2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

ඖෂධ මිලට ගැනීමේ වංචා සොයන්න පරීක්ෂණ කොමිසමක්

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 12

I දේශපාලන වාර්තාකරු

වසර 2016 සිට මේ දක්වා ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේදී වංචා සහ දූෂණ සිදුවී තිබේදැයි විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමික විනිසුරුවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කොමිසමක් පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මේ සම්බන්ධයෙන් ඖෂධ සැපයීම භාර අමාත්‍ය චන්න ජයසුමන සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන දෙදෙනාම පාර්ලිමේන්තුවේදී චෝදනා ප්‍රතිචෝදනා එල්ල කරගත්හ.

කෙසේ වෙතත් කාලයක් තිස්සේම රුපියල් බිලියන ගණනක වංචා දූෂණ මෙම ගනුදෙනුවලදී සිදුව ඇතැයි පැවසෙන නිසා ඒ ගැන විධිමත් විමර්ශනයක් කළයුතු යැයි රජය තීරණය කර ඇත.

මිලට ගත් කාලයේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ සැබෑ ඖෂධ මිල ගණන් සහ ශ්‍රී ලංකාව එම ඖෂධ මිලදී ගත් ගණන් සහ ටෙන්ඩර් පටිපාටි මෙම කොමිසමේදී විමර්ශනය කළයුතු බව දැනටමත් යෝජනා වී තිබේ.