2023 මාර්තු 19 වන ඉරිදා

ලෝක වෙළඳපොළේ තෙල් මිල බසී

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 46

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල විශාල ලෙස පහත වැටී තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා වන විට වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 67.48 දක්වාත්, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු 71.46 දක්වාත් පහත බැස ඇතැයි ෆෝබ්ස් වෙබ් අඩවිය සඳහන් කරයි. 2021 වසරේ ඇමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ඉහළ ගොස් තිබූ බොරතෙල් බැරලයක මිල මෙතරම් අගයකින් පහත වැටී ඇත්තේ පළමු වරටය. පසුගිය සමයේ බොරතෙල් මිල ඉහළ යාමට බලපෑවේ රුසියානු යුක්රේන යුද්ධයයි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර වශයෙන් රුසියාවට පැනවූ සම්බාධකවලින් පසුව, 2022 පෙබරවාරි මාසයෙන් පසු තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගියේය. පසුගිය සමයේ උද්ධමනය විශාල ලෙස ඉහළ යාමත්, ආර්ථික විද්‍යඥයන් විසින් ආර්ථික අවපාතයක් පිළිබඳව අනතුරු ඇඟවීමත් මත පසුගිය සැප්තැම්බර් මාසයේ සිට තෙල් මිල ක්‍රමයෙන් පහත වැටෙන්නට විය. 2023 වසරේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල යළි ඩොලර් 110 වනු ඇතැයි පුරෝකථනය කළ නමුදු එය ඩොලර් 85 ඉක්මවූයේ නැත. පසුගිය සතියේ එක්සත් ජනපද ප්‍රාදේශීය බැංකු දෙකක් අසාර්ථක වීමෙන් පසු බැංකු පද්ධතිය පිළිබඳ ඇතිව ඇති බිය සහ කොටස් නිකුතුව අත්හිටුවීම නිසා ස්විස් බැංකු දැවැන්තයකු වන ක්‍රෙඩිට් සූස් ඇතුළු බැංකු වෙළෙඳපොළ අගයන් පහත වැටීමද බොරතෙල් මිල පහත වැටීමට බලපා ඇතැයි ෆෝබ්ස් වෙබ් අඩවිය සඳහන් කරයි.