2021 ජුනි 12 වන සෙනසුරාදා

පෙට්‍රල් රුපියල් 20කින් භූමිතෙල් හා ඩීසල් රුපියල් 7කින් මිල ඉහළ යයි

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 18

ව්‍යාපාරික වාර්තාකරු l

පවත්නා ලෝක වෙළෙඳපොළ මිල ගණන් යටතේ ඉන්ධන මිල ඉහළ දැමීමට රජයේ ජීවන වියදම් කමිටුව තීන්දු කර ඇත. ඒ අනුව පෙට්‍රල්, ඩීසල් , සුපිරි පෙට්‍රල් , සුපිරි ඩීසල් හා භූමිතෙල්  මිල ගණන්  සිකුරාදා රාත්‍රියේ සිට ඉහළ ගියේය. නව මිල ගණන් මෙසේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක්  රු. 20කින්  මිල වැඩි කළ අතර  නව මිල  රු.157 කි.  ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 23 කින් ඉහළ දැමූ අතර නව මිල රු. 184 කි.  ඔෙටා් ඩීසල් ලීටරයක් රු. 7කින් මිල වැඩි කෙරිනි. නව මිල රු. 111කී.  සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 12කින් ඉහළ දමනු ලැබිණි.  නව මිල රු.144 කි.  භූමිෙතල් ලීටරයක මිලද රු. 7 කින් ඉහළ දැමූ අතර භූමිෙතල් ලීටරයක නව මිල රු.77 කි. 

පසුගියදා රැස්වූ රජයේ ජීවන වියදම් කමිටුව ඉන්ධන මිල අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ. එහිදී අදාළ බලධාරීන් පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ සහන මිලට ඉන්ධන අලෙවි කිරීම නිසා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් කෝටි 8000ක් (බිලියන 80ක්) පාඩු සිදුව ඇති බවය.

මේ වසරේ ගතවූ මාස 5ක කාලය තුළ රුපියල් කෝටි 2000 (බිලියන 20ක්) පාඩු සිදුවී ඇති බවද සඳහන් විය. එසේම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත් වසර දෙකකට ආසන්න කාලයක් තුළ තෙල් මිල ඉහළ දමා නොමැති බවත් ජීවන වියදම් කමිටුවේදී පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරැද රජයේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් ගණනාවක්ද මෙම රැස්වීමට එක්ව සිටියහ.