2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

විසඳුමක් නැතුව අභයාරාම සාකච්ඡා අවසන් : ගුරු වර්ජනය දිගටම!

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 187

දේශපාලන වාර්තාකරු l

ගුරු විදුහල්පතිවරුන්ගේ වැඩවර්ජනයට විසඳුම් සෙවීම සඳහා මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙන් ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක නොවන තත්ත්වයකට පත්ව ඇතැයි දේශයට වාර්තා වෙයි.

මේ පිළිබඳව දේශය කළ විමසුමකට පිළිතුරු දුන් මුරුත්තෙට්ටුවේ නාහිමියන් ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් කැඳවූ සර්වපාක්ෂික සමුළුවේදී මෙම අර්බුදය විසඳා ගැනීමට රජය මෙන්ම ගුරු විදුහල්පති සංගම්ද මධ්‍යස්ථ තැනකට පැමිණිය යුතු බව තමන්වහන්සේ දැන්වූ බවය. ඒ අනුව වර්ජනයට සම්බන්ධ වෘත්තීය සංගම් වෙත ඔවුනගේ යෝජනා තමන්වහන්සේ වෙත ලබා දෙන්නැයිද දන්වා ඇත.

ගිය සිකුරාදා වන විට වර්ජක සංවිධාන විසින් අදාළ යෝජනා මුරුත්තෙට්ටුවේ හිමියන් වෙත බාර දී ඇත. එමගින් ප්‍රකාශ කර ඇත්තේ දැනට රජය යෝජනා කර ඇති රු. 5000 දීමනාව ප්‍රතික්ෂේප කරන බවයි. තමන් කලින් ඉල්ලා සිටි පරිදි ලබන ජනවාරි මාසයේ සිට ගුරු වැටුප් විෂමතා ඉවත් කර නව වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවද වෘත්තීය සංගම් යෝජනා කර තිබේ.

අනතුරුව තමන් වෘත්තීය සංගම්වල අදහස ජනාධිපතිතුමාට දුරකතනයෙන් දන්වා කරුණු පැහැදිලි කළ බව පැවසූ මුරුත්තෙට්ටුවේ හිමියන් පවත්නා දුර්වල ආර්ථික තත්ත්වය අනුව එකවර මෙම විශාල වැටුප් වර්ධකය ලබාදීම අපහසු බව ජනාධිපතිතුමා පැහැදිලි කළ බවද කීහ. අදියර කිහිපයක් යටතේ එය සලකා බැලීමට රජය සූදානම් යැයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෙම ගැටලු සහගත තත්ත්වය නිසා ගුරු විදුහල්පති වැටුප් අර්බුදය ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇතැයිද මුරුත්තෙට්ටුවේ හිමියෝ කීහ.

රජය සහ වෘත්තීය සංගම් මෙහිදී කවර ස්ථාවරයක් දැරුවද තමන්වහන්සේ ඉදිරියටත් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් කැපවන බව පැවසූ නාහිමියෝ ඒ සඳහා දරුතරු සුරැකුම් සංවිධානය නමින් නව සංවිධානයක් ආරම්භ කරන බවද සඳහන් කළහ. එමගින් ජාතියේ දරු පරපුරේ අධ්‍යාපනය බිඳ නොවැටී පවත්වාගෙන යාමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් දිවයිනේ විහාරස්ථාන සියල්ල ඒකරාශී කරගෙන දියත් කරන වගද උන්වහන්සේ සඳහන් කළහ.

ඒ අතර රජය ප්‍රකාශ කළේ ලබන 21දා සිට අදියරෙන් අදියර පාසල් විවෘත කරන බවයි.