19න් රට වැනසුවා 20න් යළි හැදුවා - සාගර කාරියවසම්
යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් රට අරාජික තත්ත්වයට පත්කොට රාජ්‍ය පරිපාලන ව්‍යූහය අඩපණ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා පැවසූයේ ස්වාධීන කොමිෂන් සභා යැයි කියමින් විවිධ ආයතන පිහිටුවා තිබූ නමුත් ඒ මගින් රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු නොවූ අතර සිදුවූයේ සමාජය ව්‍යාකූල කිරීමක් සහ ජනතාව දුකට පත්කිරීමක් බවය.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් 19 වැනි සංශෝධනයෙන් අඩපණ කර තිබූ සියලු කටයුතු නැවත ස්ථාපිත කරන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
ඒකාධිපති වැඩක් අපි විරුද්ධයි - රංජිත් මද්දුමබණ්ඩාර
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුවේ සියලු බලතල ජනාධිපතිවරයා වටා ඒකරාශී වීමට ජාතික සමගි ජනබලවේගය දැඩි ලෙස විරුද්ධ වන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
මෙතෙක් ස්වාධීන කොමිෂන් සභාවලට සහ පාර්ලිමේන්තුවට පැවරී තිබූ බොහෝ බලතල ජනාධිපතිවරයා යටතට පවරා ඇත. එය රටේ ප්රජාතන්ත්රවාදයට බලවත් පහරකි. එබැවින් ජාතික සමගි ජනබලවේගය මේ ගැන නිගමනය කොට ඉදිරියේදී ගතහැකි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධව තීන්දු කරන බවද සඳහන් කළේය. එසේම මෙම ඒකාධිපති ව්‍යවස්ථාව පරාජය කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගන්නා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
ජනතාවට අහිතකරයි: ප්රජාතන්ත්ර විරෝධීයි - අනුර කුමාර දිසානායක
වර්තමාන ආණ්ඩුව ගෙන එනු ලබන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්රජාතන්ත්ර විරෝධී ජනතාවට අහිතකර ව්‍යවස්ථා සංශෝධනයක් බැවින් ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ සිය විරුද්ධත්වය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු පෙන්වා දෙන්නේ රට මුහුණ දී තිබෙන ගැටලුවල මූලික ප්රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොවන බවත්, එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම මගින් රටේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදිය නොහැකි බවය.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදුවන්නේ ප්‍රජාතාන්ත්‍රික පාලනයක් යටතේ සිට රට නැවත ගෝත්‍රික යුගයක් කරා ගමන් කිරීම බවද ඒ මහතා වැඩිදුරටත් කීය.