2022 ජුනි 19 වන ඉරිදා

ඊළඟට එළවළු පෝලිම්!

 2022 ජුනි 19 වන ඉරිදා, පෙ.ව. 08:03 101

I යසවර්ධන රුද්රිගූ

රටේ පවතින  අර්බුදකාරී තත්ත්වය තව සති දෙකකින්වත් සමනයකට පත් නොවුණහොත් මැනිං වෙළෙඳපොළට එළවළු ලැබීම සම්පූර්ණයෙන්ම නවතිනු ඇති බව මැනිං මාර්කට් තොග වෙළෙඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ ප්‍රකාශ කළේය. ඔහු දේශය පුවත්පතට ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේ සාමාන්‍ය දිනයක ලොරි 250 ක් පමණ මැනිං වෙළෙඳපොළට එළවළු රැගෙන පැමිණියද මේ වනවිට එම සංඛ්‍යාව 40 – 50 දක්වා පහළ වැටී ඇති බවය.

සතියකට හතර පස් වරක් එළවළු රැගෙන පැමිණෙන ලොරි මේ වනවිට එන්නේ සතියකට එක් දිනක් පමණක් බව ඔහු කියයි. එසේම වෙනදාට වඩා ලොරිවල පටවාගෙන එන එළවළු ප්‍රමාණය බොහෝ සේ අඩු වී ඇති බවද හෙතෙම පැවසීය.

ගෝවා කිලෝව රු. 300/- දක්වාද බෝංචි කිලෝව රු. 600/- දක්වාද මිල ඉහළ ගොස් ඇති අතර බීට්, ලීක්ස් ආදී එළවළුවල මිලද මෙයට සමානුපාතිකව ඉහළ නැග ඇති බව ඔහු කියයි. රටේ ගෑස් තිබුණා නම් එළවළු මිල මෙයට වැඩියෙන් ඉහළ යන බවද ඔහු පෙන්වා දෙයි. එයට හේතුව හෝටල් විවෘත කිරීම නිසා එළවළු ඉල්ලුම තවත් වැඩිවීමය.