2022 ජුනි 19 වන ඉරිදා

ගෑස් ලෙඩේට නව සභාපතිගෙන් බේතක්

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:01 229

I දේශපාලන වාර්තාකරු

පවත්නා උග්‍ර ගෑස් අර්බුදයට පිළියමක් ලෙස කඩිනමින් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩලය මේ සතියේ ලිට්රෝ ගෑස් සමාගමට අනුමැතිය ලබා දී ඇතැයි ලිට්රෝ ගෑස් සභාපති මුදිත පීරිස් මහතා දේශයට කීය.

මෙම ගෑස් තොගය රටේ මාස 4 සම්පූර්ණ ගෑස් අවශ්‍යතාවට ප්‍රමාණවත් බව ලිට්රෝ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඕමාන රාජ්‍යයෙන් මිලදී ගන්නා මෙම ගෑස් මෙට්‍රික් ටොන් එක ඩොලර 129කට සැපයීමට දැනටමත් එකඟතාව පළ කර තිබේ. කොටස් වශයෙන් මුදල් ගෙවීමේ පදනම මත ඇණවුම ලබාදීම සම්බන්ධව දැනටමත් දෙරට අතර සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද ලිට්රෝ සභාපතිවරයා කීය. රජයේ තීරණය අනුව ඉදිරි දින 14 තුළ මෙම ගෑස් තොගයේ පළමු කොටස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තම අරමුණ බව කී ලිට්රෝ සභාපතිවරයා මෙකී ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂය විධිමත් ලෙස ලැබීමත් සමඟ ගෑස් පෝලිම් අවසන් වනු ඇතැයි ද ප්‍රකාශ කළේය.