2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

මන්ත්‍රී විශ්‍රාම වැටුප කල්දමයි! ජී.එස්.ටී. බද්ද නැවතත්!

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 413

ගයාන් ගාල්ලගේl

කලකට පෙර අහෝසි කරන ලද භාණ්ඩ හා සේවා බද්ද (GST) ජනවාරියේ සිට නැවත හඳුන්වාදීමටත් මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන කාලය වසර 5 සිට වසර 10 දක්වා දීර්ඝ කිරීමත් ඇතුළු නව අයවැය යෝජනා රැසක් 2022 වසර වෙනුවෙන් අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් පසුගිය සිකුරාදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයට පත් කළේය.

එසේම මන්ත්‍රීවරු සඳහා ලබාදෙන රාජ්‍ය සේවකයන් හා මන්ත්‍රීන්ට සපයන ඉන්ධන ප්‍රමාණයෙන් ලීටර් 5කුත්, දුරකථන ගාස්තුවෙන් 25%කුත්, විදුලි බිලෙන් 10%කුත් කප්පාදු කිරීමට මෙහිදී යෝජනා කළේය. රජයේ සේවයේ විශ්‍රාම ගන්නා වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමට මෙහිදී සුවිශේෂී තීරණයක් ගත් අතර එළඹෙන වසර දෙක තුළ රජයේ ගොඩනැගිලි ඉදිකිරීම නතර කිරීමටත් මෙහිදී යෝජනා කළේය.

වැඩිදුරටත් අයවැය ප්‍රකාශය සිදුකරමින් මුදල් අමාත්‍යවරයා පවසා සිටියේ දුම්වැටියක මිල රුපියල් පහකිනුත් මත්පැන් බද්ද නිශ්චිත ප්‍රතිශතයකිනුත් ඉහළ දැමීය. විශේෂයෙන් මිලියන 20,000කට වැඩි ආදායම් ලබන සමාගම් සහ පුද්ගලයන් 62නකු සඳහා එක්වරක් පමණක් ‍යටත්වන ලෙසට 25% බද්දක් අය කිරීමට මෙහිදී මුදල් අමාත්‍යවරයා යෝජනා කළේය. බැංකු, ලීසිං සමාගම් සහ රක්ෂණ සමාගම් සඳහා දැනට ක්‍රියාත්මක වන 15%ක බද්ද 18%ක් දක්වා වැඩි කිරීමටත් මෙහිදී යෝජනා වුණු අතර එම වැඩිවීම පාරිභෝගිකයාගෙන් අය නොකරගන්නා ලෙසට මෙහිදී පැවසීය. එසේම යම් රිය අනතුරකදී එම අනතුර වෙනුවෙන් බද්දක් රක්ෂණ සමාගම මාර්ගයෙන් අය කිරීමටත් මෙහිදී යෝජනා කළේය. අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ රැකියා ජනවාරියේ සිට ස්ථිර කිරීමටද අයවැයෙන් යෝජනා කෙරිණි.

මේ අතර සංවර්ධන කටයුතු සඳහා ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට මිලියන 03ක්ද පළාත් පාලන කොට්ඨාසයක් සඳහා මිලියන 04ක් වෙන්කරන බවත් මුළු දිවයිනම ආවරණය වන පරිදි සියලුම පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීමට යෝජනා කරන බවත් මෙහිදී මුදල් අමාත්‍යවරයා කීය. විශේෂයෙන් ත්‍රිරෝද රථ නියාමනය සඳහා ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවන බවද සඳහන් කළේය.

එසේම නාගරික නිවාස ව්‍යාපෘති සඳහා මිලියන 2000ක්, ග්‍රාමීය නිවාස ව්‍යාපෘති සඳහා මිලියන 5000ක්, වතු නිවාස සඳහා මිලියන 500ක්, ගම සමඟ පිළිසඳර සංවර්ධන වැඩකටයුතු සඳහා මිලියන 85,000ක් වශයෙන් මෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නිදහස් ශ්‍රී ලංකාවේ 76වැනි අයවැය ඉදිරිපත් කරමින් පවසා සිටියේය. 

එසේම පර්පචුවල් ට්‍රෙසරීස් සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ආචාර ධර්ම පද්ධතිය කඩකරමින් උපයන ලද රැපියල් බිලියන 8.5ක මුදල මහා භාණ්ඩාගාරය වෙත මාරු කිරීමට මෙහිදී මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා කළේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01