2021 මැයි 29 වන සෙනසුරාදා

සැකය ඉතිරි කර මරු දුටු පුත්තලම නගරාධිපති

 2021 මැයි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 299

නගරාධිපතිවරයකුට හිමි වරප්‍රසාද අතර නිල රථයක් හිමිව ඇත්තේ සුව පහසුව හා නියමිත කලට වේලාවට රාජකාරි කටයුතු සඳහා ගමන් ගැනීමටය. පුත්තලම නගරාධිපති කේ.ඒ. බායිස් මහතා සිය හිතවතුන් පස්දෙනකු සමඟ වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ පිහිටි සිය වගාබිමක් වෙත ගොස් තිබුණේ පෞද්ගලික ගමනකි. ඒ දිවයින පුරා සංචරණ නීතිය පනවා තිබූ මොහොතක එම නීතියද උල්ලංඝනය කරමිනි. ගමන අතරමැද ඔහුට අයත් නිල රථයෙන් ඇදවැටී බායිස් මහතා ජීවිතක්ෂයට පත්ව තිබුණේ අනපේක්ෂිත ලෙසය.

නගරාධිපති බායිස් මහතා කිසිම දිනක නිල රථයේ පසුපස ගමන් නොගන්නා මුත් අනතුරට පත්ව මියගිය අවස්ථාව වනවිට ඔහු ගමන් කර ඇත්තේ නිල රථයේ පසුපස කෙළවරක කොටසක බව කියයි. එබැවින් මරණය සැකසහිත බව බායිස් මහතාගේ ඥාතීන් හා හිතවත්හු පවසති. ඊට හේතු කාරණා කිහිපයක්ද ඔවුහු පෙන්වා දෙති. එබැවින් පුත්තලම නගරාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ කණ්ඩායම් කිහිපයක් විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවත් එහි මූලික විමර්ශන වනාතවිල්ලුව පොලීසිය විසින් සිදු කරනු ලබන බවත් පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පැවසීය.

පැවසෙන පරිදි වනාතවිල්ලුව පොලිස් වසමේ එළුවන්කුලම ප්‍රදේශයට වන්නට පිහිටි ඉඩමකි. එය වාණිජමය වශයෙන් වගා කටයුතු සිදු කරන ස්ථානයකි. මෙය පුත්තලම නගරාධිපති බායිස් මහතාට අයත් බවද කියැවේ. දිනය පසුගිය 23 වැනිදාය. ඉරිදා දිනයක් වූ එදින පෙරවරුවේ සිය හිතවතුන් පිරිසක් සමඟ නගරාධිපතිවරයා සිය ගමන ආරම්භ කර තිබිණි. නිල රථයේ එදින රියැදුරු වශයෙන් කටයුතු කර තිබුණේ මරික්කාර් නස්වර් නැමැත්තාය. ඔහු හා පිටත් වූ පිරිසගේ ගමනාන්තය වී තිබුණේ නගරාධිපතිවරයාට අයත් පෞද්ගලික වගාබිමය. හෝරා කිහිපයක් එහි ගත කළ පිරිස හොඳහැටි මධුවිතෙන් සප්පායම් වූහ. සංචරණ සීමා නීතිය ක්‍රියාත්මකව තිබූ හෙයින් බාහිර කිසිදු පාර්ශ්වයක බාධාවක් ඔවුනට නොවීය. නගරාධිපති බායිස් මහතා ඇතුළු පිරිසේම යෝජනාවකට අනුව පිටත්ව ගිය පිරිස දෙවනුව ගමන් කර තිබුණේ එළුවන්කුලමට නුදුරු රාල්මඩු වැවේ දිය නෑමටය. අවශ්‍ය කළමනා නිල රථයේ පසුපස තිබුණු හෙයින් රාල්මඩු වැවේ තාවුල්ලට වන්නට අටවා ගැනුණු කූඩාරමකි. කටගැස්ම කිහිපයක් සමඟ මධුවිතෙන් සප්පායම් වූ පිරිස දිය නාගෙන තිබුණේ සෑහෙන වෙලාවක් ගත කළ පසුවය.

දිය නෑමෙන් පසුව රථය පැදවූ මරික්කාර් හා තවත් අයකු හැර නගරාධිපති බායිස් මහතා හා සෙසු අය තෙත ඇඳුම් පිටින්ම යළිත් එළුවන්කුලම වගාබිමට යාමට තීරණය කර ඇතැයි පැවසේ. රාල්මඩු වැවෙන් පිටත් වන්නට පෙර ඔවුන් රැගෙන ගිය කැනපි හට් ආම්පන්න කැබ් රථය පසුපසට පටවාගෙන තිබිණි. තෙත ඇඳුම් නිසා බායිස් මහතා තවත් දෙදෙනකු සමඟ කැබ් රථයේ පසුපසට නැගුණේ සීමිත ඉඩක් ඇති බැව් දැනගෙනය. රාල්මඩු වැවේ සිට ප්‍රධාන මාර්ගයට දිවෙන වළගොඩැලි සහිත ගුරු පාරේ කැබ් රථය ධාවනය කෙරුණේ උඩ පහළ විසිවෙමිනි.

අපහසු මාර්ගයක ධාවනය වූ කැබ් රථය කාපට් ඇතිරෑ ප්‍රධාන මාර්ගයට හැරවීමට තිබු‍ණේ තත්ත්පර කිහිපයකි. අතුරු මාර්ගයෙන් ප්‍රධාන මාවතට රථය හරවනවාත් සමඟම කැබ් රථයේ පසුපස දොර විවෘත කරගෙන වාඩි වී සිටි බායිස් මහතා විසිවී ගොස් මුණින් අතට බිම වැටී තිබුණේ කිසිවකු නොසිතුව ලෙසය. 23 වැනිදා පස්වරු 5.30ට පමණ සිදුවූ අනතුරත් සමඟ බරපතළ තුවාල ලැබූ බායිස් මහතාගේ සිරුරෙන් ලේ ගලන්නට විය. ඒත් සමඟම ක්‍රියාත්මක වූ සෙසු පිරිස බායිස් මහතා පුත්තලම මූලික රෝහල දක්වා රුගෙන ගියහ. අනතුරුව පිරිස එතැන නොරුඳී පලා ගොස් ඇතැයි වාර්තා විය. රෝහල් ගතකරන මොහොත වනවිටත් බායිස් මහතා මියගොස් සිටි බවටද වාර්තා වී තිබේ. මේ හේතු නිසා නගරාධිපතිවරයාගේ ඥාතීන් හා හිතවතුන් පවසන්නේ මරණය පිළිබඳව සැකයක් පවතින බවය. නගරාධිපතිවරයාගේ හදිසි මරණය පිළිබඳව ආරංචිය ලැබුණු සැණින් ඔහුගේ හිතවතුන් හා ආධාරකරුවෝ පනවා තිබෙන සංචරණ නීතිය බිඳ දමමින් පුත්තලම මූලික රෝහල් පරිශ්‍රයට පැමිණියහ. පිරිස එතැනින් පලවා හැරීමට රෝහල් ආරක්ෂක අංශය, කාර්ය මණ්ඩලය මෙන්ම පොලීසියද කටයුතු කර තිබිණි.

කැබ් රථයෙන් ඇදවැටී තුවාල ලබා ජීවිතක්ෂයට පත්වූ නගරාධිපති කේ.ඒ. බායිස් මහතාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට ඒ මොහොතේ නගරාධිපතිවරයා සමඟ සිටි රියැදුරුවරයා සමඟ තවත් පුද්ගලයන් තිදෙනෙක් වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එහිදී රියැදුරු අත්අඩංගුවට ගෙන තිබුණේ බීමත්ව අපරීක්ෂාකාරීව හා නොසැලකිලිමත්ව රිය පැදවීම සම්බන්ධයෙනි. රියැදුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

නගරාධිපතිවරයාගේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට මත්තෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමුකර තිබිණි. එම වාර්තාව ලද පසුව පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා යටතේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමටත් දේහය නගරාධිපතිවරයාගේ පුත්‍රයාට බාරදීමටත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මේ අතර අපරාධ ස්ථාන නිරීක්ෂණ නිලධාරීහු (SOCO) අනතුර සිදුවූ ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කළහ. කේ.ඒ. බායිස් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නායක අෂ්රොප් මහතාගේ ආරක්ෂක නිලධාරියකු වශයෙන් කටයුතු කළ අයෙකි. 1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ රජයට සහාය පළ කිරීම හේතුවෙන් අෂ්රොප් මහතාට ප්‍රබල අමාත්‍යධූරයක් හිමිවිය. මේ සමඟ බායිස් මහතාට දේශපාලන කටයුතු සදහා ඍජුව දායක වීමට හැකිවිය. ඒ අනුව 1997 වසරේ පළාත් පාලන මැතිවරණයට තරග කරමින් පුත්තලම නගරාධිපති ධූරයට පත්වීමට ඒ මහතාට හැකිවිය.

පසු කලෙක 2004/ 2010 වසරවලදී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළද පරාජයට පත්විය. එහෙත් ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් හිමිවිය. කෙසේ හෝ 2011 වසරේ සිට නැවතත් බායිස් මහතා නගරාධිපති ධූරයට පත්විය. මියයන විට බායිස් මහතා 52 වැනි වියේ පසුවිය. ඔහු දරුවන් තිදෙනකුගේ පියෙකි. පුත්තලම ෆාතිමා සහිරා හා ආනන්ද යන පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීමට හා පුත්තලම කලපු තීරය Colombo F. Face ලෙස නම් කිරීමටද ඔහු මැදිහත්ව කටයුතු කළේය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00