2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා

ගුරුකන්ද විහාර භූමියේ අරගලය

 2019 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 189

පසුගිය කාලයේදී උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන මුහුණ දුන්නේ සුබදායික කාලයක් නොවේ. විවිධ පාර්ශ්වයන්ගේ ග්‍රහණයට නතු වූ මෙම සිද්ධස්ථාන අන්තවාදී කණ්ඩායම් වලින් බේරාගැනීමට එහි වැඩවසන භික්ෂූන් වහන්සේලාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. මෑතකාලයේදී එහි වඩාත් ආන්දෝලනාත්මක සිද්ධිය වූයේ මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේය. ඒ ගැටුම් හැල හැප්පීම් හා අධිකරණ නියෝග මත අපවත්වී වදාළ ගුරැකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමිගේ ආදාහන පූජෝත්සවය සිදුකිරීමය.

ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානය පිළිබඳ උතුරේත් දකුණේත් ජනතාව අතර කතිකාවතක් ආරම්භ වන්නේ පසුගිය ජනවාරි 14 වැනිදා බලහත්කාරයෙන් විහාර භූමියේ දෙමළ දේශපාලනඥයන් හා දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් එහි කෝවිල් ඉදිකිරීමක් ආරම්භ කිරීමට මුලපිරීමත් සමඟය. එතෙක් හුදකලාව පැවති මෙම විහාරස්ථානයේ මුලතිව් ප්‍රදේශයේ විහාරස්ථ බෞද්ධ දායක දායිකාවන්ගේත් යුද හමුදාවේත් එහි විහාරාධිපති නාහිමි ලෙස කටයුතු කළ කොළඹ මේධාලංකාරකිත්ති නාහිමි විසින් විහාරය නඩත්තු කටයුතු කරමින් සිදුකළ සේවයත් නිසා සිංහල හා දෙමළ ජනතාවට මහත් සේවාවක් සිදුවිය.

මෙම ගුරුකන්ද පුරාණ රජමහා විහාරය ඉතිහාසයේ සඳහන් පරිදි කිත්සිරි මෙවන් රජදවස (ක්‍රි.පු.6-7 සියවසේදී) ඉන්දියාව, මියන්මාරය ඔස්සේ ලංකා පටුන දක්වා රහසිගතව දන්ත ධාතූන් වහන්සේ මෙරටට ගෙන ඒමේදී හේමමාලා සහ දන්ත කුමරු ගිමන් හැරි ස්ථානයක් ලෙස හැඳින්වේ. ඉපැරණි බෞද්ධ නටබුන් රාශියක් පිහිටා තිබෙන අතර යුද සමයේදී මෙම ප්‍රදේශය ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත් පසු එහි වැඩම කරවූ සේරැවිල සරණකිත්ති නාහිමියන් තාවකාලික මඩුවක් ඉදිකොට වැඩවාසය කරන්නට වූ අතර පසුව යුද හමුදාව විසින් විහාරයේ ගොඩනැගිල්ලක් ඉදිකොට විහාරස්ථානය වෙත පූජාකරනු ලැබීය.

සේරුවිල සරණකිත්ති නාහිමිගේ අපවත්වීමෙන් අනතුරුව ගුරුකන්ද විහාරස්ථානයේ වගකීම පැවරෙනුයේ උන්වහන්සේගේ ගෝල ශිෂ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමි වෙතය. ගුරුකන්ද විහාරය සංවර්ධනය වෙමින් පවතින අවස්ථාවක එහි පිළිමවහන්සේ නිර්මාණය කිරීමට විහාරාධිපති නාහිමි තීරණය කරන අවස්ථාවේදී අන්තවාදීන් පිරිස් ගුරුකන්ද පුරාණ රජමහා විහාරය යනු කෝවිල් භූමියක් බවත් එය ඉපැරණි කෝවිලක් බවත් පවසා විහාර භූමියේ දේවාලය අත්පත්කරගෙන වැඩවාසය කරන බවත් පවසා විහාරාධිපති හිමියන් ඉවත් කිරීමට උත්සාහ දැරූහ. එහි ප්‍රතිඵලයක් වූයේ කෝවිලක් බව පවසමින් පැමිණෙන අන්තවාදී පිරිසකගෙන් තම විහාර භූමිය බේරාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට උන්වහන්සේට සිදුවීමය. එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් පොතේ පැමිණිලි රාශියක් මේ සම්බන්ධයෙන් ලියවිණි.

පසුගියදා උතුරේත් දකුණේත් ජනතාවගේ අවධානය යොමු වූ පුවතක් වූයේ අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහ විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමිගේ ආදාහන පූජෝත්සවය එම විහාර ස්ථානයේ සිදු නොකරන ලෙස මුලතිව් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කිරීමය. තහනම් නියෝගය ඉකුත් 22 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත්වරයා නිකුත්කරනු ලැබුවේ විහාරස්ථානයේ පිහිටි නයාරු නීරාවි පිල්ලයාර් කෝවිලේ පූජක පාර්ශ්වය මුලතිව් පොලීසිය වෙත කළ පැමිණිලි කිරීමෙන් අනතුරුවය. ඒ අනුව පොලීසිය අධිකරණයෙන් උපදෙස් පැතීය. ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානය හා නීරාවි පිල්ලයාර් කෝවිලෙහි හිමිකම වෙනුවෙන් නඩු විභාගයක් පවතින බැවින් විහාර භූමියේ විහාරාධිපති හිමිගේ ආදාහනය නොකරන ලෙස යන්න පොලීසියේ ඉල්ලීමද විය. මුලතිව් පොලීසියේ ඉල්ලීම මත තහනම් නියෝගය ලබාදුන් මුලතිව් අතිරේක මහෙස්ත්‍රාත් එන්. සුදාහරන් මහතා කරුණු තුනක් යටතේ නියෝග ලබාදී තිබු අතර එහි පළමු කරුණ වූයේ දේහයේ අවසන් කටයුතු පිළිබඳ තීරණය ගැනීම සඳහා කෝවිල් හා විහාර පාර්ශ්ව දෙකම සහ දැනට වැඩවසන විහාරවාසී හිමියන් පසුදින උදෑසන අධිකරණයේ පෙනී සිටිය යුතු බවයි. 

එහි දෙවැනි හා තුන්වැනි කරුණ වූයේ අපවත් වී වදාළ හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විහාර භූමියේ හෝ ආදාහනය නොකළ යුතු බවත් අධිකරණය සුදුසු තීරණයක් ලබාදෙන තෙක් දෙපාර්ශ්වය සාමය කඩ වන හෝ විහාරයට හා කෝවිලට අගෞරව වන සිද්ධීන් සිදුකිරීමෙන් වළකින ලෙසත්ය. පසුදින (23) නඩු විභාගය කැඳවූ මුලතිව් ප්‍රධාන මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා දීර්ඝ ලෙස කරුණු කාරණා සාකච්ඡා කළ අතර නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම හා විහාරාධිපති නාහිමිගේ දේහය ආදහනය සිදුකිරීම කුමන ස්ථානයේ සිදුකරනුයේදැයි අවසන් තීන්දුව ලබාදීමට ප්‍රමාද විය. අධිකරණය විසින් තීන්දුව ප්‍රකාශ කිරීමට ප්‍රමාදවීමත් විහාරාධිපති හිමියන්ගේ ආදහනය සිදුකිරීමට තවදුරටත් පමාවීම පිළිබඳවත් නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේ අධිකරණ භූමියට පැමිණි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු මහා සංඝරත්නයත් බෞද්ධ ජනතාවත් විහාරයේ දායක සභාවේ පිරිස් අතරත් දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

ඥානසාර හිමියන් විසින් පැමිණ සිටි පිරිස් වෙත පවසා සිටියේ කෙසේ හෝ විහාරාධිපති හිමියන්ගේ ආදහනය සඳුදා (23) දිනය තුළ සිදුකිරීමට අවශ්‍ය පියවරගන්නා බවයි. අනතුරුව නඩු විභාගය මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් තිබියදී පැමිණ සිටි මහ සංඝරත්නය ඇතුළු බෞද්ධ සැදැහැවතුන් එක්වී ආදාහනය විහාරස්ථ භූමියේ සිදුකිරීමට සාකච්ඡා කරගැනිණි.

අපවත් වූ නාහිමියන් වෙනුවෙන් ගුණකථන සිදුකර පාංශුකූලය ලබාදෙන අවස්ථාවේ ආදහන කටයුතු සඳහා පැමිණ සිටි බෞද්ධ ජනතාව විසින් මිනිත්තු කිහිපයක් ඇතුළත දර්ශනීය චිතකයක් නිර්මාණය කිරීමට පියවර ගැනීම විශේෂ සිද්ධියක් විය. කාන්තාවන් හා කුඩා දරැවන් ඇතුළු තරුණයෝ විහාරස්ථානය අසල කැළෑවෙන් දර එක්රැස්කොට යුහුසුළුව සෑයට අවශ්‍ය දර රැගෙන පැමිණියහ. සෑය ඉදිකර අවසන් වනවාත් සමඟ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා ප්‍රකාශකොට සිටියේ අපවත්වී වදාළ කොළඹ මේධාලංකාරකිත්ති නාහිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විහාරස්ථානයේ ඉදිරියෙන් පිහිටි යුද හමුදා කඳවුර අසල මුහුදු තීරයේ අවසන් කටයුතු සිදුකරන ලෙසටය. එසේම එම භූමියේ ආදාහන පූජෝත්සවය පමණක් සිදුකරන ලෙසත් අපවත් වූ හිමිනම සිහිකරමින් ඉදිකිරීමක් හෝ වෙනත් කිසිදු ඉදිකිරීමක් එහි සිදුනොකරන ලෙසත් නියෝග කෙරිණි.

දේහය විහාර භූමියෙන් පිටතට රැගෙන ගොස් ආදාහනය කිරීමට විරෝධය දැක්වූ පැමිණ සිටි බෞද්ධ ජනතාව මහ සංඝරත්නයෙන් ඉල්ලා සිටියේ විහාරාධිපති හිමියන්ගේ ආදාහනය උන්වහන්සේ වැඩ සිටි විහාර භූමියේ සිදුකරන ලෙසටය. ඒ අනුව පැමිණ සිටි භික්ෂූන් වහන්සේලා ඇතුළු අපවත්වී වදාළ කොළඹ මේධාලංකාර නාහිමි නියෝජනය කළ සංඝ සභාවේ තීරණය අනුව භික්ෂු සම්ප්‍රදායානුකූලව අවසන් කටයුතු සිදුකෙරිණි.

එහෙත් මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට පැමිණි දෙමළ දේශපාලන නායකයන් හා ප්‍රදේශවාසීන් පිරිසක් දේහය රැගෙන එන අවස්ථාවේ විරෝධය පළකරන අතර එහිදී දෙපාර්ශ්වය අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණි. පොලිස් කැරලි මර්දන ඒකකය හා අධිපීඩන ජල බවුසරද එම ස්ථානයට ගෙන ඒමට පොලීසියට සිදුවිය. අනතුරුව මුලතිව් පොලීසියේ උසස් නිලධාරීන් අදාළ පිරිස් සමඟ සාකච්ඡා කොට පිරිස විසුරැවා හැරියේ සිදුවීමට ගිය ගැටුමක් වළක්වමිනි.

විහාරස්ථානයේ මෙම ආදාහනයට කෝවිල් පාර්ශවය විරෝධය දැක්වීමට ප්‍රධානතම හේතුව වූයේ හින්දු දේව විශ්වාසයට අනුව ශුද්ධ වූ ස්ථානයක මළසිරැරක් ආදහනය කිරීමය. හින්දු සංස්කෘතීන්ට අනුව මාංශ අනුභවයෙන් පසුව කෝවිල් තුළට පිවිසීම අකැපය. කෝවිල භාර පූජකතුමන්ගේ ඥාතියකු මියගියද ඔහු කෝවිල වෙත පැමිණිය යුත්තේ දින හතක් හෝ මාසයක කාලයක් ගතවූ පසුවය. එම විශ්වාසයන් පදනම් කරගෙන කෝවිල් භූමියේ ආදහනය සිදුකිරීමට තමන් එරෙහි වන බව කෝවිල් පාර්ශ්වයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.  

නඩු විභාගයේදී වවුනියාව වැඩබලන මහේස්ත්‍රාත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඇන්ටන් පුලිදනායගම් මහතා විවෘත අධිකරණයේ පවසා සිටියේ කිසිදු අවස්ථාවක විහාරාධිපති නාහිමිගේ අවසන් කටයුතු විහාර භූමියේ සිදුකිරීමට අවස්ථාව ලබා නොදෙන ලෙසත් මේ සඳහා විහාරයේ සිට කිලෝමීටර දෙකක් හෝ තුනක් දුරින් සිදුකිරීමට පමණක් අවස්ථාව ලබාදෙන ලෙසත්ය. නඩුව අතරවාරයේ පුලිදනායගම් නීතිඥවරයා විහාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දිගින් දිගටම පවසා සිටියේ උතුරු නැගෙනහිර රාජ්‍ය භාෂාව, ද්‍රවිඩ භාෂාව බවත් ද්‍රවිඩ භාෂාවෙන් කතාකරන ලෙසත්ය. උතුරු පළාතේ සිංහල ජනතාව ස්වල්ප වශයෙන් සිටින බැවින් තවදුරටත් විහාරස්ථාන අවශ්‍ය නොවන බවද ඔහු පුන පුනා අධිකරණයේදී කිවේය.

කෙසේ වෙතත් මෙම සිදුවීම උතුරේත් දකුණේත් ජනතාවගේ සංහිඳියාවට තර්ජනයක් වී අවසන් බව පෙනී යන්නකි. අධිකරණ නියෝගයට පරිබාහිරව දේහයේ ආදාහන පූජෝත්සවයක් සිදුකිරීම ගැන මේ වනවිට උතුරු නැගෙනහිර නීතිඥයෝ දැඩි විරෝධයක් පළ කරති. නියෝගය කඩකරන පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් ඔවුහු මේ වනවිට අධිකරණ කටයුතුවලින් ඉවත්ව සිටිති. වැරැද්ද නීත්‍යානුකූලව නිවැරදි කළ යුත්තේ බලධාරීන් විසින්මය. තවදුරටත් බලධාරීන් නිද්‍රාශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි නම් ගුරුකන්ද විහාරයේ සිදුවීම තවත් ජාතිවාදී ගැටුමකට රැගෙන යනු නොඅනුමානය.

දෙමළ දේශපාලනඥයන් පිරිසකගේ උසිගැන්වීමක්
ගලගොඩඅත්තේ ඥානසාර හිමි (බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්)

මුලතිව් නයාරු ගුරුකන්ද කියන්නේ අක්කර 93ක පූජා භූමියක්. සුදු අධිරාජ්‍යවාදී සමයේදී ඔවුන් මේ භූමිය වෙන්කර සිතියම් ගතකර තිබෙනවා. යුද්ධය නිසා මේ භූමිය අත්හැරිලා තිබුණේ. දෙමළ භාෂාවෙන් කොට්ටාරම්පත්තුව කියලා මේ ප්‍රදේශය හඳුන්වනවා. ඒකෙ තේරුම කෝටියක් ආරාම තිබූ භූමියක් කියන එකයි. 2007 දී පමණ මේ භූමියට ගිය කොළඹ මේධාලංකාරකිත්ති හාමුදුරුවන්ගේ හිතවත් හිමිනමක් මේ ස්ථානය සුද්ධ පවිත්‍ර කර විහාරයක් පිහිටුවනවා. උන්වහන්සේ අපවත් වුණාට පසුව මේධාලංකාරකිත්ති හාමුදුරුවෝ එම විහාරය භාරගෙන පන්සලක් විදිහට ලියාපදිංචි කර තිබෙනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මේ භූමිය තහවුරු කොට තිබෙනවා.

මේ හාමුදුරුවෝ ජීවිතයේ වැඩි කාලයක් කැපකළේ ගුරුකන්ද පුරාවිද්‍යා භූමිය ආරක්ෂා කිරීමටයි. දානේ වේලක් නැතුව අහළ පහළ දමිළ ජනතාවටත් උදව් උපකාර කරගෙනයි මේ හාමුදුරුවෝ හිටියේ. කිසිම දවසක මෙතන කෝවිලක් තිබිලා නෑ. වෙනත් ස්ථානයක තිබුණු පුල්ලෙයාර් දෙවියන්ගේ ප්‍රතිමාවක් හාමුදුරුවෝ මේ ස්ථානයට ගෙනැවිත් තැන්පත් කර තිබෙනවා. දෙමළ බෙදුම්වාදීන්ගේ ජාතිවාදී අරමුණු මුදුන්පත් කරගන්නට මේ හරහා පිරිසක් උත්සාහ කරනවා. ආගමික කාරණයක් කියන්නේ බොහොම සංවේදී දෙයක්. නූගත් දමිළ ජනතාව රැවටීම සඳහා ප්‍රදේශයේ දමිළ ජනතාව නියෝජනය කරන දේශපාලනඥයන් මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. මේක සත්‍ය වසන් කළ අධිකරණය නොමඟ යැවූ කඩාකප්පල්කාරී සිදුවීමක්. බෙදුම්වාදී දේශපාලන න්‍යායපත්‍රයට අවශ්‍ය දෙයක් තමයි ඉෂ්ඨ කළේ. මේ හාමුදුරුවන්ගේ නිත්‍ය පන්සල ගුරුකන්ද. ලංකාවේ හාමුදුරු නමක් අපවත් වුවහොත් තමා වැඩ සිටි පන්සලේ ආදාහන කටයුතු කිරීම රටේ සංස්කෘතිය. 

හාමුදුරුවෝ මැදිහත් වෙලා පන්සල් බිමට ගෙනාපු දේව ප්‍රතිමාව වටේට එකතු වූ පිරිසක් තමයි විරෝධය කළේ. පොලිස් පැමිණිල්ල අනුව දෙපාර්ශ්වය කැඳවලාවත් නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දීලා තිබුණා එක ස්ථානයක ආදාහනය කිරීමට. නමුත් අධික වර්ෂාව නිසා රැස්ව සිටි සංඝ සභාව හා දායක සභාව තීරණය කරලා තිබුණා ඉක්මණින් ආදාහනය කිරීමට. අපි මේ ප්‍රශ්නේදී රටවැසියන්ට කියන්න අවශ්‍යයි මේක දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලනඥයන් පිරිසකගේ උසිගැන්වීමට කළ විරෝධයක් බව. එහෙම නැතුව සිංහල දෙමළ මහජනතාව අතර ගැටුමක් නෑ.

1899 ලංකා සිතියමේත් මේ භූමිය විහාරයක්
මානෙල් කරැණාරත්න (ලේකම් - ගුරුකන්ද විහාරස්ථ දායක සභාව)

ක්‍රි.පූ. 4 වැනි සියවසේ තරම් ඉතිහාසයක් මේ පුණ්‍ය භූමියට තිබෙන බව මහා වංශයේ සඳහන් වෙනවා. “පදවි අසභ” කියන සෙල්ලිපියේත් මේ පිළිබඳව කරුණු සඳහන් වෙනවා. 1832 වසරේ මුද්‍රිත සිලෝන් සර්වේයර් සිතියම අප සතු වෙනවා. එයට අනුව මේ බිම Red Hill (රෙඩ් හිල්) නමින් හඳුන්වනවා. රතු පස් තියෙන නිසා තමයි එහෙම නම් කරලා තියෙන්නේ. ඉස්සර “නකනගර” කියලා මෙතන හඳුන්වලා තියෙනවා. නාග නගරය කියන නම එහෙම උච්ඡාරණය කර තිබෙන්නේ. පසුකලෙක නයාරු වශයෙන් හඳුන්වා තිබෙනවා. 1899 ලංකා සිතියමේ මේ භූමිය විහාරයක් විදිහට දක්වා තිබෙනවා. එම නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව රජය පාර්ශ්වයෙන් කියනවා මෙතන පුරාණ පන්සලක නටබුන් තිබෙන බව. ඒක අපට ඔප්පු කරන්න පුළුවන්.

නමුත් කිසිම තැනක හින්දු කෝවිලක් තිබෙන බවට සඳහනක් නෑ. යුද්ධය අවසන් සමයේ හමුදාව මගින් මේ පන්සල සංවර්ධනය කරලා තිබෙනවා. හැමෝගේම ආගමික විශ්වාසය මත ඔවුන් තමයි මෙතන දේවාලයක් හදලා තියෙන්නෙත්. ඒකට හාමුදුරුවෝ මැදිහත් වෙලා තිබෙනවා. මේ තොරතුරු එතන තිබෙන සමරු ඵලකයේ තිබෙනවා. බුදුමැඳුර හා දේවාලයේ වහළ එකිනෙක ගැටෙනවා. පුල්ලෙයාර් දෙවියෝ සිංහල හින්දු හැමෝම අදහනවා. 2018 තෛපොංගල් දිනයෙන් පසුව තමයි ගැටලුවක් මතුවෙන්නේ. යුද්ධය නිසා අධ්‍යාපනය කඩාකප්පල් වූ දරුවෝ ඉන්නවා. ජාති භේදයෙන් තොරව අපි හාමුදුරුවෝ සමග එකතුවෙලා ඔවුන්ට ඉගැන්වීමට කටයුතු කළා. භාණ්ඩ හා ආහාර පවා දුන්නා. මෙහෙම තියෙද්දී ද්‍රවිඩ දේශපාලනඥයන් දරුවන්ට හා පවුල්වලට කියලා තිබෙනවා පන්සලෙන් ගත්තු හැමදේම නැවත ලබාදෙන්න කියලා. ඔවුන්ට අවශ්‍ය ජාතිවාදය ඇවිස්සීමයි. සිංහල දෙමළ ජනතාවට ගැටලු නැහැ. එහෙම ගැටුමක් හදන්න දේශපාලකයන් උත්සාහ කරනවා. ඒක ඔවුන්ගේ පැවැත්ම.

ප්‍රසිද්ධ දේශපාලනඥන් මෙතැනට ආවා. ප්‍රාදේශීය සභාවේ අයත් ආවා. ප්‍රසිද්ධ අය විතරයි අපි රූපෙන් අඳුනන්නේ. පන්සලේ තියෙන දේව රුපයට වඳින්න හින්දු භක්තිකයන්ට එන්න එපා කියලා නෑ. ගිය වසරේ තෛපොංගල් දවසේ මුල්ගලක් තිබ්බා දේවාලය සංවර්ධනය කිරීමට. ඊට පස්සේ තමයි ආක්‍රමණය කරන්න උත්සාහ කළේ. බෞද්ධ අපි ඒ අයගේ භූමිය අල්ලාගෙන ඉන්නවා කියලා. 2009 යුද්ධයෙන් පසුව ඒ අයට එහෙම හැඟීමක් අදහසක් තිබිලා නෑ.

ප්‍රා. ලේකම් හා අධිකරණය මගින් විසඳාගත යුතු ප්‍රශ්නයක්
පී.බී. මණ්ඩාවල (පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්)

ගුරුකන්ද රජමහා විහාරස්ථානය අවට ප්‍රදේශයේ ඉපැරණි ස්මාරක කිහිපයක් තිබෙනවා. දැනට පවතින ගැටලුව ප්‍රාදේශීය ලේකම් හා අධිකරණය මගින් විසඳාගත යුතුයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලබාදුන් නිර්දේශ මත ගුරැකන්ද විහාරයේ පිළිම වහන්සේ නමක් සහ ගොඩනැගිලි කිහිපයක් ඉදිකර තිබෙනවා. මේ කියන භූමිය රජයට අයත් එකක්. විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වීම සඳහා පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් නොවන ස්ථානයක් අනුමත කළා. ඒ වගේම මා දන්නා පරිදි මෙම විහාරය ඉදිකර තිබුණේ යුද සමයේ හමුදාව නවාතැන්ගෙන සිටි ස්ථානයක.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
    සිතුම් චතුරංග