2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

කොවිඩ්වලට එරෙහි නවතම සුපිරි ප්‍රතිදේහයක්

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 251

I සුගත් පී. කුලතුංගආරච්චි

කොවිඩ්වලට එරෙහි සුපිරි ප්‍රතිශක්තියක් සහිත හයිබ්‍රිඩ් (දෙමුහුම්) ප්‍රතිශක්තියක් මේ වනවිට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් තහවුරු කර තිබේ. මේ වන විට පැතිරෙන සියලුම කොවිඩ් වෛරස මාදිලිවලට මෙන්ම අනාගත‌යේ ඇතිවිය හැකි SARS-CoV 2, මාදිලිවලටද මෙය කදිම ප්‍රතිකාරයක් බවද වාර්තා වෙයි.

එසේම මෙයට වසර 20කට පමණ පෙර සොයාගත් සාර්ස් රෝගය සාදන මුල් කොරෝනා වෛරසය හෙවත් SARS-CoV-1, වෙරසය සහ එහි විපරීත මාදිලිවලටද එක සේ ප්‍රතිරෝධය දැක්වීමට සුපිරි ප්‍රතිදේහවලට හැකි බව සනාථ වී තිබේ. 
මෙකී නවතම සොයාගැනීම වාර්තා වූයේ අමෙරිකාවේ රොකෆෙලර් සරසවියෙනි.

මේ අතර පෙන්සිල්වෙනියා සරසවියේ තවත් වෛරසවේදී පර් යේෂක පිරිසක් තහවුරු කර ඇත්තේ තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම මගින්ද මේ ආකාරයටම සියලු කොවිඩ් මාදිලි සඳහා ප්‍රතිරෝධය දක්වන සුපිරි ප්‍රතිදේහයන් වර්ධනය විය හැකි බවය. එක් වරක් කොවිඩ් වැළඳුණු පිරිස තුළ මේ හැකියාව වඩාත් ඉහළ බව ඔවුන්ගේ පර් යේෂණ මගින්ද තහවුරු වී ඇත. මේ සුපිරි ප්‍රතිදේහය පරිනාමය වී ව්‍යාප්ත වීමත් සමඟ කොවිඩ් වෛරසයද සාමාන්‍ය උණ හෙම්බිරිස්සා වෛරසයක් මට්ටමට පත්වනු ඇතැයි එම වෛරසවේදීන් පෙන්වා දී තිබේ.