2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

ත්‍රස්ත සැකකරුවන්ට සහන සලසන පියවර ගනියි

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 101

I අධිකරණ වාර්තාකරු

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමකින් තොරව වසර ගණනාවක් රැඳවුම් භාරයේ සිටින සැකකරුවන්ගේ සැලකිරීම් විමර්ශනය කොට ඔවුන්ට සහන සැලසිය හැකි නම් ඊට අදාළ සුදුසු පියවර නිර්දේශ කිරීමට අපේක්ෂා කරන බව එම කටයුතු විමර්ශනයට පත්කළ විශේෂ කොමිෂන් සභාවේ සභාපති හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතා දේශයට කීය.

මෙලෙස දිවයින පුරා බන්ධනාගාරවල රැඳවුම් භාරයේ තැනැත්තන් 400ක් පමණ රඳවා ඇතැයි වාර්තා වී තිබේ. ඒ අයට එල්ලකර ඇති චෝදනාවලට අදාළ ලිපිගොනු ලබන සඳුදා වනවිට කොමිසම වෙත ඉදිරිපත් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුවට මේ වනවිටත් දැනුම් දී ඇතැයි හිටපු අගවිනිසුරුවරයා වැඩිදුරටත් කීය. මෙලෙස රඳවා සිටින අය වෙනුවෙන් ඔවුනගේ ඥාතීන්ට හෝ ඍජුවම ඔවුන්ට හෝ කොමිසමට කරුණු දැක්වීමට පිළිවන. කොටි සංවිධානයේ ක්‍රියාකාරකම්, පාස්කු ප්‍රහාරය ඇතුළු කරුණු ගණනාවක් උඩ මෙම පිරිස රැඳවුම් භාරයට පත්කර ඇත.

දැනට විදේශ අමාත්‍යංශ සභා ශාලාවේ සිට කොමිසම ක්‍රියාත්මක වෙයි. හිටපු අගවිනිසුරු අශෝක ද සිල්වා මහතාට අමතරව හිටපු සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් හා හිටපු මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වෙති.