2023 මැයි 21 වන ඉරිදා

කෝටිපතියකු වූ දේවගැති ජෙරම්ට චෝදනා තුනක් මත නඩු!

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 546

ආරක්ෂක වාර්තාකරු |

දේවගැතිවරයකු වන ජෙරම් ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු චෝදනා තුනක් මත නඩු පැවරෙනු ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඔහුට මෙම නඩුව පැවරීමට පෙර අත්අඩංගුවට ගැනෙනු ඇති අතර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය බලාත්මක කිරීමේ පනත (අයි.සී.සී.පී.ආර්.) යටතේ ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව නඩු පැවරෙනු ඇති බවද සඳහන්ය.

මෙයට වසර ගණනාවකට පෙර සුප්‍රකට ''පේයාව'' නැමැති ඖෂධයක් අලෙවි කරන දැන්වීමක නළුවෙකු ලෙස පෙනී සිටිමින් වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජෙරම් ප්‍රනාන්දු පසුව විශාල ධනවතෙකු මෙන්ම ෆාස්ටර්වරයකුද විය. කෙසේ වෙතත් පසුගියදා ඔහු බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නිසා දැන් ප්‍රබල සමාජ ආන්දෝලනයක් හටගෙන තිබේ.

අප වෙත ලැබුණ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව ආගමික අසමගිය ඇති කිරීම සඳහා ක්‍රියා කිරීම, අයථා වත්කම් උපයා ගැනීම, මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා තුනක් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එල්ල කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
පසුගිය දිනවල විදේශගතව සිටි හෙතෙම අද (ඉරිදා) නැවත දිවයිනට පැමිණෙන බව ප්‍රකාශ කර තිබිණි.