2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

ආණ්ඩුවේ මිලට හාල් දෙන්න අපට පුළුවන් - සුළු හා මධ්‍ය මෝල් හිමියෝ

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 182

I කරුණාරත්න ගමගේ

දේශීය සහල් අවශ්‍යතාවයෙන් සියයට 50ක් ඉක්මවන ප‍්‍රමාණයක් දැනට සපයනු ලබන්නේ තමන් විසින් බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ පවසති. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස්වරයා පසුගියදා මහා පරිමාණ සහල් මෝල්වලට පැමිණ එහි තිබූ සහල් තොග රජයේ බාරයට ගැනීමට පෙර සිට තමන් සහල් තොග සපයන ලද්දේ රජය නියමකළ තොග මිලට බවද ඔවුහු පැවැසූහ. 

ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් හා පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සහල් නිෂ්පාදකයන්ගේ සමූපකාර සංගමයේ සභාපති රොෂාන් සිල්වා මහතා ප‍්‍රකාශ කළේ එම තත්වය දිගටම පවත්වාගෙන යාම සඳහා තම සංගමයට අයත් බොහෝ සාමාජික සහල් මෝල් හිමියන්ට විශාල වී තොග සංචිත නොමැති බවය.

එහෙයින් දැනට වී අලෙවි මණ්ඩලය සතුව තිබෙන වී තොග සහ පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි නොවූ අතරමැදියන් විසින් මිලදීගෙන ගබඩාකර ඇති වී තොග වී අලෙවි මණ්ඩලය සතුකර සහල් බවට පත් කිරීම සඳහා මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට ලබා දෙන ලෙස රජයෙන්  ඉල්ලා සිටින බව ඒ මහතා කීය. 

සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් අඛණ්ඩව පවත්වාගෙන යාමට එය විශාල රුකුලක් වනු ඇති බව පෙන්වා දුන් සිල්වා මහතා රජයේ සහතික මිල යටතේ මෙරට පාරිභෝගික ජනතාවට සහල් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ එමගින් වඩාත් සාර්ථකව කළ හැකි වනු ඇතැයිද පැවැසීය. 

සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වී තොග නොමැතිකමින් දැනට දිවයින පුරා පිහිටි සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 1000කට වැඩි ප‍්‍රමාණයක් වැසී ගොස් තිබෙන බවත් ඒවා නැවත යථා තත්වයට පත්කිරීම තුළින් වෙළඳපොළේ සහල් අවශ්‍යතාවය විශාල වශයෙන් පිරිමැසිය හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.