2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

එළවළු කුණු වෙද්දී කැලෑ වැදුණු ශීතාගාරයක්!

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 169

I සංජීවිකා සමරතුංග

මේ දිනවල එළවළු මිල ගණන් අහස උසට නැග තිබියදී රජය විසින් දඹුල්ලේ ඉදිකරන ලද අතිරික්ත එළවළු ගබඩා කිරීමේ ශීතාගාරය අතහැර දැමීම නිසා වල්වැදී ඇතැයි දඹුල්ලෙන් වාර්තා වෙයි.

2016 වසරේ අයවැය යෝජනාවක් මගින් රුපියල් ලක්ෂ 113ක් වැයකර මෙකී ශීතාගාරය ඉදිකරනු ලැබුවේ දඹුල්ලට ලැබෙන අතිරික්ත එළවළු තොග ගබඩා කර තබාගෙන මිල ඉහළ යන කාලයට සාධාරණ මිලට අලෙවි කිරීම සඳහාය.
එහෙත් එය ඉදිකිරීමේදී නිසි අධ්‍යයනයකින් හෝ ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇතැයි පවසමින් මෙම ශීතාගාරය දැනට අතහැර දමා තිබේ.

මෙලෙස ශීතාගාරය අත්හැර දමා තිබියදී වසර 2018-2019 කාලයේ රජය දඹුල්ලේ ගොවීන්ගෙන් අතිරික්ත වට්ටක්කා තොග මිලදී ගෙන ඒවා විධිමත් ලෙස ගබඩා නොකිරීම නිසා ඊට හානි සිදුවී ආණ්ඩුවට රුපියල් ලක්ෂ 150ක පමණ පාඩුවක් සිදුවී ඇත.

එය මෙම ශීතාගාරය ඉදිකිරීමට වැයකළ රැපියල් ලක්ෂ 113ටත් වඩා විශාල ගණනකි.