2023 පෙබරවාරි 05 වන ඉරිදා

හිටපු අග රදගුරු අවසන් කටයුතු හෙට

 2023 පෙබරවාරි 05 වන ඉරිදා, පෙ.ව. 06:01 94

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා I

කොළඹ හිටපු අගරදගුරු අතිඋතුම් ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ පසුගිය සිකුරාදා ස්වර්ගස්ථ වූහ. අනුරාධපුර හිටපු රදගුරුවරයා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරයාද වූ උන්වහන්නේ ස්වර්ගස්ථ වන විට 90 වැනි වියේ පසුවූහ.  

1932 කැලණියේදී උපත ලද උන්වහන්සේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි සිසුවෙකි. 1952 පූජකවරයට පත් එතුමාණෝ 1968 රදගුරුවරයකු බවට පත් වූහ. කලක් බොරැල්ල සාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ ආචාර්යවරයකු ලෙසද, කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂකවරයා හා ඥානාර්ථප්‍රදීපය පුවත්පතේ කතුවරයා ලෙසද කටයුතු කළ උන්වහන්සේ කොළඹින් බැහැර දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීම සඳහා කොළඹ ප්‍රධාන කතෝලික විදුහල්වලට අනුබද්ධ ශාඛා පාසල් 15ක් පමණ ආරම්භ කිරීමට පුරෝගාමී වූ අතර, සුනාමියෙන් විපතට පත්වූවන් සඳහා විවිධ සහන වැඩසටහන්ද ක්‍රියාත්මක කළහ..  

2002 ජුලි 6 වැනි දින, දෙවැනි ජුවාම් පාවුළු පාප්තුමන් විසින් එතුමන් කොළඹ අගරදගුරුවරයා ලෙස නම් කරන ලදී. 2009 දී අගරදගුරු පදවියෙන් විශ්‍රාම ගිය උන්වහන්සේ‍ මෙරට ආගමික සහජීවනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටි අතර, කිතුනු සාහිත්‍යයේ උන්නතිය වෙනුවෙන් ද සුවිශේෂී මෙහෙවරක නිරත වූහ.  මහෝපදේශය, ළමා බයිබලය, කිතුසමිඳාණෝ භාරතයට වැඩි සේක, කතෝලික යටගියාව වැනි කෘති 16ක් එතුමා විසින් රචනා කර තිබේ.

උන්වහන්සේ ස්වර්ගස්ථ වූයේ රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙබරවාරි 6 වැනි සඳුදා සවස 3.00ට කොටහේන සාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී පැවැත්වීමට නියමිතය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01