2021 ජුනි 19 වන සෙනසුරාදා

නැවෙන් කාන්දුවන තෙල් උරන්න පේරාදෙනියෙන් මේට්ට

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 87

I සුගත් පී. කුලතුංගආරච්චි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට මිශ්‍ර වන ඉන්ධන හා රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයෙන් සාර්ථකව උරා ගැනීම සඳහා විශේෂිතව සකසා ගත් කහටගහ සහ බෝගල මිනිරන් යොදා සැකසූ නව තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වාදීමට අපේ රටේ පර්යේෂක පිරිසක් සමත්ව ඇත.

මෙම විශේෂිත මිනිරන් ග්‍රෑම් එකකට තෙල් ග්‍රෑම් 120ක් උරා ගැනීමට හැකි බවත් මෙම මිනිරන් විශේෂය තවත් ද්‍රව්‍යය භාවිත කර මෙට්ටයක් ආකාරයට සකස්කර මුහුදට දැමූ විට ජලයේ ඇති තෙල් සියල්ල ඊට උරාගන්නා බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා ‘දේශයට” කීය .මේ සඳහා ඔවුන්ට පේටන්ට් බලපත්‍රයද ලැබී ඇත.

බෝගල සහ කහටගහ පතල්වල ඉවත් කරන ලද කළුගල් ආශ්‍රිතව රුඳී ඇති පිරිසුදු මිනිරන් වෙන්කර ගනිමින් වෙනත් රසායන ද්‍රව්‍ය යොදා එම මිනිරන් ව්‍යුහය වෙනස් කොට පැතලි මෙට්ට ආකාරයෙන් සකසා යොදාගන්නා මේ නව ක්‍රමවේදය හරහා පරිසර හානිය අවම කරගැනීමටත්, කාන්දු වූ තෙල් එකතු කර නැවත ප්‍රයෝජනයට ගන්නට හැකි බවත් එම මිනිරන්ද නැවත භාවිතයට ගත හැකි බවත් ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය, හන්තාන මූලික අධ්‍යයන ආයතනය, කහටගහ සහ බෝගල පතල් හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය ඒකාබද්ධව මෙම මෙට්ට විශේෂය සකස් කරන බවත් රට පත්ව තිබෙන අසීරැතාව සැලකිල්ලට ගෙන මෙම නව තාක්ෂණය ඇතුළු සියලු සේවා කටයුතු කිසිදු මුදලක් අය නොකර ලබා දීමට තීරණය කර තිබෙන බවත් මහචාර්ය රාජපක්ෂ මහතා පැවසුවේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ මහචාර්ය අමරසේන පිටවල, මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහචාර්ය ටී.ආර්.ඒ. කුමාර හා නිදීශ ගුණවර්ධන යන පර්යේෂක පිරිස මේ නව ක්‍රමවේදය සකස් කිරිමට මූලිකත්වය ගෙන ක්‍රියා කළහ.