2022 ජුලි 31 වන ඉරිදා

සාර්ථකත්වයේ යතුර උද්‍යෝගී බවයි

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 479

දවසක් මගේ ශිෂ්‍යයෙක් මට තෑග්ගක් විදිහට පොතක් ගෙනත් දුන්නා... ඒ තමයි ගුරු ගීතය... චිංගීස් ආයිත්මාතව් විසින් රචිත ඒ ගුරු ගීතය අදටත් මගේ පොත් එකතුවේ පොත් අතරෙ තියෙනවා... මේ ළඟදි යළිත් එහි පිටු පෙරළපු නිසා තමයි ගුරු ගීතය මේ මොහොතේ යළිත් මගේ මතකයට ආවේ. ගුරු ගීතය වගේම මම හරි කැමැත්තෙන් කියවපු පොත් එකතුවක් මගේ ගාවා තියෙනවා. ඒ හුඟාක් පොත් පිටු අතරෙ සැරිසරද්දි මට හිතුණු දෙයක් තමයි උද්‍යෝගිමත් මිනිස්සු කොයි තරම් අපූරුවට තමන්ගෙ ජීවිතය දිනාගන්නවද කියන එක... සාර්ථකත්වයේ දොරටුව ජීවිතය වෙනුවෙන් විවර කරන්න උද්‍යෝගිමත් බව කියන්නෙ ඇත්තටම ප්‍රබල උත්තේජනයක්. 

ජීවිතය කියන්නෙ කාලය ඔස්සේ යන ගමනක් කියලා ඔබට හිතිච්ච මොහොතක් තියෙනවාද? කවදාවත් ගෙවෙන, මඟහැරෙන, නාස්තිවෙන තත්ත්පරයක් ආයෙත් ගන්න බෑ... ජීවිතයේ හැම මොහොතක්ම ඔබ යම් වටිනාකමකින්, අරුත්බර පුරවා ගැනීමකින්, අත්දැකීමකින් සරසන්න ඕනෑ ඒ හින්දා...

අත්දැකීම් කියන්නෙ ජීවිතය උගන්වන තවත් සරසවියක්... ඇත්තටම ජීවිතය කියන්නෙ න්‍යාය, සංකල්ප හෝ විෂය ධාරාවක් ඔස්සේ පමණක් උගන්වන්න පුළුවන් විෂයක් නෙවෙයි... සොයා ගොස් ඔබ අධ්‍යයනය කළ යුතු විෂයයක්... අවසානයේ ඔබ සාර්ථකත්වයේ මුද්‍රාව නික්මෙන්නට පෙර තබා යා යුතු විෂයක්... ඒ සාර්ථකත්වය සොයා යන ගමනෙදී මම දකින එක් සාධනීය සාධකයක් තමයි උද්‍යෝගිමත් බව කියන්නෙ. 

අනලස්ව, වෙහෙසකර බවකින් වියුක්තව සතුටින් යම් කාර්යයක නියැලීම සරල ප්‍රවේශයක සිට උද්‍යෝගිමත් බව ලෙස අර්ථ දක්වන්න පුළුවන්. 

 ඒ වගේම සාර්ථකත්වය යනු භෞතික සහ ආධ්‍යාත්මික අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම ඔස්සේ ලබන ජයග්‍රහණය ලෙස නවමු ප්‍රවේශයකින් අර්ථ දක්වන්න පුළුවන්.  උද්‍යෝගිමත් බව සාර්ථකත්වයේ යතුරයි... එය එසේ වන්නේ කෙසේද... මනෝ විද්‍යාත්මක ප්‍රවේශයකින් අපි ඒ පිළිබඳව කතා කරමු. 

උද්‍යෝගය, උත්සාහය නැතහොත් වෑයම මනෝ විද්‍යාත්මකව අර්ථ දක්වන්නෙ කොහොමද? EFFORT: “An effort is the activation of mental or physical power to do a task.” ''උද්‍යෝගය යනු කාර්යයක් කිරීමට මානසික හෝ ශාරීරික ශක්තිය සක්‍රීය කිරීමයි." යම්කිසි පුද්ගලයෙක් තම මානසික හෝ ශාරීරික ශක්තිය සක්‍රිය කළාට පසුව කළ නොහැක්කක් නොමැත. මිනිසා යනු අපූර්ව කුසලතාවලින් පරිපූර්ණ සත්ත්වයෙක්. 

උත්සාහය අපව සාර්ථකත්වය කෙරෙහි යොමු කරවනවා. ඔබේ උත්සාහය මත ඔබ  ඔබේ ඉලක්කයට ළංවන විට, ඔබට ජයග්‍රහණයේ රස බැලීමට හැකිවන පරිදි ඔබේ අභිප්‍රේරණය සහ කැමැත්ත වැඩි වෙනවා. ඔබේ ඉලක්කය කුමක් වුවත්, සාර්ථකත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය අඛණ්ඩ උත්සාහයක යෙදීමට සෑමවිටම සැලසුම් කිරීම අතිශය වැදගත්. ඔබගේ ජීවිතය ඔබ විසින්ම සැලසුම් කරන්න. එවිට වඩාත් සාර්ථක වෙනවා. 

ළමා කාලයේ තීරණ ගන්නෙ දෙමාපියන් සහ වැඩිහිටියන්. එහෙත් ළමයෙක් නව යොවුන් වියට පත්වෙද්දි ජීවිතය පිළිබඳ වැදගත් තීරණ ගැනීමේ අයිතියක් තරුණ තරුණියන්ට දීමට දෙමාපියන් සහ වැඩිහිටියන් වගබලාගත යුතු කරුණක්. එය අධ්‍යාපනය සම්බන්ධ තීරණයක් විය හැකියි. එය තම වෘත්තීය ජීවිතය සම්බන්ධ තීරණයක් විය හැකියි. එය තමාගේ විවාහ ජීවිතය සම්බන්ධ තීරණයක් විය හැකියි. 

වර්තමානයේ බොහෝ තරුණ තරුණියන් පුරුදුවෙලා සිටිනවා යමක් අසාර්ථක වූ විගස එකවර එය අත්හැර දැමීමට. එහෙත් එය එසේ නොකළ යුත්තක්. ලෝකයේ ඉහළට ගොස් ඇත්තේ පරාජය වූ පුද්ගලයන්. උදාහරණයක් වශයෙන් රටේ ජනාධිපති වුවත් ගත හැකියි. ඔබ සෑමවිටම කල්පනා කළ යුත්තේ පරාජය වීම් යනු අසාර්ථකත්වය නොවන බවයි. පරාජය වීම් ජීවිතයට ජය කුලුනු බවට පත් කරගත යුතුයි. විභාගයක් ලියා අසමත් වූ පුද්ගලයෙක් අනිවාර්යයෙන් එම විභාගය නැවත ලිවිය යුතුයි. විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් ඉන්නවා මේ සඳහා උදාහරණ වශයෙන් පෙන්වා දෙන්නට පුළුවන්. 

සමාජයේ ප්‍රකට කියමනක් තියෙනවා වැල යන පැත්තට මැස්ස ගහනවා කියලා. එය අපට වෙනත් අර්ථයකින් ජීවිතයට සම්බන්ධ කර ගන්නට පුළුවන්. අප වැල යන පැත්තට මැස්ස ගහන මිනිසුන් නොවිය යුතුයි. මක් නිසාද යත් අප අපගේ වත්තෙහි වැලක් සිටුවා වැල අල්ලපු වත්තට ගියහොත් මැස්ස ගහන්නට සිදුවන්නේ අල්ලපු වත්තේ. අල්ලපු වත්තේ ජීවත් වන පුද්ගලයන් එයට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැත. ඒ නිසා අප කළ යුතු වන්නේ වැල සිටුවා අපට අවශ්‍ය පැත්තට හරවා මැස්ස සකස් කර ගැනීමයි. 

අප විසින් අපගේ ජීවිතයද සකස් කරගත යුත්තේ එසේයි. එය ක්‍රමානුකූලව, විචක්ෂණශීලීව, මනා පරිශ්‍රමයකින් යුක්තව කළ යුතු දෙයක්. වැලක් මේරෑ පසුව අපට අවශ්‍ය පැත්තට හැරවිය නොහැකිය. වැළ බිඳී යා හැකිය. ජීවිතයද එසේයි. එහෙත් වැලක් බිඳී ගිය පසුව බිඳී ගිය තැනින් දලු ලා නැවත ඉස්මතු වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒ වගේ අප යම් දෙයකින් අසාර්ථක වූ විට ගමන එතැනින් නැවත ආරම්භ කළ යුතුයි. ජීවිතයේ හැරවුම් ලක්ෂය එය වෙන්නට පුළුවන්. 

උද්‍යෝගය සම්බන්ධයෙන් කතා කරන විට මැනවින් අදාළ කරන්නට පුළුවන් සංස්කෘත ශ්ලෝකයක් මතක් වෙනවා. ඒක තියෙන්නෙ පංච තන්ත්‍රයේ...

“උද්‍යෝගිනං පුරුෂ සිංහ මුපෛති ලක්ෂ්මීර්
දෛවේන දේයමිති කා පුරුෂා වදන්ති
දෛවං නිහත්‍ය කුරු පෞරුෂමාත්ම්‍ය සක්‍යා 
යත්නේ කෘතේ යදින සිධ්‍යති කෝත්‍ර දෝස:”

මෙම සංස්කෘත ශ්ලෝකයේ අර්ථය හරිම වටිනවා. මේකෙන් අදහස් වන්නෙ උද්‍යෝගිමත් පුරුෂයා කරා සිරිකත පැමිණේ. සිරිකත යනු ශ්‍රියා කාන්තාවය. සෞභාග්‍යයේ සංකේතය ලෙස සාහිත්‍ය තුළ සිරිකත හැඳින්වේ. මෙම ශ්ලෝකයට අනුව සිරිකත හෙවත් ශ්‍රියා කාන්තාව පැමිණෙන්නේ උද්‍යෝගිමත් පුරුෂයා කරාය. යම් යම් දේ දෛවය අනුව නැතහොත් කර්මය අනුව දෙන බව පවසන්නේ මෝඩ පුරුෂයන්ය. මෝඩ මිනිසුන්ය. දෛවය කියන වචනය හැර දමා පෞරුෂය අවදි කොට ආත්ම ශක්තිය අවදි කොට උත්සාහ කළ යුතුයි. කෙතරම් උත්සාහ කළත් යමක් ඉටු නොවන්නේ නම් කිනම් දෝෂයක්ද? 

අපට යමක් ලබාගැනීමට අවශ්‍ය නම් අපට යම් ඉලක්කයක් වෙත ළඟා වන්නට අවශ්‍ය නම් අප උත්සාහ කළ යුතුයි. උත්සාහ කළත් එය ඉටු කරගත නොහැකි නම් කම්පා වීමෙන් ඵලක් නැත. ලද දෙයින් සතුටු විය යුතුයි. ඒකට බුදු දහමෙ කියනවා යථා ලාභ සංතුට්ඨිය කියලා. 

අවම උත්සාහයකින් ඔබේ ජීවිතය වැඩිදියුණු කර ගන්නේ කෙසේද? යන කරුණ මෙහිදී විමසා බැලිය යුත්තක්. ඔබ සෑමවිටම සැලසුම් කර ප්‍රමුඛත්වය අවශ්‍ය දෙයට ප්‍රමුඛත්වය දෙන්න. වඩා හොඳින් සන්නිවේදනය කරන්න. දුෂ්කර කාර්යයන් පළමුව ජය ගන්න. අවධානය නැති කර නොගන්න (බාධා කිරීම් ඉවත් කරන්න). ඔබේ ශක්තීන් සහ දුර්වලතා පිළිගන්න. ඔබේ සීමාවන් ගැන දැනුවත් වන්න. උත්සාහ කරන්න. උද්‍යෝගීමත් වන්න. අනිවාර්යයෙන් ඔබගේ ජීවිතය සාර්ථක කර ගන්නට පුළුවන්. 

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00