2023 ජනවාරි 22 වන ඉරිදා

ඡන්දෙට අවශ්‍ය ආරක්ෂාව දෙනු බෑ- පොලිසිය කියයි

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:04 163

දේශපාලන වාර්තාකරු I

මේ වනවිට පොලිසියේ සක්‍රීය සේවයේ සිටින නිලධාරින්ගෙන් යෝජිත පළාත් පාලන මැතිවරණයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීම කළ නොහැකි බව පොලිස් දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇතැයි දේශයට වාර්තා වෙයි.

මැතිවරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධරයන් සමඟ පසුගියදා පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු දැක්වීම සිදු කර ඇත.

පොලිසියේ සමස්ත කාර්ය මණ්ඩලය 85,000ක් වුවත් එයින් මැතිවරණ රාජකාරි සඳහා නිදහස් කළ හැක්කේ 60,000ක් පමණක් බවත් පොලිස් දෙපාර්තමේන්තුව කරන ලද දැනුම් දීමේ සඳහන්ය. මෙයට පෙර අවසන් වරට පැවති මැතිවරණයේදී පොලිසියේ නිලධරයන් 78,000ක් මැතිවරණ ආරක්ෂාව සඳහා යොදවා තිබිණි.

මේ තත්ත්වය නිසා විශ්‍රාම ගිය පොලිස් නිලධරයන් නැවත සේවයට කැඳවා මැතිවරණ රාජකාරිවලට යොදවා ගැනීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය පතන බව පොලිස් දෙපාර්තමේන්තුව කරන ලද සැලකිරීමේ සඳහන්ය. ඊට අමතරව මැතිවරණයේ ආරක්ෂාව සඳහා ආරක්ෂක හමුදාව කැඳවන ලෙස ද යෝජනා කර තිබේ.

මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඇ(1) වගන්තිය අනුව මැතිවරණයේ ආරක්ෂාව සැපයීමට පොලිසිය බැඳී සිටින බැවින් මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිසියේ උපරිම දායකත්වය අපේක්ෂා කරන බවයි.