2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා

ලොව වැඩිම මිලට අලෙවි වූ පරෙවි කිරිල්ලී

 2020 නොවැම්බර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

පරෙවි ලෝලයෝ ලොව කොහෙත් සිටිති. එහෙත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් ගෙවා පරෙවියකු මිලදී ගන්නා අයකු සිටිය හැකිද?  ලොව වැඩිම මිලකට අලෙවි වූ එම පරෙවියා පිළිබඳව වාර්තා වන්නේ බෙල්ජියමෙනි. මෙම පරෙවියා නිව් කිම් නමින් හැඳින්වෙන අභිජනන පක්ෂියෙකි. අවුරුදු දෙකක් පමණ වයසැති නිව් කිම් මිලට ගෙන ඇත්තේ චීන ජාතික ධනවත් පරෙවි පියාසර තරග රසිකයකු විසිනි.

බෙල්ජියමේ පිපා නමැති වෙන්දේසි මධ්‍යස්ථානයේ සති දෙකක කාලයක් මුළුල්ලේ පැවැති වෙන්දේසියක් අතරතුර පසුගිය ඉරිදා මෙම පරෙවියා ඉහළම මිලට අලෙවි විය. සුපර් ඩුපර් හා හිට්මෑන් යන අන්වර්ථ නම්වලින් පෙනී සිටි  ලංසුකරුවන් දෙදෙනෙක් පරෙවියාට ලංසු තැබූහ.  නිව් කිම් සඳහා මුලින් තැබුණු ලංසුව වූයේ යුරෝ 200කි. අඩ හෝරාවකට පසු   එය යුරෝ 350,000 දක්වා ඉහළ ගියේය. පසුගිය වසරේ ආමන්ඩෝ නමැති පිරිමි පරෙවියා අලෙවි වූයේ ඩොලර් මිලියන 1.4කටය.  ආමන්ඩෝව හිමිකරගෙන සිටියේ සුපර් ඩුපර් යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටි ලංසු තබන්නා විසින් නියෝජනය කළ ධනවත් චීන ව්‍යාපාරිකයාය. ලංසු තැබීම දිගින් දිගටම සිදු වූ අතර අවසානයේ චීන ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනි සිටි සුපර් ඩුපර් යුරෝ මිලියන 1.6 ( ඩොලර් මිලියන 1.9 ) දක්වා ලංසුව ඉහළ නැංවීය. දශකයකට පමණ පෙර, පරෙවියකු සඳහා හිමි වූ වාර්තාගත මිල වූයේ නිව් කිම් වෙනුවෙන් ලංසුව ආරම්භ කළ මිලෙන් දහයෙන් එකකි.

නිව් කිම් ගැහැනු පක්ෂියෙකි. එම චීන ජාතිකයාගේ අරමුණ නිව් කිම් හා ආමන්ඩෝගෙන් අගනා පැටවුන් බෝකිරීමය. බටහිර යුරෝපයේ පරෙවි පියාසර තරග පැවැත්වීම ඉතා පැරණි ක්‍රීඩාවකි. මෙය අතීතයේ ප්‍රචලිතව පැවතියේ කම්කරු ප්‍රජාව අතරය. එහෙක් මේ වන විට ධනවතුන් අතරද ප්‍රචලිත ක්‍රීඩාවක් බවට පත්ව තිබේ. එහෙයින් උසස් තත්ත්වයේ පරෙවියන් අභිජනනය කිරීමටද ඇතැම් පිරිස් යොමු වී සිටිති. ඒ සඳහා පරම්පරා ගණනක් පුරා අත්දැකීම් සහිත පිරිස් සිටිති. මින් දශකයකට ඉහත එතරම් මිලකට අලෙවි නොවූ පරෙවියන් දැන් ඉතා අධික මිලකට අලෙවි කළ හැකිය.  මෙවැනි මිල අධික පරෙවියන් සඳහා විශාල ඉල්ලුමක් චීනයේ පවතී. එහෙයින් බෙල්ජියමේ අභිජනනය කෙරෙන පියාසර තරග සඳහා යොදා ගන්නා බොහෝ මිල අධික පරෙවියන්ගේ ගමනාන්තය චීනය බවට පත්වෙමින් තිබේ. 2019 වන විට ලොව පරෙවි ධාවන තරග සඳහා වඩාත් ප්‍රචලිතව ඇත්තේ චීනයයි. බෙයිජිං නුවර පරෙවි අභිජනන කර්මාන්තයේ නියැලෙන පිරිස 100,000 පමණ වන බව පැවසේ. චීනයේ ව්‍යාපාරික ප්‍රජාවේ වර්ධනයත් සමඟ ධනය ඉපැයීමේ මාර්ගයක් ලෙස  සූදුව ද ප්‍රචලිත විය. ඒ අනුව පරෙවි පියාසර තරග පැවැත්වෙන අතර ඒ සඳහා තැබෙන ඔට්ටුද අති විශාලය. මාස ගණනක් මුළුල්ලේ පුහුණු කර ඇති පක්ෂීන් සැතපුම් සිය ගණනක ඈතක සිට මුදා හරිනු ලැබේ. ඔවුන් යළි තම නිවහන වෙත පැමිණෙන අතර ඒ අනුව තැබෙන ඔට්ටුවලට යුරෝ මිලියන ගණනින් ත්‍යාග හිමි වේ. 

පරෙවි අභිජනනය සඳහා බෙල්ජියම තරම් සුදුසු රටක් නොමැති අතර එරට පැවැත්වෙන පරෙවි පියාසර තරග සඳහා ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි ඈත රටවල සිටද පක්ෂීන් මුදා හරිනු ලැබේ. මෙම තරග පිළිබඳව ගුවන් විදුලි ප්‍රචාර පවා සිදු කෙරෙන අතර පක්ෂීන් පියාඹන ඉසව්වල පවතින කාලගුණිත තත්ත්ව පිළිබඳවද එමගින් දැනුම්වත් කරනු ලැබේ.

දිගු කලක් මුළුල්ලේ  ලොව හොඳම පරෙවි අභිජනනය කරන්නන් ලෙස බෙල්ජියානුවන් ප්‍රකටය. පරම්පරා ගණනාවක අත්දැකීම් සහ අභිජනනය කරන්නන් අතර තරග සංවිධානය කිරීමේ දක්ෂතාව ඔවුන් සතුය.  අභිජනනය කෙටිකාලීන ප්‍රයත්නයක් නොවේ, පරෙවියන් අතර නිරන්තර සම්මිශ්‍රණය හා ඔවුන්ගේ සංසර්ගය පිළිබඳවත් ජාන අභිජනනය පිළිබඳවත්  විශේෂඥයකු වීමට නම් වසර ගණනක අත්දැකීම් ලැබිය යුතුය. මෙම පක්ෂීහු වසර 15ක පමණ කාලයක් ජීවත් වෙති.

බෙල්ජියමේ  සාර්ථක පරෙවි අභිජනන කරුවකු වූයේ ගැස්ටන් වැන් ඩි වෝවර්ය. 76 වියේදී ඔහු විශ්‍රාම ගත් අතර ඔහුගේ පුත්‍රයා කර්ට් එම වෘත්තියට පිවිසියේය.. පරෙවියන් විශාල සංඛ්‍යාවක් ඔහු සතුය. ඉන් පරෙවියන්  445 දෙනකු මෙවර වෙන්දේසියට ඉදිරිපත් කර තිබූ අතර ඉන් උපයාගත් මුදල යුරෝ මිලියන 6 ඉක්මවා තිබේ. ගතවූ දෙසතිය පුරාම නිව් කිම් සඳහා සුදුසු ලංසුවක් නොලැබුණ අතර අවසානයේ ඔහු නොසිතූ මිලක් එම පරෙවියා සඳහා ලැබිණි. තම පරෙවියා සඳහා මෙතරම් මුදලක් හිමිවීම සම්බන්ධයෙන් තමා විස්මයට පත් වූ බව කර්ට් වැන් ඩි වෝවර් වෙන්දේසිය අවසානයේ කියා සිටියේය.

පරෙවියකු යුරෝ මිලියන 1.6 කට අලෙවි කළ බවට වන ප්‍රවෘත්තිය සමඟ නව අභිජනනකරැවන් ඒ සඳහා යොමුවනු ඇතැයි බෙල්ජියානු පරෙවි සම්මේලනයේ  සභාපති පැස්කල් බොඩෙන්ජියන් ප්‍රකාශ කර තිබේ. 

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00