2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ජල මණ්ඩලේට කෝටි 842ක පොල්ලක් තියලා!

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 18

I ව්‍යාපාරික වාර්තාකරු

මෙම වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා ජල සම්පාදන මණ්ඩලය විසින් පාරිභෝගිකයන්ට සපයන ලද ජලය වෙනුවෙන් අයවිය යුතු රුපියල් කෝටි 842ක මුදලක් මෙතෙක් ගෙවා නැත. එනිසා ජල සම්පාදන මණ්ඩලය බරපතළ ප්‍රශ්නයකට මුහුණ දී සිටින බව ජලසම්පාදන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා දේශයට කීය.

මෙරට සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව විසි හය ලක්ෂ පනස් අටදහසකි. එයින් ගෘහස්ථ ජල පාරිභෝගිකයන් ගණන විසිහතර ලක්ෂ පනස් දහසක් පමණ වෙයි. සෙසු අය කර්මාන්ත සහ වෙනත් වාණිජ ව්‍යාපාරවලට සම්බන්ධ පාරිභෝගිකයන්ය. මෙම පාරිභෝගිකයන්ගෙන් රුපියල් කෝටි 568ක පමණ හිඟ බිල්පත් පියවා නැත්තේ ගෘහස්ත පාරිභෝගිකයන්ය. වාණිජ ව්‍යාපාරවලින් කෝටි 152ක්ද ඉතිරි කෝටි 120ක පමණ මුදල රාජ්‍ය සහ වෙනත් ආයතනවලින් අයවිය යුතුව ඇතැයි ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.

පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය නිසා ජල බිල්පත් මෙතෙක් ගෙවා නොමැති පාරිභෝගිකයන්ගේ ජල සැපයුම් මෙතෙක් විසන්ධි කර නැත. එහෙත් මෙම මස අවසානයෙන් පසු බිල්පත් පියවා නැති පාරිභෝගිකයන්ට අවසන් රතු නිවේදන නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ආචාර්ය වික්‍රම වැඩිදුරටත් සඳහන් කළේය.