2021 ජුනි 12 වන සෙනසුරාදා

සංචරණ කාලේ ඉන්ටර්නෙට් කසිප්පු උතුරයි

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:01 237

l ආරක්ෂක වාර්තාකරු

සංචරණ සීමා යටතේ ගතවූ සතියක කාලය තුළ මෙරට කසිප්පු පෙරීම (නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය) 75%කින් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා පොලීසියේ නවතම සංඛ්‍යාලේඛන අනුව මෙම කරුණ හෙළිදරව් විය.

නවතම පොලිස් වාර්තා අනුව පසුගිය මැයි මස 21 සිට 28 දක්වා ගතවූ සතියක කාලය තුළ ආරක්ෂක අංශ කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය ලීටර 8209කි. ඉන්පසුව එළඹි මැයි මස 29දා සිට ජූනි මස 05දා තෙක් ගතවූ සතිය තුළ අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය ලීටර 13,943කි. ඒ අනුව සතියක කාලයක් තුළ කසිප්පු නිෂ්පාදනය 75%කින් පමණ වර්ධනය වී තිබේ.

නිෂ්පාදිත කසිප්පුවලට අමතරව කසිප්පු නිෂ්පාදනය සඳහා සූදානම් කර තිබූ ගෝඩා ලීටර් දහස් ගණනක්ද පොලිස් අත්අඩංගුවට පත්විය. මැයි මස 21 සිට 28 දක්වා සතිය තුළ ගෝඩා ලීටර් 5917ක් අත්අඩංගුවට ගත් අතර මැයි 29 සිට ජූනි මස 05දා දක්වා අත්අඩංගුවට ගත් ගෝඩා ප්‍රමාණය ලීටර් 12,609කි. ඒ අනුව ගෝඩා නිෂ්පාදනය සියයට සියයකටත් වඩා වර්ධනයක් පෙන්වයි.

මෙම අත්අඩංගුවට ගැනීම්වලින් පසුව පවරන ලද නඩු සංඛ්‍යාවෙහිද විශාල වර්ධනයක් පෙන්වා ඇත. මැයි මස 21 සහ 28 අතර කාලය තුළ නීති විරෝධී මත්පැන් නඩු 2144ක් පොලීසිය විසින් පවරන ලදී. මැයි මස 29 සිට ජූනි මස 05දා දක්වා ගතවූ සතිය තුළ පවරන ලද නඩු සංඛ්‍යාව 3237කි. ඒ අනුව සතියක කාලයක් තුළ හොර මත්පැන් නඩු සංඛ්‍යාවද 1093කින් ඉහළ ගොස් තිබේ.

මෙලෙස හොර මත්පැන් ජාවාරමට බොහෝදෙනා හුරුපුරුදු වූයේ අන්තර්ජාලයේ (ඉන්ටර්නෙට්හි) කසිප්පු වැනි මත්පැන් වර්ග නිෂ්පාදනය කරන ආකාරය ගැන ඉදිරිපත් කෙරෙන ප්‍රවෘත්ති විශේෂාංග නැරඹීමෙන් බවද ආරක්ෂක අංශ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01