2022 මැයි 08 වන ඉරිදා

ඖෂධ සිය ගණනක හිඟයක්

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:01 81

I සුගත් පී. කුලතුංගආරච්චි

ලංකාව තුළ ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය දැඩි ලෙස ඉහළ ගොසිනි. අප්‍රේල් මැද වනවිට සැත්කම් උපකරණ 124කට ආසන්න ප්‍රමාණයක තොග අවසන්ව තිබූ අතර මේ වනවිට අයිතම 318කට වැඩි ගණනක හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දී ඇත.‍

ඒ අනුව රජයේ ඖෂධ සැපයීම් අංශය තුළ තිබිය යුතු ඖෂධ ප්‍රමාණයෙන් සියයට 38.7ක්ම තොග අවසන්ව ඇති බව වාර්තා වේ. එසේම ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍යවලින් පවතින්නේ සියයට 37.1ක් පමණක් බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය කියයි. ඒ අතර අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2721ක තොග අවසන්ව ඇති බව ඔවුන් පෙන්වා දේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංගම් මේ වනවිටද පිටරට මානුෂීය ආධාර සඳහා ඉල්ලුම් කර තිබේ.

මේ වනවිට ලෝක බැංකුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ඩොලර් මිලියන 10ක මුදලක් ලබාදීමට එකඟ වී ඇත. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 14ක් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, මෙම අරමුදල් ලැබීමට මාස හයක් පමණ ගත විය හැකි බවට සෞඛ්‍ය නිලධාරීන්ම අනතුරු අඟවා ඇත. සිංගප්පූරු රතුකුරුස සංවිධානය (SRC)ද සහාය ලබාදීමට ප්‍රතිඥා දී මහජන අරමුදල් රැස් කිරීම සඳහා  අභියාචනයක්ද නිකුත් කර ඇත.

මේ වනවිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට වහාම අවශ්‍ය වන ඩොලර් මිලියන 12ට අමතරව ඉදිරි මාස තුන සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 60 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වේ.