2021 මැයි 08 වන සෙනසුරාදා

තමිල්නාඩු පෙරළියේ ලංකාවේ ලකුණු

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 89

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණ ප්‍රතිඵල කොවිඩ් වසංගතය මැද වුව මගහැර යා නොහැකි මාතෘකාවකි. මෙවර මැතිවරණයේදී තමිල්නාඩුවේ සිදුවූ බලපෙරළිය ඉන්දීය මහ ආණ්ඩුවටත් තදින් දැනී තිබේ. එම නිසාම තමිල්නාඩුවේ සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීමට අපි තීරණය කළෙමු.

තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234ක් සඳහා වන ඡන්ද විමසීම තිබුණේ අප්‍රේල් මස 6 වැනිදාය. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 72.78ක් ලෙස දැක්වූ අතර කොවිඩ්-19 සෞඛ්‍ය රෙගුලාසි මධ්‍යයේ මැතිවරණයේ කටයුතු සිදුකෙරිණි. තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ බහුතර බලය ලබාගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව 118ක් විය. අවසානයේ ඉන්දීය මැතිවරණ කොමිසම මැයි 2 වැනිදා පස්වරුවේ තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව වසර දහයකට පසු තමිල්නාඩු ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීමට ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ.) පක්ෂය සමත් විය. ඒ අනුව කරුණානිධිගේ පක්ෂය ලෙස ලාංකීකයන් හඳුන්වන ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය තමිල්නාඩුවේ ආසන 234න් ආසන 122 බලය තහවුරු කරගැනීමට සමත් වූ අතර ඔවුන්ට සහාය දක්වන පක්ෂ තවත් ආසන 23ක බලය තහවුරු කරගැනීමට සමත්ව තිබුණි.

වසර දහයක පමණ සිට තමිල්නාඩුවේ බලය තහවුරු කරගෙන සිටි ජයලලිතාගේ පක්ෂය ලෙස ලාංකිකයන් හඳුන්වන ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයට (ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.) හිමිවූයේ ආසන 79ක බලය පමණි. ඔවුන්ට සහාය දක්වන පක්ෂ දිනාගෙන ඇති ආසන සංඛ්‍යාවත් සමඟ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය දිනාගෙන ඇති සමස්ත ආසන සංඛ්‍යාව ආසන 88ක් ලෙස කියැවුණි. මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට පක්ෂපාතී ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂයේ මෙම පරාජය මෝදි ආණ්ඩුව කෙරෙහි වන ඉන්දීය ජනතා අප්‍රසාදයක් බව දේශපාලන විචාරකයන් සඳහන් කළේය.

කරුණානිධිගේ පක්ෂය හෙවත් ඩී.එම්.කේ. පක්ෂය ඉන්දීය කොංග්‍රසයට හිතවාදී වූයේය. මෙම මැතිවරණයේ සුවිශේෂී බව වූයේ මෙවර තමිල්නාඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ නායකයන් නොමැතිව දෙවැනි පරම්පරාව විසින් මෙහෙයවනු ලබූ ප්‍රථම මැතිවරණය එය වීමයි. ඒ අනුව මෙවර ජයග්‍රාහී මැතිවරණයේදී කරුණානිධිගේ අනුප්‍රාප්තිකයා වූයේ ඔහුගේ පුත් හැටඅට හැවිරිදි එම්.කේ. ස්ටාලින්ය. ඔහු මදුරාසි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතර ගෞරව ආචාර්ය උපාධියක් ලද්දෙකි. ඒ අනුව ඉදිරියේ තමිල්නාඩු මහ ඇමතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ දේශපාලන කතිකාවේ නව පාර්ශ්වකරැවා ඔහු වනු ඇත. එම නිසාම එම්.කේ. ස්ටාලින්ගේ දේශපාලන භාවිතය විමසා බැලීම අපට වැදගත්ය.

ඔහුගේ ජනප්‍රිය දේශපාලනය ආරම්භ වන්නේ 1976 දී ඉන්දිරා ගාන්ධි අගමැතිනිය විසින් ඉන්දියාව පුරා හදිසිනීතිය පනවන ලද අවස්ථාවේදී ඊට විරුද්ධව පෙළපාලි යාම හේතුවෙන් සිරගත වී වධ බන්ධනයන්ට ලක්වීම සමඟයි. ස්ටාලින් ශාස්ත‍්‍රවේදී උපාධි පරීක්ෂණයට ලියා ඉන් සමත්වූයේ සිරගතව සිටියදීය. නිදහස ලැබීමෙන් අනතුරුව පියාගේ අඩිපාරේ යමින් 1982දී ඔහු සිය පියාගේ පක්ෂයේ තරුණ සංවිධානය බිහි කළේය. අනතුරව 1989දී තමිල්නාඩු ප‍්‍රාන්ත සභා ඡන්දයට ඉදිරිපත් වී ජයග‍්‍රහණය කළේය. විවිධ හැලහැප්පීම් මත දිවගිය ස්ටාලින්ගේ දේශපාලනයේ සුවිශේෂී අවස්ථා කිහිපයක් සිහිපත් කළ හැකිය. 1996දී තමිල්නාඩුවේ කෝලාතූර් නගරයේ නගරාධිපති වීම, "ලස්සන චෙන්නායි” නමැති නගර සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කිරීම, 2006දී ඔහු තමිල්නාඩුවේ නියෝජ්‍ය මහා ඇමැති වීම, 2016දී ඔහු තමිල්නාඩුවේ විපක්ෂනායකයා වීම ඉන් කිහිපයකි. 2018දී ඩී.එම්.කේ. පක්ෂයේ නායක බවට ස්ටාලින් පත්වන්නේ කරුණානිධි මිය යාමත් සමඟයි.

මෙවර තමිල්නාඩු මැතිවරණයේදී තවත් සුවිශේෂී චරිතයක් දෙස බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබිණි. ඒ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළුවකු වන කමල් හසන්ය. මක්කල් නීදි මයියම් නමින් දේශපාලන පක්ෂයක් බිහිකරමින් තමිල්නාඩුවේ මහ ඇමැති තරගයට ඔහු සැරසුණේ වසර දෙක තුනක සිටය. බැටරි කෑලි හයේ විදුලි පන්දමක් සිය පක්ෂයේ ලකුණ බවට පත් කරගමින් ඔහු වෙනස්ම දේශපාලන රංගනයක නිරත විය. එහෙත් අවසානයේ ඔහු තරග කළ කොයිම්බතූර් පළාතෙන්ද කමල් හසන්ට උරුමවූයේ පරාජයකි. ඔහු පරාජයට පත්වූයේ පසුගිය මැතිවරණයේදීත් කොයිම්බතූර් පළාත ජයගත් නීතිඥවරියක වන භාරතීය ජනතා පක්ෂයේ හිතවාදිනියක වූ වානතී ශ්‍රීනිවාසන් හමුවේය. සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 33.2ක් කමල් හසන් ද සියයට 34.38ක් වනති ශ්‍රිනිවාසන්ද ලබාගෙන තිබුණි.

මෙවර මහ ඇමැති තරගයේ පරාජිතයා වූයේ හිටපු මහඇමති ඊ. පලනිස්වාමිය. පහු පසුගිය මැයි 4 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස් විය. සසිකලා නටරාජන් අයථා මුදල් උපයා ගැනීම යටතේ සිරගත වූ විට ඊ. පලනිස්වාමි ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂයේ (ඒ.අයි.ඒ.ඩී.එම්.කේ.) නායක්වයට පත්විය. සසිකලා පත්වීම සිදුකළ අතර ඊ. පලනිස්වාමිය ඇගේ අතිශය විශ්වාසවන්තයා විය. ඒ අනුව ඔහු 2017දී තමිල්නාඩු මහ ඇමැති ධූරයට පත්විය. දේශපාලන විචාරකයන්ට අනුව ඔහු දේශපාලන උපායේ සමතෙකු නොවන අතර පක්ෂ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස බලය ලැබූවෙකි. මෙම මැතිවරණයේ පරාජයට එය හේතු වූ බව කියැවුණි.

තමිල්නාඩු මැතිවරණය ඇතුළු ප්‍රාන්ත පහක මැතිවරණ ඉන්දීය දේශපාලනයට තීරණාත්මක ලෙස බලපෑම් කළේය. අගමැති මෝදිගේ ප්‍රතිවාදී පක්ෂ සහ දේශපාලන විශ්ලේෂකයන්ගේ දැඩි විවේචන මැද පැවැති මේ ප්‍රාන්ත මැතිවරණයෙන් අගමැති මෝදි ලැබුවේ සුළුපටු පරාජයක් නොවේ. මුළු ප්‍රාන්ත 5න්ම මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට දිනාගත හැකිවූයේ අැසෑම් ප්‍රාන්තය පමණි. ඔහු වැඩි බලාපොරොත්තු තබමින් වැඩි බරක් දැමූ බටහිර බෙංගාල ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන ඇමැතිනි මම්තා බෙනර්ජිගේ ආධිපත්‍යය බිඳ දැමීමට නොහැකි විය. කෙසේ වෙතත් කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ල අතිශය දරුණු අන්දමට ඉන්දියාව වෙළාගනිමින් තිබේ. ප්‍රාන්ත මැතිවරණ තුළින් සිය ජනප්‍රියත්වය පහළ බැස ඇති අගමැති මෝදි ඇතුළු ඉන්දීය ආණ්ඩුවද දැන් අර්බුද රුසකට මුහුණ දී සිටී. එම නිසාම ඉන්දියාවේ දේශපාලන සුළිකුණාටුව හමා යනවිට ශ්‍රී ලංකාවේද කාලගුණය වෙනස්වන බව අප අමතක කළ යුතු නැත.

 චමිඳු නිසල් ද සිල්වා