍රා ධීවර කටයුතු වෙනුවෙන් පිටත්ව යාම සිදු නොවේ.

මීට අමතරව බහුදින ධීවර යාත්‍රා බොහොමයක් මේ දිනවල ගොඩබිම බලා පැමිණීම සිදු නොවේ. එම යාත්‍රා මේ දිනවල දුරබැහැර මුහුදු ප්‍රදේශවල මත්ස්‍ය දඩයමේ නිරත වෙයි. මීට මූලික හේතුව වන්නේ දිවයින අවට මුහුදු ප්‍රදේශවල මෙම මාසය තුළ පවතින කාලගුණ තත්ත්වයයි. එසේම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් බහු බහුදින ධීවර යාත්‍රා රැසක් ගොඩබිමට පැමිණීමද මෙයට එක්තරා හේතුවකි. සිංහල අලුත් අවුරුද්ද අලුත් අවුරුද්ද සැමරීමට ගොඩබිමට පැමිණෙන ධීවරයන් නැවත මුහුදු යන්නේ අවුරුද්ද පසුවී සතියකට පමණ පසුවය. එසේ මුහුදු ගිය ධීවරයෝ මහ මුහුදේ මාසයක් එකහමාරක් රැඳී සිට උපරිම අස්වනු ප්‍රමාණයක් නෙළාගෙන ගොඩබිමට ඒමට උත්සුක වෙති. එසේ හෙයින්ද මෙම කාලය තුළ ධීවර යාත්‍රා ගොඩබිමට පැමිණීම අවම වෙයි.
මැයි මාසයේදී සාමාන්‍යයෙන් මාළු වෙළෙඳ පොළ මිල ගණන් ඉහළ යාමට මූලික හේතු මේවාය. එහෙත් වසංගත තත්ත්වය මත මෙම හේතු සියල්ල දෙගුණ තෙගුණ වී මාළු මිලද එලෙසම එලෙසම දෙගුණයකින් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. පසුගිය සතියකට ආසන්න කාලය තුළ මාළු වෙළෙඳපොළ බිඳවැටීමට සංචරණ සීමාද හේතු වී ඇති බව කිව යුතුය. සංචරණ සීමා හේතුවෙන් රටේ මැද ප්‍රදේශවලට මාළු රුගෙන යාම ඉතා අපහසු වී තිබේ. එසේ රුගෙන ගිය බොහෝ දෙනාද ඒවා විකුණා ගැනීමට සහ කල් තබා ගැනීමට නොහැකිව බොහෝ ප්‍රශ්නවලට මැදි වී සිටින බව අසන්නට ලැබේ.

කෙසේ වෙතත් පවතින තත්ත්වය ධීවරයන්ටද විශේෂ වාසියක් අත් වී නොමැත. විශාල පරිමාණයේ ශීතාගාර පවත්වාගෙන යන මහා පරිමාණ වෙළඳුන්ට පමණක් මින් යම් වාසියක් සිදුවන බව ධීවරයෝ කියා සිටිති. මෙම තත්ත්වය මත ඇතැම් කුඩා පරිමාණයේ ධීවර කටයුතුවල නිරත වන ධීවරයෝ සිය කර්මාන්තයේ නිරත වීමටද මේ දිනවල දක්වන්නේ මැලිකමකි. එයද වක්‍රාකාරයෙන් මාළු මිල ඉහළ යාම කෙරෙහි බලපා ඇති බව පෙනී යයි. මීට අමතරව ස්වයං රුකියාවක් ලෙස මාළු වෙළඳාමේ නිරත වන බොහෝ දෙනෙක්ද මේ වනවිට අපහසුතාවයට පත් වී සිටිති. විධිමත් අවසරයක් සහිත වෙළඳාමේ නිරත වුවද ජනතාව තමන් වෙත පැමිණ මාළු මිලදී ගැනීමට මැලිවන බව ඔවුහු කියා සිටිති.

වසංගතය තුළ ක්‍රියාත්මක සංචාරණ සීමා හමුවේ එළවළු මිල ගණන් ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වී සිටින බව පෙනී යයි. දඹුල්ල වැනි ආර්ථික මධ්‍යස්ථානයන්හි පැන නැගී තිබූ තත්ත්වය බරපතළය. තමන්ගේ අස්වනු විකුණා ගැනීමට නොහැකිව ඒවා විනාශ වී යන බවට ගොවීහු මැසිවිලි නගති. මෙසේ තම අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වී ඇත්තේ ඒවා මිලදී ගැනීමට නිසි ක්‍රියාමාර්ගයක් තවමත් සකස් කිරීමට රජය අපොහොසත් වීම නිසා බව ගොවීහු චෝදනා කරති.

මෙහිදී සිදුව ඇත්තේ ගොවීන්ගෙන් එළවළු මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් මැලිකමක් දැක්වීමයි. එසේම ගොවීන්ගේ ගොවීන්ගේ අස්වනුවලට නියම වන මිල මේ හේතුවෙන් ඉතා අවම අගයක් ගෙන තිබේ. ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ එළවළු ගොවීන්ගෙන් මිලදී ගත්තද ඒවා ජනතාවට විකිණීම දුෂ්කර බවයි. ඒ අනුව වෙළඳුන්ද ගොවීන්ද මෙම කාරණාවේ දී චෝදනා එල්ල කරන්නේ රජයටයි. මේ අතර බොහෝ දෙනකු පෙන්වා දෙන්නේ එළවළු මිල දී ගන්නා බවට රජය පවසන මුත් එම වැඩපිළිවෙළ විධිමත් නොමැති බවයි. ඒ අනුව ඇතැමුන් පෙන්වා දෙන්නේ ගොවීන්ට සිය අස්වනු විකුණාගත නොහැකි වීම නිසා ඉදිරි කන්නවලදී ගොවීන් ගොවිතැනින් ඉවත්වීමෙන් රට ආහාර හිඟයකයට මුහුණ දිය හැකි බවය.

කෙසේ වෙතත් සංචාරණ සීමා අවම කළ දිනවලදී ගොවීන්ගෙන් මෙන්ම වෙළෙන්දන්ගෙන්ද ආර්ථික මධ්‍යස්ථාන පිරී ගොස් තිබූ බව වාර්තා විය. ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් ඉහළ යාමක්ද සිදු වූ බව වාර්තා විය. එසේ නමුත් ඇතැම් ගොවීන්ට අස්වනු විකුණා ගැනීමට නොහැකි වී තිබුණි. මීට හේතුවූයේ විධිමත් ක්‍රියාවලියක් ආර්ථික මධ්‍යස්ථාන තුළ ක්‍රියාත්මක නොවීමයි. ආර්ථික මධ්‍යස්ථාන තුළ තොග මිලක් නියම කිරීමටද රජය කටයුතු කොට තිබුණි. එහෙත් ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූවාදැයි ගැටලු සහගතය. මේ අතර ඉල්ලුම වැඩිවීම සහ නිසි පරිදි අලෙවිකර ගැනීමට නොහැකි වීමෙන් එළවළු මිල ඉහළ ගොස් ඇතැයි මැනිං වෙළෙඳ සංගමය ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත් මෙම සමස්ත ක්‍රියාවලියේ ගැටලු හේතුවෙන් පීඩාවට පත්වූයේ පොදු මහජනතාවයි. එළවළු මිලද සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව මේ වනවිට පෙනෙන්නට තිබේ. එය කිසිවකුට පාලනය කළ නොහැකි තත්ත්වයක් බවත් පෙනී යයි. ගොවීන්ද, වෙළෙන්දන්ද, රජයද, උතුම් මහජනතාවද මේ ආකාරයෙන් අසරණව සිටින්නේ වසංගතය හේතුවෙන් පමණක් නොවන බව අවසානයේ අප සිහිපත් කළ යුතුය. මන්ද මෙරට අස්වනු කළමනාකරණය සම්බන්ධ නිසි වැඩපිළිවෙළක් නොවීම ඉතිහාසය පුරා මෙරට බඩු මිල කෙරෙහි බලපෑ සැටි අපට මතකය.

චමිඳු නිසල් ද සිල්වා