2021 මැයි 22 වන සෙනසුරාදා

වැඩ අනාගත් පිළියන්දල

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 175

අලුත් අවුරුදු පොකුර හෙවත් ශ්‍රී ලංකාවේ තුන්වැනි කොවිඩ් රැල්ල පෙර පැවැති අවස්ථා දෙකටම වඩා දරුණු ලෙස පැතිර යමින් පවතී. දිවයිනේ දිස්ත්‍රිකක් 25න්ම රෝගීන් වාර්තා වන තත්ත්වයක් තුළ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියේ දැඩි ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසටය. කෙසේ නමුදු දිනකට 2500කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීම මත මෙවර රෝගය පාලනය ක්‍රමයෙන් අසීරු තත්ත්වයක් කරා ළඟා වෙමින් පවතී. සියලුම රෝහල්වල පවතින ධාරිතාව ඉක්මවා යමින් තිබෙන අතර වෛද්‍යවරුන් පවසන්නේ පාලනය හා ආරක්ෂාවීම සිදු නොවුණහොත් ඉන්දියාවේ පවතින දරුණු තත්ත්වයට ලංකාවටද මුහුණ දීමට සිදුවනු ඇති බවටය. අසාධ්‍ය රෝගියකුට දැඩි සත්කාර ඒකකයක ඇඳක් ලබාදීමේ අපහසුතාව මේ වනවිට මතුවී තිබෙන අතර රජය ඇඳන් දසදහසක් තැනීමට සහ රෝගී රුඳවුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට කඩිමුඩියේ කටයුතු කරමින් සිටී. දැඩි සත්කාර ඒකක දෙකක් තිබෙන සියලු රජයේ රෝහල්වල එක් දැඩි සත්කාර ඒකකයක් කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කිරීමට රජය පියවර ගත්තේ ඒ අනුවය. මරණ සංඛ්‍යාවද සීඝ්‍ර යෙන් ඉහළ යමින් පවතින අතර එය දිනකට 20 ඉක්මවා යන තත්ත්වයක් නිර්මාණය වී තිබේ. මුල් අවධියේ වයසින් වැඩි පුද්ගලයන් වැඩි වශයෙන් ආසාදිතයන් බවට පත් වුවද මේ වනවිට තරුණ පිරිස් හා ගැබිණි මවුවරුන්ද ආසාදිතයන් බවට පත්ව ඇති අතර ගැබිණි මවුවරුන්ගේ මරණ සංඛ්‍යාවේද වර්ධනයක් පෙන්නුම් කරයි.

දැනට වාර්තාවන දත්ත සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් බවට පත්ව ඇති බව සෞඛ්‍ය අංශවලම අයගේ නිගමනය වී තිබේ. කොරෝනා පැතිරීම අවම කිරීම සඳහා රටේ විවිධ ප්‍රදේශ හුදකලා කිරීමට රජය පියවර ගත්තේය. ඒ අතුරින් කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල  ප්‍රදේශය ද එකකි. එම පොලිස් බල ප්‍රදේශය පසුගිය මැයි 02දා හුදෙකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළේ ඉතා ඉහළ ආසාදිතයන් සංඛ්‍යාවක් එම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමඟය. එහෙත් පසුදින උදෑසන වන විට එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 10 හැර ඉතිරි වසම් 42කම හුදෙකලා තත්ත්වය කිසියම් අදිසි හස්තයක බලපෑමෙන් ඉවත් කර තිබිණි. මෙවැනි ඉවත් කිරීමක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවා දැන නොසිටි අතර ඒ සම්බන්ධයෙන් ඇගිල්ල දිගු වූයේ එම ප්‍රදේශයේ මන්ත්‍රිවරයා හා ප්‍රවාහන ඇමැතිවරයා වන ගාමිණී ලොකුගේ වෙතය.

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය කියා සිටියේ සමස්ත පිළියන්දල ප්‍රදේශයම "ලොක්ඩවුන්" කරන ලෙසට තමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටි බවයි. මගේ අනුදැනුමකින් තොරව ඇතැම් ප්‍රදේශ යළි විවෘත කර තිබෙනවා. මගේ අදහස වන්නේ මුළු ප්‍රදේශයම "ලොක්ඩවුන්" කිරීමකින් තොරව මෙම ව්‍යසනය පැතිරයාම වැළැක්විය නොහැකි බවයි. රෝගීන් සමාජය තුළ සැරිසරමින් සිටිනවා. විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි වසා දැමීමක් ඉල්ලන්නේ අපි නොදැනුවත්ව සැරිසරන රෝගීන්ගේ සංචරණය සීමා කොට ඔවුන් මගින් නිරෝගී පුද්ගලයන්ට මෙම රෝගය පැතිර යාම වළක්වාලීම සඳහායි. රෝහල් ගත කිරීම ප්‍රමාද වීම නිසා නිවෙස්වල රෝගීන් සියයක පමණ ප්‍රමාණයක් සිටිනවා. දිනෙන් දින රෝගීන් සංඛ්‍යාව ඉහළ යනවා. යනුවෙන් කියා සිටියාය. කෙසේ නමුදු යළි විවෘත කළ දිනයේ එනම් මැයි 3 දින පිළියන්දල ප්‍රදේශයන් ආසාදිතයන් 149 දෙනකු හඳුනාගත් අතර එය දිනක් තුළ එක් පොලිස් බල ප්‍රදේශයකින් සොයාගත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෙසද වාර්තා විය. ගතවූ දෙසතිය තුළ එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 400කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබිණි. ඒ අතර ගාමිණි ලොකුගේ ඇමැතිවරයාගේ කාර්යාලයේ සේවකයන් පස් දෙනෙක්ද වූහ. ඔහුගේ බෑනා කෙනෙකුටද රෝග ආසාදනය වී ඇති බවට වාර්තා විය.

සෞඛ්‍ය බලධාරීන්ගේ අනුදැනුමකින් තොරව පිළියන්ද ප්‍රදේශයේ වසා දැමූ වසම් යළි විවෘත කිරීම සම්බන්ධ‍යෙන් ලොකුගේ ඇමතිවරයා වගකිව යුතු බවට ප්‍රචාරය වෙද්දී මාධ්‍ය ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ එවැනි ලොක් ඩවුන් කිරීමක් සිදුවන අස්ථාවේ ප්‍රදේශයේ කිසිදු වැසියකු මුළු ප්‍රදේශයම "ලොක්ඩවුන්" කරන බව නොදැන සිටි බවටය. බුද්ධි අංශය හා වෙනත් විවිධ අංශවල තොරතුරු අනුව මේ මුළු පළාතම "ලොක්ඩවුන්" කළ යුතු නැතැයි කියා තිබුණා. ඒ අනුව අපි ඉල්ලීමක් කළා තත්ත්වය පරීක්ෂා කර බලා යම් කිසි ලිහිලක් දෙන්න පුළුවන් නම් ඒ ලිහිල ලබාදෙන ලෙසට. සෞඛ්‍ය බලධාරින් ඒ ගැන සාකච්ඡා කරලා සමහර වසම් නිදහස් කළා. ඒක තමයි වුණේ. මට සෞඛ්‍ය බලධාරීන්ට බලපෑම් කරන්න බැහැ. මේ පළාතේ මන්ත්‍රීවරයා හැටියට පළාතේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ සුබසිද්ධිය හා පහසුකම් වෙනුවෙන් පෙනී සිටින්න මට අයිතියක් තිබෙනවා. යැයි ඔහු කීවේය.

පිළියන්ද ප්‍රදේශයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අසාදිත තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය 10දා කැස්බෑව ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක්ද පැවැත්විණි. පසුගිය මැයි 9දා පමණක් එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 192 වාර්තා වී තිබිණි. පිළියන්දල  වෙළෙඳ සංකීර්ණයෙන් මරණයක්ද වාර්තා වූ අතර. ඔහුගේ පවුලේ සියලු දෙනාටම රෝගය ආසාදිතව තිබූ බැව් වාර්තා විය.

වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පෙන්වා දුන්නේ වාර්තා වන ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක රෝගීන් ප්‍රදේශයේ සිටිය හැකි බවටය. මුළු ප්‍රදේශයම හුදකලා කිරීම අත්‍යවශයයි. ගිය අවුරුද්දේ ඉඳලා පසුගිය සිංහල අවුරුද්ද දක්වා කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වුණේ මරණ හතරක් පමණයි. එහෙත් මේ වනවිට දිනකට මරණ දෙකක් බැගින් වාර්තා වන තත්ත්වයක් ඇතිවි තිබෙනවා. ඒ අනුව දැඩි අනතුරුදායක තත්ත්වයත් තමයි පවතින්නේ. දැන් තත්ත්වය අනුව නම් මේ දිස්ත්‍රික්කයම ලොක්ඩවුන් කළත් බේරගන්න අමාරුයි. සාමාන්‍යයෙන් අප ලබාගන්නා පීසීආර් වාර්තාවලින් 30%ක් පමණ ආසාදිතයන් බව තහවුරු වෙනවා. යැයි ප්‍රකාශ කළාය.

මෙවන් වාතාවරණයක් යටතේ අමාත්‍ය ගාමිණී ලොකුගේ පසුගිය 17 වැනිදා කැස්බෑව නව පොලිස් ස්ථානය විවෘත කිරීමට පැමිණ සිටියේය. එහිදී මාධවේදීන් ඔහුගෙන් විමසා සිටියේ පිළියන්දල දේශය "ලොක්ඩවුන්" ඉවත් කිරීම සම්බන්ධයෙන් දැන් පවසන්නේ කුමක්ද යන්නයි. එවිට ඔහු කීවේ තමන්ට අලුත් මතයක් නොමැති බවත් තමා එදා දැරෑ මතයේම තවමත් සිටින බවත්ය.

"ලොක්ඩවුන්" ඉවත් කිරීම නිසා පිළියන්දල ප්‍රදේශයෙන් දිනකට පුද්ගලයන් දෙදෙනකු බැගින් මරණයට පත්වීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බවට කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වන වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කළ විමසීමට ඇමතිවරයා කියා සිටියේ දවසට දෙන්නා දෙන්න ගාණේ මැරෙනවද කියලා තමුන්නාන්සෙලාට පුවත්පත්වලින් බලාගන්න පුළුවන්නේ යනුවෙනි.

කෙසේ නමුදු ගාමිණී ලොකුගේ ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගෙන් මෙන්ම සමාජයේ විවිධ පුද්ගලයන්ගෙන්ද එල්ල වූයේ දැඩි විරෝධයකි. ඔවුන් කියා සිටියේ කොවිඩ් රෝගය හා දේශපාලනය දෙකක් බවත් දේශපාලකයන් දේශපාලනය කළ යුතු වන අතර කොවිඩ් පාලනය පාලනය කිරීම සෞඛ්‍ය අංශවලට අයත් කාර්යයක් බවත්ය. සෞඛය අංශ විවිධ ක්‍රියාමාර්ග ගන්නේ ජනතාවගේ ආරක්ෂාව උදෙසා බවත්, කිසියම් දේශපාලකයෙක් ව්‍යපාරිකයන් හා එක්ව ඔවුන්ට අවශ්‍ය තීරණ ගන්නවා නම් එය බරපතල ප්‍රශ්නකාරී තත්වයක් ඇතිකරන බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අයගේ ප්‍රතිචාරය විය.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමෙන් පසුව එම තීරණය ඉවත් කිරීමට ඇමැති ගාමිණී ලොකුගේ මහතා මැදිහත් වූයේ වසර 20ක පමණ කාලයක සිට ඔහුට අයත් ඉඩමක ප්‍රසිද්ධ සමාගමක් මගින් ගබඩාවක් පවත්වාගෙන යන බැවින් එම සමාගමට අනුග්‍රහයක් ලෙසට යැයි ප්‍රදේශවාසීන්ගේ අදහස වී තිබේ. එහෙත් එම සමාගම වෙනුවෙන් තමා එවැනි ඉල්ලීමක් නොකළ බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

පිළියන්දල හුදකලාව ඉවත් කිරීමට කටයුතු කළේ කවුරුන්ද යන්න සෙවීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගත්තේය. ඔවුහු ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එම ප්‍රදේශයේ චාරිකාවකද නිරත වූහ. එහෙත් ප්‍රදේශයේ ජනතාවගේ මතය වී ඇත්තේ මොන කමිටුව පත් කළද අවසානයේ දේශපාලකයන්ට එරෙහිව කිසිවක් සිදු නොවන බවයි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා