2022 ජුලි 31 වන ඉරිදා

ඉදිරියේදී උපරිම බලය යොදනවා

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:02 276

දේශපාලන වාර්තාකරු l

රටේ මූලික නීතියට යටත්ව කෙරෙන උද්ඝෝෂණවලට ඉඩ ඇතත් උද්ඝෝෂණ මුවාවෙන් කෙරෙන සියලුම නීතිවිරෝධී කටයුතුවලදී මින් ඉදිරියට උපරිම බලය භාවිත කරන බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම අමතා ප්‍රකාශ කළේය.

දැනට ක්‍රියාත්මක කෙරෙන හදිසි නීතිය ගැන කරුණු පැහැදිලි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම පසුගිය සඳුදා කැඳවීය. එහිදී විශේෂ දෙසුමක් පැවැත්වූ කමල් ගුණරත්න මහතා පැවසුවේ තමන් සහ ආරක්ෂක අංශ පවත්නා තත්ත්වය මාස තුනක් තිස්සේ ඉවසා සිටි බවය.

නීතිවිරෝධී ක්‍රියා කරන්නන් ඉදිරියේදී හමුදාව මෙතෙක් ඉවසා සිටීම නිවටකමක් ලෙස ඇතැමුන් සිතන බව පැවසූ හෙතෙම රාජ්‍ය දේපළවලට හෝ රජයේ මර්මස්ථානවලට හානි කරන්නට මින් ඉදිරියට යමකු උත්සාහ කළහොත් හදිසි නීති රෙගුලාසි අනුව උපරිම බලය යොදවන බව වැඩිදුරටත් සඳහන් කර තිබේ.