2023 මාර්තු 26 වන ඉරිදා

බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න - වෛද්‍ය සංගම් මාධ්‍ය ප්‍රකාශක

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:01 72

චමිඳු නිසල් ද සිල්වා I

උපයන විට ගෙවීමේ බද්ද සහ ආදායම් බදු පිළිබඳ රජය කුමක් කීවද වෘත්තීයවේදීන් ඉල්ලා සිටින්නේ රටේ සමස්ත බදු ප්‍රතිපත්තියේ සංශෝධනයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා දේශයට පැවසීය.

ජූනි මාසයේදී  බදු පැනවීම් සම්බන්ධව යම් සමාලෝචනයක් සිදු කිරීමට ජනපතිවරයා සූදානම් බව පවසා ඇතත්, එතරම් කාලයක් බලා සිටීමට හැකියාවක් නැතැයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් කීය. ජනාධිපති ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවේදී ඒ පිළිබඳ රජයට දැනුම් දී ඇතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය. එසේම අන්තර්වාර විසඳුමක් පිළිබඳ කතිකාවක් ඇතත්, ඒ සම්බන්ධ සාකච්ඡා තවමත් සිදුව නොමැති බවද ඔහු කියා සිටී. හඳුන්වාදෙන නව බදු වර්ග පිළිබවඳව අධ්‍යයනය කොට සංවාදයට බඳුන් කිරීමට සූදානමක් ඇතැයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් දේශයට පැවසීය.

මේ අතර ජනාධිපතිවරයා බදාදා ලබාදුන් සාකච්ඡාව දිගින් දිගටම කල් දමමින් සිටින බවද වෘත්තීයවේදීන්ගේ සංගමය කියා සිටී. ගැටලුව විසඳීම සඳහා වෘත්තීය සමිති දුන් අවස්ථාව රජය අවභාවිත කරන්නේ යැයි ඔවුහු චෝදනා කරති. මෙම බරපතළ ගැටලුව නොවිසඳා වෘත්තීය සමිති, දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට තල්ලු කරමින් සිටින්නේ ආණ්ඩුව බවද වෘත්තීයවේදීන්ගේ සමිති එකමුතුව වැඩිදුරටත් සඳහන් කරයි.