2021 මැයි 22 වන සෙනසුරාදා

මනාලියන් හැඩගන්වන අවුරුදු අටේ පුංචි ’’බියුටීෂියන්’’

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 250

මෙනුගි මනුල්‍යා හරස්ගම වයස අවුරුදු අටක කුඩා දැරියකි. සෙල්ලම් බෝනික්කන්, සෙල්ලම් ගෙවල්වලින් තම ළමා කාලය ගත කරන අනෙක් දරුවන් සේම මෙනුගි තුළ තවත් අපූරු විනෝදාංශයක් තිබිණි. ඇය සුන්දරව ඉන්නට මෙන්ම අනෙක් අය සුන්දරව හැඩ කරන්නටද ආසා කළාය.

ජාන්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරණ මෙනුගි තවම තුනවසරේ ඉගෙනුම ලබන සිසුවියකි. පවුලේ වැඩිමහල් දරුවා වූ මෙනුගිට තව බාල සහෝදරයෙක් සිටී. ඇයගේ මව ඉන්දුමාලා රාජපක්ෂය. ඉන්දුමාලා ඉතා දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියකි. මහනුවර ප්‍රදේශයේ තම රූපලාවණ්‍යාගාරය පවත්වාගෙනු යනු ලබන ඉන්දුමාලා තවත් අනු ශාඛාවක් බොරැල්ලේ පවත්වාගෙන යන්නීය. මංජුල හරස්ගම මෙනුගිගේ ආදරණීය අප්පච්චිය. ඔහු ඇඳුම් නිර්මාණ ශිල්පියෙකි. මංගල සාරි ඇතුළු සාරි නිර්මාණකරණයේ යෙදෙන මංජුල ඉතා කාර්යබහුල ව්‍යාපාරිකයෙකි.

මංජුලත් ඉන්දුමාලාත් තම රැකියා කටයුතු සඳහා නිවෙසින් උදෑසන පිටවූවායින් පසුව පුංචි මෙනුගියේ ආරක්ෂාවටත්, රැකවරණයටත් නිවසේ සිටින්නේ ඇගේ ආත්තම්මාවරුන් දෙදෙනාය. ඉන්දුමාලාගේ අම්මාත්, මංජුලගේ අම්මාත් තම මිණිපිරීටත්, මුණුපුරාටත් අසීමිතව ආදරය කළහ. 

මෙනුගි කුඩා කල සිටම දැක්කේ අම්මාගේ රූපලාවණ්‍ය බඩුභාණ්ඩය. අප්පච්චිගේ සාරි නිර්මාණකරණයන්ය. විශාල රූපලාවණ්‍ය අසුරණවල පිළිවෙළට අසුරා තිබූ වෛර්ණ රූපලාවණ්‍ය භාණ්ඩවල පුංචි හිත නතර විය. දහවල් කාලයේදී ආත්තම්මලා දෙන්නාට හොරා පුංචි කෙල්ල තනිවම තමන්වම හැඩකරගෙන තිබුණාය.

"මගේ බිරිඳ 2019 අවුරුද්දේ හොඳම ව්‍යවසායකවරිය විදිහට සම්මාන දිනා ගත්තා. අපි නුවර ප්‍රධාන ආයතනය විදිහටත්, බොරැල්ලේ අපේ අනු ශාඛාව විදිහටත් ආයතන දෙකක් පවත්වාගෙන යනවා. දුව චූටි කාලේදීම මගේ බිරිඳගේ රූපලාවණ්‍ය බඩු එකින් එක අඩුවෙන්න පටන්ගත්තා. අපි හෙමින් හොයලා බලද්දී අපෙ දුව ඒවා එයාගේ ඇඳ යට, කොට්ට යට, හංගාගෙන ඉන්න බව අපිට තේරුණා. අපි ඒක දැනගත්ත බවවත් දුවට ඇඟෙව්වේ නැහැ. අපි දෙන්නා කතාවෙලා අපි දුවට වෙනම අලුත්ම රූපලාවණ්‍ය බඩු ටිකක් ගෙනැත් දුන්නා." යැයි මෙනුගිගේ අප්පච්චි, මංජුල හරස්ගම දේශයට අදහස් දක්වමින් පැවැසීය.

අම්මාට නොදැනෙන්න ගත් රූපලාවණ්‍ය ආලේපනවලින් මෙනුගි තම කාමරයේ දොරත් වහගෙන මුලින්ම හැඩකළේ තමන්වමය. කැඩපතෙන් මුහුණ බලාගෙන ඇය තම මුහුණ හැඩකළාය. දිනක් ඇය නොහිතුව මොහොතක කිසිමදාක නොහිතුව තෑග්ගක් අම්මාගෙන් සහ අප්පච්චිගෙන් මෙනුගිට ලැබුණි. ඒ ඉතාම වටිනා රූපලාවණ්‍ය ආලේපන සහ රූපලාවණ්‍ය බඩු භාණ්ඩ කට්ටලයකි. එහි වටිනාකම ලක්ෂ එකහමාරකි. අම්මාත් අප්පච්චිත් දුන් තෑග්ග මුළු රැයක් පුරා මෙනුගි තුරුල් කරගෙන ආසාවෙන් සිටියාය. අප්පචිච්ත් අම්මාත් දුන් තෑග්ගට ඇතැමුන් මංජුලටත් ඉන්දුමාලාටත් ‍දොස් කීහ. "පොඩි වයසක ඉන්න දරුවන්ට දෙන්න ඕනේ තෑග්ගක්ද ඔය දීලා තියෙන්නේ" ඇතැම්හු එසේ ඇසූහ. නමුත් ඉන්දුමාලාටත් මංජුලටත් ඒ දුන් තෑග්ග ගැන පසුතැවිල්ලක් නොතිබිණි. තම කුඩා දියණිය මුහුණේ ගල්වා ගන්නා ආලේපන සම්බන්ධව ඔවුහු හොඳහැටි සිතූහ. ඒ නිසාම අපතේ ගියද, සෙල්ලම් කරන්න වුවත් ඔවුන් ඉතා වටිනා, හොඳ ප්‍රමිතියකින් යුතු ආලේපන මෙනුගිට සෙල්ලමට ලබාදෙන්නට වග බලාගත්හ.

"දුව එයාගේ වයසේ දරුවෝ කරන සෙල්ලම් ගෙවල් දානවා. බෝනික්කන් එක්ක සෙල්ලම් කරනවා. ටී.වී. බලනවා. ඒ හැම දෙයත්ම කරන අතරතුරේදී තමයි මේ විනෝදාංශයත් එයා කළේ. ඒ නිසා අපි දුවට මේ තෑග්ග අරගෙන දුන්නා. මුලදී එයා තනියම එයාවම මේක් අප් කරගත්තා. දුවට මේ මුල්ම රූපලාවණ්‍ය බඩු ටික අපි තෑගි දෙද්දී එයාට අවුරුදු හතරක් විතර ඇති. එයා ගෙදරට එන එයාගේ අක්කලා, නැන්දලාවත් මේක්අප් කළා. දවසින් දවස එයා එයාගේ අඩුපාඩු හදාගත්තා. සමහර අඩුපාඩු එයා අම්මගෙන් අහලා කරගත්තා. හැබැයි අපි එයාව අපේ සැලෝන් එකට එක්කගෙන ගිහින් තිබුණේ නැහැ. ඒ නිසා අම්මා මේක් අප් කරනවා එයා දැකලා තිබුණේ නැහැ. අපි බොහෝ වෙලාවට හිටියේ ගෙදරින් පිටයි. එයා වැඩිපුරම එයාගේ ආත්තම්මලා දෙන්නා එක්ක තමයි හිටියේ."

මීට සති කිහිපයකට පෙර ඉන්දුමාලාට මනාලියක් ඇන්දවීමට දිනය හා වෙලාව වෙන්කර තිබුණි. ඉන්දුමාලාත්, මංජුලත් එදින තම දියණියවද රූපලාවණ්‍යාගාරයට එක්කරගෙන ගොස් තිබුණි. මෙනුගි අම්මා මානාලියන්ව අපූරුවට හැඩගන්වන අන්දම බලාගෙන සිටියාය. සවස අම්මාත්, අප්පච්චිත් සමඟ නිවසට එන අතරතුරේදී මෙනුගි හරි අපූරු යෝජනාවක් තම දෙමව්පියන්ට ඉදිරිපත් කළාය.

"අම්මි... මටත් මොඩල් කෙනෙක් ගෙනත් දෙන්නකෝ... මටත් ලස්සනට අන්දවන්න පුළුවන්..."

ඒ අනුව ඉන්දුමාලා තම දියණියගේ ඉල්ලීම අනුව නිරූපිකාවක් ගෙන්වා තම දියණියට හැඩගන්වන්නට අවස්ථාව ලබා දුන්නාය.

"චුටි දුවගේ හැකියාවන් ගැන ඇත්තටම අපිට පුදුම හිතුණා. එයා හරි ලස්සනට, හරි පිළිවෙළට ඒ ගැන්වීම් කළා. දුවට ඒ දේවල් කියලා දෙන්න අපිට ඕනවුණේ නැහැ. එහෙම කියලා දෙන්න අපිට වේලාවක් තිබුණෙත් නැහැ. එයා හරිම කීකරු දරුවෙක්. ගෙදර ඉදිද්දීත් එයාගේ වැඩ තනියම කරගන්න තමයි උත්සාහ කරන්නේ. එදා රශ්මිව හැඩගන්වද්දී අපි දෙන්නම එයා ළඟ හිටියා. ඉන්දු එයාට අඩුපාඩු කියලා දෙන්න හදද්දී "අම්මි... එහාට යන්නකෝ... මම තනියම කරන්නම්" කියලා එයාට පොඩ්ඩක් කේන්ති ගිහින් අපිට කිව්වා. ඒ නිසා අපි පැත්තකට වුණා.... හැබැයි මම වීඩියෝ කරන කෙනාට මුල ඉඳලම වීඩියෝ කරන්න උපදෙස් දීලයි තිබුණේ. එදා හරි අපූරුවට දුව මේක්අප් කරලා තිබුණා. එහෙම තමයි දුව රශ්මි භාග්‍යාව හැඩ ගැන්වූවේ."
පටිගත කර තිබූ වීඩියෝව දුටු ඉන්දුමාලාටත්, මංජුලටත් සතුටක් දැණිනි. දින දෙකකට පසුව මෙනුගි තවත් හැකියාවක් පිළිබඳව තම මවට ඉඟිකළාය. 

"අම්මි.... මට මනාලියන් අන්දවන්නත් පුළුවන්..."

ඒ අනුව ඇයගේ ඒ හැකියාව පෙන්වන්නටත්, අම්මාගේත්, අප්පච්චිගේත්, සහයෝගය ඇයට ලැබුණි. ඇය මනාලිය හැඩ ගැන්වීම හරි අපූරුවට සිදුකළාය. ඒ උඩරට මනාලියකි. කුඩා නළල් තැල්ලක් තබා හරි අපූරුවට ඇය ඒ කටයුත්තද අවසන් කළාය. පෙරදිනයදා ඉන්දුමාලාගෙන් යම් යම් උපදෙස් කිහිපයක්ද පුංචි මෙනුගිට ලැබුණි. අවසානයේදී අවුරුදු අටක් වයසැති පුංචි මෙනුගිගේ පුංචි අත්වලින් සුන්දර මනාලියක්ද හැඩ ගැන්විණි.

 දිශානි ජයමාලි කරුණාරත්න